රෝමය වෙත ආදරයෙන් වැරදි සෙවීම

6 comments

Woody Allen - Director
     තිර රචකයා සහ අදියුරු විසින් කතන්දර කීමේ කිසිඳු ආකාරයක නීතියක් අනුගමනය නොකර සෑදූ [තැනූ] චිත්‍රපට කොතරම් ප්‍රමාණයක් ඔබ නරඹා ඇතිද? එසේත් නැතිනම් වෙනත් චිත්‍රපට වලින් නිරායාසයෙන් උකහා ගත් නමුදු කිසිවෙක් අවධානයක් යොමු නොකල කොටස් සහිත වූ  චිත්‍රපටයක් නරඹා ඇතිද? ඔබේ පිළිතුර කුමක් වුවත් එහි අංකය වූඩි ඇලන් විසින් පසු කර ඇති බවට සැකයක් නැහැ. එහෙත් ලංකාවේ දකිනා ආකාරයට අමු අමුවේ කොපි කිරීමක් නොව ඉතා සෞම්‍ය ආකාරයෙන් එහි අදහස ගෙන සිය නිර්මාණයක එකතු කර ගන්නා ආකාරයක් නිසා නිතරම කාබන් කොපි නරඹන අපට එතරම් වෙනසක් දැනෙන්නේ ම නැති තරම්..,[කාබන් කොපි කතාව පිළිබඳව මම පසු පෝස්ටුවකින් පවසන්නම් :)] එහෙත් අප ඔබ වැනි චිත්‍රපටයක් නරඹා පසුව ඒ පිළිබඳ අන්තර්ජාලයේ පසු සෙවුමක් දමනා අයට නම් මේ වැනි වෙනසක් සඟවන්නට අපහසු වන අවස්ථා බොහොමයි. අදියුරුගේ නම ඇසූ පමණින් අපට මැවෙන්නේ විකට නළුවෙකු ප්‍රතිරූවක් වුවත් ඔහු ප්‍රවීණ චිත්‍රපට අදියුරුවෙකු ද වනවා. මා මේ කියන්නට යන චිත්‍රපටයේ නම "To Rome With Love". සමහර විට ඔබ මේ චිත්‍රපටය නරඹා ඇති, එය තිරගත වූයේ 2012 වසරේ නිසාවෙන්.

Movie poster
චිත්‍රපටය ආරම්භය ඩොමිනිකෝ ඩ්‍යුනෝ ගේ නෙල් බ්ලු දිපින්තො දෙ බ්ලූ (වොලාරේ) ගීතය එක්ක සනිටුහන් වූ නිසා මට මුලදිම පොඩි ගතියක් දැනුනත් පසුව යනවිට එය වියැකී ගියේ නිතැතින්. චිත්‍රපටයේ කතාව ගෙවී යන්නේ එකකට එකක් වෙනස් චරිත කිහිපයකගේ රෝම නුවරට පැමිණීමයි, එකකට එකක් වෙනස් කතන්දර හතරක් ඔබ වෙත තබමින් අදියුරු විසින් වරින් වර අපට එක එක චරිතවල යාවත් කාලීන වන තොරතුරු හුවාදක්වනවා.., මේ කථා හතරේම එක් පොදු ගුණාකාරයක් නම් රෝමය වන අතර අනෙක් ගුණය ආදරය ලෙස හඳුනාගන්නට පිළිවන්. හෙලී සහ මිකෙලෑන්ජලෝගේ කතාව, අන්තෝනියෝ සහ මිලීගේ කතාව, ලියෝපොල්දෝ පැසනෙල්ලෝගේ කතාව සහ ජෝන්ගේ කතාව ඒ හතරයි. මින් අන්තෝනියෝ සහ මිලීගේ කතාව  මෙයට දශක කිහිපයකට පෙර එනම් 1952දී තිරගත වූ The White Sheik  (Lo sceicco bianco) චිත්‍රපටයේ චරිත  වලට සමාපාතීත්වයක් දරනවා.[Wikipedia] මම මෙහි කතන්දර එකින් එක දිග හරින්නට යන්නේ නෑ, එවිට චිත්‍රපටයේ බලන්නට තරම් දෙයක් නොමැතිවන නිසාවෙන්.

