හිතූ තරම් නොදැනුන Eat Pray Love

2 comments
මම කියන චරිතය පදනම් වෙන්නේ කාරණා තුනක් මතයි.., රස කෑම, පොත්, සංචාර මේ තුන ගැන හිතේ මොන තරම් ආසාවක් තිබුනත් රසකෑම, පොත් සඳහා කාල වේලාව වෙන් කරන්නට ඉඩ තිවුනත්, සංචාර සඳහා නම් වෙන් කරන්නට කාලයක නොතිබුන තරම්. අත්හදාබැලීම්, සංකල්ප, ඒ මතින් වන ජීවිත හැඩ ගැස්වීම් වගේ දේවල් මගේ මනසට එකතු කරන්නේ හරිම පූර්වයක්. මගේ හොඳ හිත මිතුරන් දෙදෙනෙකු වන පැතුම් සහ බෝමන් එක්ක එකකට එකක් වෙනස් අවස්ථා දෙකකදී කතා කරමින් ඉඳීද්දී කියාපු දෙයක් තමා කෑම ගැන තියෙන ෆිල්ම්ස් බලනවා නම් උඹ අනිවාර්යයෙන් ම julie & julia සහ eat pray love කියන චිත්‍රපටි දෙක බලපන් කියන එක. මම julie & julia බැලුවා. මේ ලඟදී ආපහු පරන ෆිල්ම් ටික බලනකොට ආපහු මතක් උනා මම eat pray love බලලා නෑ නේද කියලා.., මේ කෙටි සටහන වෙන් වන්නේ ඒ මතක් වීම ආපහු අමතක නොවන්නට බ්ලොග් ගතවීම වෙනුවෙන්. :)

එලිසබෙත් ගිල්බර්ට් ගේ අලෙවි වාර්ථා තැබු මේ නිබන්දනය චිත්‍රපටයට නැගුණු විට එහි රඟපාන්නට යෙදුනේ ජුලීයා රොබර්ට්ස් [එලිසබෙත් ගිල්බර්ට්ගේ චරිතය "ලිස්"] ප්‍රධාන චරිතය ලෙසත්, ජේම්ස් ෆ්‍රැන්කෝ, වයෝලා ඩේවිස්, හ්වියෙර් බර්ඩෙම් සහ අති දක්ෂ අතිරේක රංග ශිල්පීන් කැලක් විසින්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ, සම තිර රචනය කලේ රයන් මර්ෆි විසිනුයි.
[ඔහු හා ජෙනිෆර් සෝල්ට් සමඟින් එක්ව ඇමෙරිකන් හොරර් ස්ටෝරි ටෙලි කතාවේ කථාංග ගණනාවක් රචනා කර ඇති බව එහි නම් පෙළ සැලකිල්ලෙන් බලා ඇතිනම් ඔබට වැටහේවි.]

සිය විවාහය තුල තමන් සිටින්නේ අසතුටින් බව පසක් කරගන්නා එලිසබෙත්, සිය වේදනා කාරී වූ දික්කසාදය සහ නැවත ඇති වන අස්ථීර සබඳතා පිළිබඳව වන කලකිරීම විසින් ඇයව සිය සිත සමනය කරගැනීම සඳහා සංචාරයේ යෙදීම කල යුතු බව කල්පනා කරනවා. වසරක කාලයක් ඇතුලත රෝමය, ඉන්දියාව සහ අවසානයේ බාලි දූපත් තුල ඈ විසින් අතීත දශක කිහිපය තුල තමන් හට අහිමි වූ තමන්ව සොයා ගන්නට දරන උත්සහය අප ඉදිරියේ තබන්නේ අති සුන්දර මතකයක්. එහෙත් චිත්‍රපටයක් ලෙස අපට අදියුරුවේ සහ අනෙකුත් අංශ වල පෙනෙන්නට ඇති වෙනස්කම් [අඩුපාඩු?] මේ සටහන තුල ලියා තබා හිත සමනය කරගන්නට මට අවැසියි.
Liz in India

