හිතට වද දෙන නිමිත්තක්

9 comments
මීට කිහිප දවසකට ඉහතදී මම ගෙදරට බඩු වගයක් ගන්න ෆුඩ්සිටියට ගියා. ගන්න උවමනා කල බඩු ටික අරන් එලියට එනකොට වාහනය වටේටම වෙනත් වාහන නවත්වා ඇති නිසා මම ටික වෙලාවක් වාහනය තුලට වී සිටියා.., මෙහෙම ඉන්න වෙලාවේ එක වයසක සීයා කෙනෙක් අනිත් නවතා තිබූ වාහන වල වීදුරු තුලින් අත දමමින් සිඟමන් ඉල්ලමින් ආවා.., සමහර අය වීදුරුව උස් කර නොඇහුන සේ හීටියත, බඩ ගින්නේ ඉන්න වයසක මනුස්සෙයෙකු නේද කියා සිතා අතේ තුබූ රුපියල් දහය කාසිය ඔහු වෙතට දෙන්නට මම හිත හදාගත්තා.
මගේ වාහනය වෙත ආ මේ මනුස්සයා සුපුරුදු ලෙසම මා වෙතත් ඔහුගේ රැළි වූ අත්ල පෑවා.., මම කාසිය තුබූ සැනින් අත එළියට ගත් මේ මනුස්සයා දෙයියන්ගේම පිහිටයි මහත්තයාට කියා හසරැල්ලකින් යුතු මුහුණින් කීවා..,එහෙත් මා වෙනත් මනුස්සයෙකුගෙන් නොම එන සුවඳක් වහනය වූ නිසා මම තවත් ඔහු වෙත විමසිලිමත් වුනා.,
මේ මිනිහා නං බීලද කොහෙද?
යටිහිත මට කියන්නට වුනා..,
බුදු බණේ තමා කෙනෙකු යම් දෙයක් දුන්නේ නම් ඒ පිළිබඳව තව තවත් සිතීම ඒ දීමේ චේතනාවෙන් ලැබෙන ආනිංසංසයට හානි කරන වග දැක්වෙනවා. එහෙත් දුන් මුදල ගැන දුකක් නැතත්, සිය අවර ජීවන රටාව නිසා වලපල්ලට යන මේ දෙලොවටම නැති ජීවිතය නැතිවෙන්නට මම බිඳුවකින් හෝ දායක උනා නේද යන සිතුවිල්ල මා තුල තියෙනවා.., එය තවමත් මා සිත පෙලනවා..!
ඔහු මේ වන විටත් අතට ලැබෙන හිඟමනෙන් එදාවේලට සරිලන රහමෙරක් තොලගා සිටිනවා වෙන්න පුලුවන්..!
ඒත්
ජීවිතය කියන්නේ හරිම වෙනස් තැනක්.., ඔබ නොදැනුවත්ව ම ඔබ කෙනෙකුගේ ජීවිතය අවරගත් වෙන්නට නිමිත්තක් වෙන්නට හැකියි.., 
විශ්වාස කරන්න මම ඒ අත්දැකීම වින්දා..!

9 comments :

Post a Comment

කලකට පෙර ඇසූ වතක්

5 comments

එකමත් එක රටක අන්ධ යාචකයෙක් ජීවත් උනා. ඔහුට කන්න අඳින්න තියා යන්න එන්නටවත් පණ තිබුණේ නෑ.., ඔහුව රැක බලා ගත්තේ ඔහුගේම පුත්‍රයා.., ගුණවත් බවින් අනූන මේ පුතා සිය දෑස් නොපෙනෙන පියාව රක්ෂා කලා. ඉතින් මෙහෙම ඉන්න වෙලාව, මේ නුවරට පිටනුවරකින් ආපු වෙළෙන්දෙකු මේ යාචකයා අසලින්ම භාන්ඩ තබාගෙන විකුණන්නට පටන් ගත්තා..,