ඉතාම සරළ ආකාරයෙන් කල්පනා කරන විට අපට ඉතා පහසුවෙන් මේ චිත්‍රපට්යේ හොඳ සහ නරක ගැන අවබෝධයක් ලබාගන්නට පුලුවන් වෙනවා.., ඒ පිළිබඳම මා කියන්නට සතුටු මෙන්න මේ ආකාරයටයි.
හොඳ : හාස්‍යජනක ජවනිකා වලින් පිරී තිබීම, අති සුන්දර ලෙස ප්‍රහසනය ඉදිරිපත් කිරීම, ජූඩි ඩේවිස් සහ ඇලෙක් බෝල්ඩ්වින් ගේ රඟපෑම්, වූඩි ඇලන් විසින් ඇලිසන් පිල්ගේ[හේලි,සංචාරක යුවතිය] පියා ලෙස රඟපෑම, වූඩි ඇලන් විසින් ඇලිසන්ගේ පියා ලෙස රඟපෑම මට දැනෙන්නේ සිය චිත්‍රපටය තුල තමන්ගේ සලකුණ තැබීමක් ලෙසයි, එහෙත් එය චිත්‍රපටය තුලදී අපට නොදැනෙන තරම්. 
අහ් අමතක නොකල යුතුම දේ පෙනිලෝප් කෲස්ගේ ගවුම :P.


නරක : ඉතාම අසංවිධානාත්මක ලෙස ජවණිකා පෙලගැස්වීම, එකම විහිළුව කිහිප වාරයක් පෙන්වීම යනාදියයි.

චරිත සහ සිදුවීම් තුල පෙරළි [Twist] කිරීම සහ ඒවා විසඳෙන ආකාරය පිළිබඳව වෙනසක් දැනෙන අයුරින් අවසානයක් උදාකිරීමට ඇලන් මහතා කොතෙක් උත්සහ කලත් මට දැනෙන්නේ එය ඔහු හිතනා තරම් සඵල වූයේ නැති බවයි. එහෙත් එය චිත්‍රපටයේ ගලායාමට බාධාවක් කර නොගන්නට තරම් ඔහු සැලකිළිමත් වී තිබීම සැලකිල්ලට ගත යුත්තක්.

සමහර විටෙක අප මනස චරිත සමඟ පොරබදත්දී ඒ චරිත හරහා කාලය ගෙවී යාම සිදුවන්නේ කෙලෙසකදැයි විටෙක අපතුල පැනයක් නැගෙනවා, චිත්‍රපටය ආරම්භයේදීම සියලු කතන්දර වල ආරම්භය සිදු වුවත් ඒ ඒ කතන්දර හරහා කාලය ගෙවී යාම ගැන කල්පනා කරන විට අප මනස උභතෝකොටිකයකින් පෙලන්නට ගන්නේ අපත් නොදැනීමයි. උදාහරණයක් ලෙස අන්තෝනියෝ සහ මිලීගේ කතාව දිනයක් තුල විකාශනය වන ආකාරයක් දැනුවත් ජෝන් ෆෝයේ ගේ කතාව තුල ඒ විකාශනය දින ගණනාවක් තුල වනවා. සිනමාකරුවෙකු සිය නිර්මාණයේ විකාශය පිළිබඳ අවධානයක් යොමුකය යුතු වුවත් අවාසනාවට වූඩි ඒ ගැන සැලකිල්ලක් දක්වා නැති තරම්, සමහර වීට දශක 6ක් තිස්සේ චිත්‍රපට නිපදවූවෙකුගේ [1965-2014] මානසිකත්වය කෙසේදැයි අප දන්නේ කොහොමද නේද?