නම සහ ප්‍රචාරණය තරමටම සහ පොතෙන් ලැබූ ජනතා ප්‍රසාදය චිත්‍රපටයට ලැබී නැති බවයි මගේ නම් අදහස. වෙනත් විදියකින් කියනවා නම් චිත්‍රපටය බලන්නට ගෙන ටික වෙලාවක් යනවිට මට සිතෙන්නට ගත්තේ මේක මම හිතුව තරමට ම නෑ නෙව කියලයි. ආදර්ශමත් සහ ජීවිතය ආලෝකමත් කරන තාලයේ චිත්‍රපටයක් කියා සිතුවත් සරළ විනෝදයක් සමඟ තුටු අවසානයකින් යුතු සාමාන්‍ය කතාන්තරයක් බවයි මගේ හැඟීම. කෙටියෙන් කියනවා නම් බලාපොරොත්තුවේ තරමට චිත්‍රපටය උස නෑ කියලයි මට හිතෙන්නේ.  
නාට්‍යමය ස්වාභාවයක් සහිතව එළි දකින් මේ කතාව තුල කාලය කියන සාධකය අප වෙත උලුප්පා දක්වන්නට බල කරන්නේ නෑ.., එහෙම කියන්නට හේතුව වුනේ මම මේක බලනකෝ මට මේක 1990 දශකයටත් ඒ වාගේම වර්තමානයටත් ආදේශ කරන්න පුලුවන්. ඊට අමතරව අතීත මතකයන් නිසා පීඩාවට පත්ව හිඳින කාන්තාවක තමන් ලද අවස්ථාවලින් සතුට නම් සංකල්පය ආහාර, අධ්‍යාත්මික කැප කිරීම් සහ ආදරය තුලින් දිනා ගන්නට උත්සහ කිරීම් වගේ දේවල්, අපට දකින්නට වර්තමාන අප[මම] ජීවත්වන සමාජය [සාමාන්‍ය ලාංකික සමාජය] තුල සුලභ නැති වුවත් මේ චිත්‍රපටය බලත්දී මෙහෙම දේවලුත් වෙනවා ඇති තමා කියලා හිත සනසා ගන්න වෙනවා.
මේ චිත්‍රපටය තැනීමේදී සත්‍ය ජීවමාන චරිතයක ආදර්ශ තුලින් පබැඳුනු කතාවක නිසා එහි හැඟීම් දැනවීම් සහ ප්‍රධාන චරිතයේ හැසිරීම් වලදී සත්‍ය චරිතයේ තොරතුරු පාදක කරගන්නට උත්සහ දැරීම පිළිබඳව එකඟයි එහෙත් වෙනත් චිත්‍රපට වලදී අපි ජුලීයා රොබර්ට්ස් තුලින් දුටු රඟපෑම් නොවේ මෙහි ඇත්තේ. උණුසුම් තුටුපහටු හැඟීම් දැනවිය යුතු අවස්ථාවල රොබර්ට්ස් සිටින නිහඬ ආකාරය සහ විවාහය අත හැරෙමේ අවපීඩිතය ඕනෑවට වඩා පෙන්නුම් කිරීම තුලින් චිත්‍රපටයට හානියක් වූ බව මට හිතෙනවා. විශේෂයෙන් ම ප්‍රධාන චරිතය එසේ හැසිරෙන අවස්ථාවකදී. 

නිදසුනක් ලෙස චිත්‍රපටයේ එක දර්ශනයක් තීබෙනවා ප්‍රශංසා කිරීමේ දිනයේ සංවිධානය කල දිවා අහාරයක දී එලිසබෙත් සියලු දෙනාට මේ සුන්දර අවස්ථාවේදී පැමීණ ඔවුන් හා එකතු වීම පිළිබඳව ප්‍රශංසා කරනවා, එනමුත් ඇය ඒ ප්‍රශංසාව කරන්නේ අවට සිටින සංවාදයේ යෙදී සිටින පෙම්වතුන් දෙස බලා චින්තාපරවයි.   

සිනමාකරණය තුලද නේපල්ස්, ඉන්දියා තුල රූ ගත කරන ලද දර්ශන ඉතා සුන්දරව තිබුනත් ඒ සුන්දර බව බාලි වල කොටස් වලදීත් පෙන්නුම් කලා නම් අගේය කියන හැඟීම මට දැනුනා. ඒ කියන්නේ අර නේපල්ස් සහ ඉන්දියාවේ ඇති වර්ණවත් උණුසුම් බව බාලිවලදී නොමැති වීම තදින් දැනුනා. සමහර විට ලිස් ගේ ආදරය ශිශිරතාරක නින්දේ ඇති බව පෙන්වන්නට උවමනා වූවාද දන්නෑනේව. ඒත් ඒක එක එක්කෙනාට වෙනස් ඇති. අපි වගේ දුහුණන්ට එහෙම දැනුනට. හැබැයි එකක් ඒවා වූඩීගේ to rome with love චිත්‍රපටයට වඩා නම් අනර්ඝයි. ;)

අවංකවම එක දෙයක් කිවිය යුතු වෙනවා, ඔබ චිත්‍රපටයේ අතිරේක පෙදෙස් ගැන වද වෙන්නේ නැති නම් eat prey love යනු ඔබට හොඳින්ම රස විඳින්නට හැකි චිත්‍රපටයක්, ඒකේ දෙකක් නෑ. ප්‍රධාන චරිත අර විදියට හැසිරුනාට ඔබට හොඳ සුන්දර සහ අපූරු චරිත කිහිපයක් ම මෙහි දැකගන්නට පුලුවන්.., ෆෙලිපේ [හ්වියෙර් බෝර්ඩෙම්] රිචර්ඩ්[රිචර්ඩ් ජෙන්කින්ස්] සහ කෙටුට් ලියාර් [හදී සුබියන්තෝ]ඒ අතරින් මගේ වඩාත්ම සිත්ගත් චරිතයි.  

Help : Google


Dolce Far Niente - කිසිවක නොයෙදීමේ මිහිරියාව

ඌණ සාධකව සිනමා කරණයේ ගැටලු තිබ්බත් සංස්කෘතීන් වල වෙනස පෙන්වාදෙන ආකාරය අති ආකාර්ශනීය බව කිව යුතුමයි. නිදසුනක් ලෙස රෝමය හා බාලි අතර සංස්කෘතිකමය වෙනස, ඊට අමතරව ඉතාලියානුවන් අතර පවතින දොල්චෙ ෆර් නියන්තේ නැතිනම් කිසිත් නොකිරීමේ මිහිරියාව නැතිනම් අලසසුවය පිළිබඳව පවසන අවස්ථාවන් කතාවට නව අරුතක් ගෙන දෙන බව මට සිතෙනවා.  සිතූ තරමට ප්‍රබෝධමත් නොවූවත්, විටෙක ඔබට එය ප්‍රීතිය දනවන්නක් විය හැකියි. ඒ සංවේදනාව දැනෙන්නට ඉඩ ඉතුරු වී ඇත්තේ තවමත් මා නොකියවූ ඒ එලිසබෙත්ගේ පොත තුලින් පමණයි., ඒ නිසා චිත්‍රපටය බලන්න..! හැකිනම් ඊට කලින් පොත කියවන්න..


2 comments :

Post a Comment