මේ බඩු හරිම ලාභයි.! එසේ කියමින් වෙළෙන්දා බඩු වික්කා..!
වෙළෙන්දාට තනි රැක්කේ මේ යාචකයා..!
වෙලෙන්දාගේ තනියට හිටපු කතාබස් කල යාචකයාට වෙළෙන්දා මෙහෙම කිව්වා..!
මම මගේ වෙළඳාම් කරලා ඉවරයි.., හොඳ ලාභයකුත් උපයාගත්තා..,
ආ දිනයේ සිට මා එක්කලා මිත්‍රකම් පැවැත්තුවාට බොහොම පිං..!
මේ පොඩි තෑග්ග මා මතක් වෙන්ට තියාගන්ට.

මෙහෙම කියලා වෙළෙන්දා අර යාචකයාට අමුතු ළාම්පුවක් දුන්නා..,
යන්නට ලෑස්ති වෙලා ඔහු මෙසේ යාචකායාට කිව්වා.
ඕක ඇතුලේ රහසක් ඇති..,මෘදුව පිරිමදින්න එය එළිලාවි, ඒ තුල ඇට්තේ එක වරයක්.
ඒ එක වරය මොලේ පාවිච්චි කරලා භාවිතා කරන්න,
එය ඔබව සදහටම ධනවතෙක් කරාවි

වෙළෙන්දා ගියාට පස්සේ වෙළෙන්දා දවසක මේ පහන් අරන් පිරිමදින්න ගත්තා..,
මෙහෙම පිරිමදිනකොට පහනෙන් භූතයෙකු මතුවුනා..,
මමයි මේ පහණට අදිපති භූතයා, මට තව ඇත්තේ එකම වරයයි.., ඒ නිසා ඒ එක වරය නුවනැත්තෙක් ලබාගෙන සැප සම්පත් ළඟා කර ගනීවි යන්නයි මගේ පැතුම..,හොඳට කල්පනා කරලා තමන්ගේ වරය ඉල්ලන්න..,

යාචකයාට මෙහෙම කල්පනා වුනා.
මට දරුවෙක් ඉන්නවා,
ඔහුට ජීවත් වෙන්න ධනය අවැසියි..,
ඔහු ජීවත් වෙන අයුර බලන්න මගේ සිහිනයක් තියෙනවා..,

මෙහෙම දිගින් දිගටම කල්පනා කල යාචකයා භූතයාගෙන් මෙහෙම ඉල්ලීමක් කලා

මට ආසයි මගේ පුතා රජවෙනවා බලන්න.

Image : http://is.gd/tLUiRD

5 comments :