ශාන්ත(?) ජෝන්
ඇලෙක් බෝල්ඩ්වින් පෙනී හිඳින්නේ ජෝන් ෆෝයි නමැති අමෙරිකාවේ ජීවත්වන රෝමයට නිවාඩුවක් සඳහා පැමිණි ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ චරිතයක් සඳහායි.., එහෙත් මට සිතෙනා ආකාරයට නම් ජෝන් පෙනී හිඳින්නේ ජෝන් ළමාකල රෝමයේ ජීවත් වූ ගොඩ නැගිල්ලේම වෙසෙන වාස්තු විද්‍යා සිසුවෙකු වන ජැක් ගේ සාධු පස පෙන්වා දීම සඳහාම කියලයි. ජැක් ජීවත් වන්නේ ඔහුගේ පෙම්වතිය සැලී සමඟින්, කලකදී සැලීගේ හොඳම මිතුරියක් වන මොනිකා සිය ප්‍රේමයට තිත තබා රෝමයට එන්නේ සැලී හා ටික කලක් ජීවත් වීමටයි.., මෙතැනදී මොනිකා ගැන එතරම් තැකීමක් නොකල ජැක් පසුවදී මොනිකා හා ප්‍රේමයෙන්(?) වෙලෙනවා.., එහිදී ජැක් විසින් තබන්නට යන ඊළඟ පියවරේ ගුණ දොස් විචාරන්නා වන්නේ ජෝන්. සෑම පියවරක් අවසානයේදීම මොනිකා, සැලී සහ ජැක් ගේ සිත්හී යටිපෙළ සහ එහි ප්‍රතිවිපාක පෙන්වා දෙන්නේ ජැක්ගේ උරහිසේ නිතර වැඩ හිඳිනා අදිසි සුර දූතයා ජෝන් ලෙස දැනෙනා ආකාරයෙන්.

අහේතුක ප්‍රසිද්ධිය
රොබර්ටෝ බෙල්ජිනී රඟන්නේ ලියෝපොල්දෝ පැසනෙල්ලෝ නමැති මධ්‍යම පාංතික පුද්ගලයාගේ චරිතයයි.., එහෙත් එක් අවස්ථාවකදී ඔහුව කිසිමාකාරයක හේතුවක් නොදක්වා ජනප්‍රිය සංස්කෘතිය විසින් ඔසවාගෙන යන ආකාරයක් පෙන්වනවා, පැපරාසි උසිගැන්වීම්, චිත්‍රපටි මුහුරත් වලට සහභාගී වීම්, එහෙත් අවාසනාවකට මේ කිසිවක් නරඹන්නාට තෙරුම් ගන්නට වූඩී ඉඩහසර ලබාදෙන්නේ නැති තරම්. එකවරම මාධ්‍යවේදීන් විසින් වටකරගන්නා පැසොනෙල්ලෝ මහතා ඉන් ගැලවී පලායන අවස්ථා හත අටක් ම මේ චිත්‍රපටය තුල අන්තර්ගතයි, බලන්නා මුවගට සිනහවක් නැංවුවත් කල්පනා කර බලන විට මෙවැනි සිද්ධියක් වරකට වඩා ඔබ්බන්නේ ඇයි කියා ලැබෙන උත්තරය රික්තකයක් වන්නේ නිතැතින්. 


චිත්‍රපටය බලා අවසාන වූ පසුව මට හිතුනේ අපි දෙස වූඩි ඇලන් බලා සිනහා වූවාට වඩා අප දෙස බලා වූඩි ඇලන් සිනාසුනා ද කියලයි :D :D

[ චිත්‍රපටය න‍රඹන්නේ නැතිව මේ සටහන කියෙව්වට මෙලෝ අල බෝලයක් තේරෙන්නේ නෑ, ඒ නිසා චිත්‍රපටය හැකිනම් බලන්න :) ]


6 comments :

  1. වූඩි ඇලන් මම කැමතිම අධ්‍යක්ෂවරයෙක්. ඔහුගෙ චිත්‍රපටි බොහොමයක් මම බලල තියෙනවා. ඔහුගෙ චිත්‍රපටි ඇතුලෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ඕන තරම් තියෙනවා. ඒ වගේම ඒ ගැන ‍කියන්න ඔහු එළඹෙන දාර්ශණික ප්‍රවේශය මම ඔහුගෙ කැමතිම ලක්ෂණය. ඒ වගේම ඔහුගෙ තිර රචනය, දෙබස් අමුතුවෙන් කියන්න දෙයක් නැති දේවල්. අනිත් කාරනේ තමයි ඔහු තෝරගන්න නළු නිලි පිරිස!