Post a Comment

දෙමාපියන්ගේ සිහින වල බර අදින නාට්ටාමි පරපුරේ දරුවෝ

13 comments
පුතා ලොකු උනාම කවුරු වෙන්න කැමති..?
ඉස්සර ගෙදරට එන ගොඩක් අය එක එක ජාති වල සෙල්ලම් බඩු එක්ක මම සෙල්ලම් කරන දිහා බලලා මගෙන් අහනවා මට මතකයි.., සමහර වෙලාවට ගෙදරට එන අය මගෙන් අම්මා තාත්තා ඔයාට කොච්චර ආදරේද වගේ ගොං ප්‍රශ්ණ අහනවාත් මට අමතක නෑ.., අම්මගේ තාත්තාගේ ආදරේ ප්‍රමාණාත්මකව පෙන්නන්න පුලුවන්ද කියන මතය ඇතුලේ පොඩි කාලේ ඉඳම්ම මම හිටියා කියලා කියන්න අද වෙනකොට මට පුලුවන් උනත්, එදා එහෙම මොකෙක් හරි අහනකොට මට ඒකට දෙන්න උත්තරේ විදියට අදාල වචන මා සතුව තිබ්බේ නෑ කියලයි මට හිතෙන්නේ..., 
එහෙම අසරණ කරන ප්‍රශ්ණයක් කවුරු ඇහුවම මම කලේ අත්දෙක දෙපැත්තට කරලා මේන්න මේ තරම් කියලා කියනවා, ප්‍රශ්ණය අහපු මනුස්සයා මගෙන් ඒක උත්තරේ විදියට අරන් මා ගැන අපේ අම්මා එක්ක ,
හරී කියුට් පොඩි එකා නේ? ඔයා මෙයාට ගොඩාක් ආදරේද?
වගේ මගෙන් අහපු ප්‍රශ්ණේම අම්මගෙන් [මදර් වර්ශන්] අහන්නේ මොන මගුලක් හිතේ තියාගෙනද කියලා මට තාමත් ප්‍රශ්ණයක්.., ගෙදරට ආපු අමුත්තෙකු නිසාත්, ආගන්තුකයෙකුට හිත රිදෙන ලෙස කතා කිරීම නොයුතු නිසාත් කරබාගෙන සිනහවකින් පමණක් උත්තර දී ප්‍රශ්ණය මඟ ඇරපු වෙලාවල් මට තවමත් මතකයේ තියෙනවා, 
මේ ගැටලුවේම යාවත්කාලීන තත්ත්වය උදා වුනේ මම 1 වසරේ පන්තියට මොන්ටිසෝරි ඉඳන් ගිය මුල්ම සතියේ අපේ බාලාංශ පන්තියේ ටීචර් වෙලා හිටියේ ගුණවතී මිස්.., දැන්නම් ඒ උන්දෑ වෙන ආත්මභාවයක උප්පත්තිය ලබලත් ඇති. ඒ දවස් වලත් උන්දෑගේ වයස අවුරුදු හැට ගාණක්.., බාලාංශයට ගුරුවරු නැති නිසා ස්වේච්ඡාවෙන්ම සේවයකරන්න ආපු ආදර්ශවත් ගුරුමවක්. ඉතින් අපි වෙනදා වාගේම ඉඳගත්තම පන්තියෙන් පාඩම යන අතර වාරේදී මොකක් හරි සීන් එකකට
හා.., ළමයි කියන්න බලන්න ඔයාලා ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියලා
ඔන්න ඉතින් ළමයි එක එක උත්තර දෙනවා.., සමහරු දොස්තරලා, සමහරු ඉංජිනේරුවෝ, තවත් සමහරු පයිලට් ලා ඔන්න ඔහොම.., මගෙ ගාවට ටර්න් එක ආවම මගෙනුත් ඇය උත්තරයක් බලා පොරොත්තු උනා.., මම මගේ හිතට ආපු විදියට මම උත්තරේ දුන්නම..,
මොනව..???
ඔය ළමයාව මේ ඉස්කෝලෙට දාලා තියෙන්නේ ඔයාලගේ දෙමවිපියෝ ඔයාව ටේල‍ර් කෙනෙක් කරන්නද???
මේ විදියට නම් හැදෙන්න එපා කියලා මාව පන්තිය ඉස්සරහට ගෙනල්ල දණ ගස්සවලා තිබ්බ විනාඩි දහයක් විතර..,  ඒත් එහෙම වෙත්දීත් මම දැනගෙන හිටියේනෑ මේ මොකටද දණ ගහන්නේ කියලා.., ඒත් සිද්ධිය නම් මට මතකයේ තිබ්බා.., ඒ මගේ පාසල් ජීවිතයේ මුලින්ම ලැබුණු දඬුවම නිසා.
ඉතින් ඒ සිද්දිය මේ කතාවට සම්බන්ධ කරනකොට ළමයින් තමන්ගේ අනාගත වෘත්තීය තීරණය කරන්නේ අර සාම්ප්‍රදායික අම්මලා තාත්තලා දෙන රාමුවට හිර කරලා, ඒත් ඒක කොයි තරම් සාධාරණද? මට හිතුනේ එහෙම.., කවදාහරි දරුවෙකු ලබන්නට වාසනාවක් තිබේනම් කවදාවත් ඔහුගේ/ඇය ගේ අනාගතය නැමති කැන්වසය ඔබට කරගන්නට නොහැකි වූ නො ඒසේනම් ඔබේ සිහිනය නැමති රාමුවට ඔබේ දරුවගේ සිහිනය රාමු කරන්නට තැනීමෙන්  සමහර විට දරුවාගේ අනාගතයම ඔහුට/ඇයට අහිමි වී යා හැකියි.., 
මම මේ සටහන් මේ විදියට කියන්නට හිතුවේ මේ ආකාරයේ අවිධිමත් සිහින සැබෑ කරගන්නට ගොසින් තමන්ට තමන් අහිමි වූ ජීවිත කිහිපයක් අපේ පරම්පරාව තුලත් ඉන්නා නිසාවෙන්.., මම ලියන බ්ලොග් කියවන මගේ පරපුරේ එවුන්ට මට කෙලින් කියන්නට බැරිවූ දේ කවදා හෝ මේ සටහන කියවා උන් දාරණය කර ගතහොත් එය මගේ සැබෑ අභිමතාර්ථය ඉටු වීමක් වේවි.

13 comments :

Post a Comment

සංක්ෂිප්තයෙන් අසංක්ෂිප්තයට පාර කියන උපේක්ෂා ගේ කවි පළිඟු කැට

4 comments
මේ වන විට වත් පොත් නො එසේනම් Facebook හී කවියන් කිවිඳියන් අති බහුතරය සිය අත්දැකීම් අළලා තම පිටුවල එසේත් නැතිනම් බ්ලොග් වල හෝ ඉන් පරිබාහිරව පත්තර වලත් තම නිර්මාණ එළිදක්වනවා.., මම මේ කියන්න යන්නේ ඒ එළිදක්වන පිටු වල ඇති කවි ගැන නෙවෙයි.., මේ කවි විඳින එකතුවෙන අය අතර සිටින සමහර අය ඉන් එහා යන්නට එසේත් නැතිනම් උඩුගංබලා පිහිණීමක් කරන්නට උත්සහ ගන්න අවස්ථා විරළයි. දහස් ගණනක් ඔන්ලයින් ලියැවෙන කවි රස වින්දට ඒ විඳින රසය පොත ලෙස දොරට වඩින විට ඒ දෙස ඇසක් නොහරින සමාජයක, කවි පොතකට මිල නියම කල විට මිලදී ගන්නට තමා තුල ඇති සාහිත්‍යකාමය මුදලේ බලයට යටව යන්නට නොකමැත්තෙන් හෝ ඉඩදෙන මිනිසුන් සිටිනා රටක එඩිතරව කවි පොතක් හෝ එළිදක්වන්නට හිත හදා ගැනීම, මගේ චිනතන පරාසයන්ට අනුව "මාර වැඩක්" වෙන්නේ අන්න ඒ නිසා..,
පහුගිය දවස් කිහිපයකට පෙර මගේ බ්ලොග් සහෘදයින් කිහිප දෙනෙකු පසුගියදා පැවති TweetupSL හී දී හමුවීමෙන් පසුව එහිදී අපේ හිතවත් "මගේ මරණය" අතේ හරි හතරැස් පොතක් පෙරළමින් කියවනවා දැක්කා.., කියවන්නට ආසා හිතුනත් උත්සවය අවසානයේදී මරේගෙන් පොත ඉල්ලා ගැනීමෙන් අනතුරුව බසයට වී එය පිටත්වෙන තුරු පිටු පෙරළන්නට වුණා.