    ReplyDelete
    Replies
    1. ඇලන් කියන්නේ අමුතු පොරක් හරේ අයියා, ඒ කියන්නේ මිනිහා ජීවිතේ දකින්නේ අනිත් මිනිස්සු දකින විදියට නෙවෙයි.., ඒ වෙනස චිත්‍රපට වලින් පේනවා, ඒත් මට හිතෙන්නේ ඒ ඇරුනම මිනිහා අනික් සියලුම දේවල් වලින් පට්ට සාම්ප්‍රදායිකයි, ඔහු විකුම් පාන්නේ ආරම්භයේදී නම්පෙළ සහ පසු නම් පෙළ කියන කොටස් දෙක අතර මැද වූ ඔහු තනා ගත් කොටස තුලයි, ඒ වෙනස තුල ඔහුගේ නලු නිලි පිරිසෙනුත් හොඳටම දැනෙනවා.!

      Delete
  2. [ චිත්‍රපටය න‍රඹන්නේ නැතිව මේ සටහන කියෙව්වට මෙලෝ අල බෝලයක් තේරෙන්නේ නෑ, ඒ නිසා චිත්‍රපටය හැකිනම් බලන්න :) ]

    ආයිත් අහල... හි හි....

    මාත් වූඩී ඇලන්ගෙ ගොඩක් ෆිල්ම්ස් වලට කැමති, එකක් හිනාවෙන්න පුළුවන් වීම... අනිත් එක හැම කතාවකම ආදරය ගැන මොන විදියේ හරි අර්ථකතනයක් ඇතුලත් වීම....

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගැන බර තියලා කතා කරන්න පුලුවන් අවස්ථා වූඩී ගේ ෆිල්ම් වල තදින් තියෙනවා, වූඩීගෙ චිත්‍රපටි කිහිපයක් බලලා මට හිතුනේ එහෙම..

      Delete
  3. ලිශ් මම නම් මේ ෆිල්ම් එක ආපු දවසේම බලපු කෙනෙක්... (ආයෙත් අහලා ඔය නම දැක්කම අපි එහෙමයි හරි ;( )
    මට හිතෙන්නේ මේක කොමඩි එකක් විදියට මාකට් කරන්නේ අයිතිහාසික නගරය එක්ක. මේ නගරයේම ජීවත් වෙන අපි පවා ඔය ෆිල්ම් එක බලන්නේ අන්න ඒ ඒම් එක හරහා. මට දැන් පාට් එකෙන් පාට් එකට මතක නැති වුනාට මේකේ ගොඩාක් ප්‍රසිද්ධ නළු නිළියෝ රඟපානවා. ෆිල්ම් එක පුරාවටම හිනාවෙන්න තරම් දෙයක් නැතත් ඒ ඉදිරිපත් කරන විදිහ හරහා අපි හැමෝම හිනාවෙනවා. අපි වූඩිගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුනාට ඒක එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඊයේ පෙරේදා ආව වූඩිගේම බ්ලූ ජැස්මින් බැලුවමත් මට හිතුනේ අපි හොයන දේ නැති වුනාට ඒක ඔහුගේ අවුලක් නෙමෙයි කියලයි. අපිටයි වැරදෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අක්කේ මම කීවේ මේ සටහන අන්තිමට ම, "චිත්‍රපටය බලා අවසාන වූ පසුව මට හිතුනේ අපි දෙස වූඩි ඇලන් බලා සිනහා වූවාට වඩා අප දෙස බලා වූඩි ඇලන් සිනාසුනා ද කියලයි" කියලා. :)

      Delete