මෙච්චර වෙලා වට වන්දනා ගැහුවේ උපේක්ෂා අක්කගේ අභිනව කවි පොත වෙච්චි පළිඟු කැට වලට ප්‍රවේශයක් ගන්නටයි. ඉතාමත් සොඳුරු නිසඳැස් 63ක එකතුවකින් සමන්විත කවි පොතක නිසඳැස කියන සංකල්පයට ම සෑහෙන විදියට පොත ඉතාම හුරුබුහුටි ආකාරයට සකසා තිබෙන නිසා කවි කියවන්නට ප්‍රථම පොත වටේට හරව හරවා බැලුවේ සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් නිර්මාණය කරන ලද පළිඟු කැට පොතේ කංචුකයේ නිර්මාණත්මක බවත් කවි වල ඇති වටිනා කමට ඉතා ඉහල ආකාරයේ සාධාරණයක් ඉටු කරන නිසාවෙන්මයි.
"උපේක්ෂා සංක්ෂිප්ත කාව්‍ය රචනයෙකිලා වැඩි ප්‍රිය තාවයක් දක්වන බැව් පෙනේ. අනුකාරක මනසකින් යුතුව මෙවන් කවි ලියන්නට ගිය ඇතැමෙකුගේ සංක්ෂිප්ත කවි සංක්ෂිප්තය තුලම රැඳිණ. උපේක්ෂා මෙයින් වෙනස් වන්නේ සංක්ෂිප්තය අසංක්ෂිප්තය වෙත රැඳව්වීමට ඇය සමත් වීම නිසා ය."

කවියේ පෙරවදන ලියන මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මයා උපේක්ෂාගේ නිසඳැස් වලට ඇති පෙම ඉවැරදිව අඳුණාගෙන ඉතා අගනා විචාරය ඇයගේ ලියවීම පිළිබඳව පවසනවා, ඇය විසින් ලියන්නට යෙදුනු මේ පොතේ ඇති බොහෝ කවි ගැන කරන ලද ඉතා සංක්ෂිප්තමය කියවීමක් බව රචකයාගේ අදහසයි, සීමාගත වදන් කිහිපයකින් සුසැදි නිසඳැස් ආරේ මේ කවි තුල සහසකුත් වදන් වලින් කිව නොහැකිදේ ගැබ්ව ඇති යැයි කිවහොත් උපේක්ෂාගේ කවි රසිකයෙකු නම් ඊට එදිරිව කිසිවක් නොකියන බව සක්සුදක් සේ පැහැදිලියි. ආදරය, විරහව, කුසගින්න, ජීවිතය, මරණය, නිදහස වැනි මහා ප්‍රවාහයේ මෙන්ම කවියකට අකුරු වෙතැයි නොසිතන ආරේ මාතෘකා පවා උපේක්ෂාගේ පෑන් තුඩට හසුව අකුරු වී ඇති ආකාරය ඉතා ප්‍රශස්තයි.

කවි වලින් මගේ හිත මුලින්ම ඇදුනේ ඔහේ පිටු පෙරළද්දී අහම්බෙන් ඇස ගැටුණු 39 වෙනි කවිය හෙවත් "මහන්සිය" නැමැති සඳැසයි.

ඉණ වටේ රැඳි
ඩහ බිංදු ටික
බිම වැටුනේ
නව මසක් ගිය පසු

වචන කිහිපයක් තුලින් උපේක්ෂා කියවන්නාට උගන්වන සමාජ විද්‍යාව වචන කරන්නට ගියානම් කොතරම් කල ගතවේවිද? ඒත් ඒ සියලු හිස්තැන් පුරවමින් ඒ හැඟුම් එලෙසින්ම ලැබදෙන්නට උපේක්ෂාට එක මොහොතක අකුරු කරන වදන් කිහිපයක් හොඳටම ප්‍රමාණවත්. සමන් මහාචාර්ය රණසිංහ මහතා පැවසූ ඒ සංක්ෂිප්තය තුලින් අසංක්ෂිප්තයට පාර කපන නිර්මාණශීලී බවේ අරුමය ඔබ මේ පොත අතට ගන්නට ලැබුණ සැනින් ඒ පිටු අතුරින් ඔබට අත් විඳින්නට හැකිවේවි.
නිර්මාණශීලී බව යනු එයයි.

4 comments :

Post a Comment

#TweetupSL

4 comments
ද වන විට ලංකාව ඇතුලේ සමාජීයජාල වල ක්‍රියාකාරීත්වය පෙරට වඩා හැම අතෙකින්ම ඉදිරියට ඇවිත් තිබෙනවා., ඊට අමතරව ලංකාව තුල පෙර නොවූ විරූ ආකාරයෙන් සමාජීයජාල ආශ්‍රිතව රැකියා අවස්ථා වගේම විවිධාකාර ව්‍යාපාරිකමය ගුණයෙන් යුතු කටයුතු පවා සිදුකරන බව අප සියලුදෙනා මේ වන විටත් දන්නා දෙයක්.., ලංකාව තුල සෑම ජනතා මට්ටමක් අතරම මේ වන විට facebook සමාජීයජාලය පැතිරී ඇතත් අකුරු 140 කට අපේ අදහස් ලඝු කර පවසන්නට හැකි twitter ජාලය ජාලගතව කටයුතු බොහෝ දෙනා අතැඹුලක් සේ දන්නා අඩවියක් උනත්.., ෆේස්බුක් තරමට ම පැතිරී බවයි රචකයාගේ අදහස. ඒත් ෆේස්බුක් තරම් කරදර නැති නමුත් සිය ලබැඳියන් හා ෆේස්බුක් තරමට හෝ ඊටත් වඩා සම්බන්ධවිය හැකි twitter ජාලභාවිත කරන්නන්ට අතර තව තවත් ප්‍රචලිත කිරීම සඳහා සහ මේ වන විට ට්වීටරයේ සිටිනා අයගේ හිතවත්කම් තව තවත් වැඩි කිරීම අරමුණු කරගෙන හමුවක් පැවැත්වෙනවා. ඒ TweetupSL.
ලාංකික ට්විටර් පරිශීලකයින් අතර ජනප්‍රියතම චරිත දෙකක් වන @udaraumd සහ @moshanthi ගේ අදහසකට අනුව  මෙයට වසර දෙකකට පෙර 2010 අගෝස්තු 26 දින CocoVeranda හිදී ට්විටර් පරිශීලකයින් 100 කට අධික පිරිසක් සහභාගිත්වයෙන් පැවැත්වුණා.අවාසනාවකට මේ පළමු හමුවට මට යන්නට හැකියාවක් නැති වුණා.

පළමු හමුවේම වූ අති සාර්ථක බව නිසාම  2011 දීත් tweetupSL2 ඉසව්ව සංවිධානය කරන්නට සංවිධායකයන් පසුබට වූයේ නෑ., එහිදී ප්‍රධාන අනුග්‍රහකයා ලෙස Dialog ආයතනය විශාල කාර්යභාරයක් ඉටු කරන්නට ඉදිරිපත් වීම සුවිශේෂ කාරණාවක්. සහභාගීත්වය සලකුණු කරන හැමටම සමරු ටීශර්ට් එක බැගින් ලබාදීම සහ විවිධ තරඟ පවත්වා ජනග්‍රහණය කරන ට්විටර් පරිශීලකයින්හට ත‍්‍යාග පිරිනැමීම මෙහිදී වඩාත් සංවිධානාත්මකව කරන්නට සංවිධායකයින් උත්සුක වූවා.
මේ වරත් තුන්වැනි වරට TweetupSL හමුව මරදාන Warehouse Project පරිශ්‍රයේදී විශාල ට්විටර් පරිශීලකයන්ගේ එකතුවෙන් පසුගිය සැප්තැම්බර් 1 වන දින සවස 3 සිට 6 තෙක් පෙර නොවූ විරූ අනුග්‍රාගකයන් ප්‍රමාණයක් සහ ට්විටර් පරිශීලකයින් ප්‍රමාණයක් එකතුවෙන් පැවැත්වුණා. 

මේ කෙටි සටහන ඒ ඉසව්ව සංවිධානය කරන්නන් හට මීළඟ ට්විටර් පරිශීලක හමුව සාර්ථක කරලන්නට කුඩා හෝ ශක්තියක් වේ නම් එය රචකයාගේ පරමාර්ථය මුදුන්පත් කරලීමක් වනු ඇත.



ස්තූතියි @InduNan , @udaraumd

4 comments :

Post a Comment