Nebraska

6 comments

ඇලෙක්සැන්‍ඩර් පේන් කියන්නේ මේ වෙනකොට මගේ හිතේ ඉන්න හොඳම අදියුරුවා කිව්වොත් වැරදි නෑ.[මේ තත්ත්වය විටෙන් විට වෙනස් වෙන නිසා, හෙට අලුත් ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදහසට මොනා වෙයිද කියලා දන්නේ නම් නෑ. ] ඊට හේතුව වෙන්නේ පේන් හදන චිත්‍රපටි කුඩා පවුල සහ ඒ වටා සිටින චරිත පාදක කරගෙන හැදෙන නිසා, ඒවා අපේ ජීවිතේ අස්සේ අපි සම්බන්ධතා පවත්වන අය ගැනද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ කියලා අපිට හිතෙන්න ගන්න නිසා කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටිකලාවේ  දිගු ඉතිහාසයක් තියෙන පේන් මේ වතාවේ එන්නේ අපි ඉදිරියට වෙනස් ආකාරේ චිත්‍රපටයක් අරගෙන. ඒ චිත්‍රපටය නැබ්‍රෙස්කා. ඇමෙරිකානු සිහිනය තුල ජීවත්වන අපට සත්‍ය ඇමෙරිකාවේ රළු, වියළුණු හරස්කඩක් පෙන්වන චිත්‍රපටයක්. චිත්‍රපටය විශේෂ එකක් වන්නේ ප්‍රධාන චරිතය වන බෲස් ඩර්න් සහ සහය රඟපෑම් කරන විල් ෆෝර්ටේ සහ ජූන් ස්ක්විඩ් නිසාවෙන්. ඔබට ඇලෙක්සැන්ඩර් පේන් ගේ නිර්මාණ ශක්‍යතාව ගැන කුකුසක් ඇත්නම් මම සිතන්නේ ඔබට කල හැකි පහසුම දෙය තමයි නැබ්‍රෙස්කා බලන එක. 1985 කාර්මන් චිත්‍රපටයෙන් ඇරඹි සිය නිර්මාණ චාරිකාව 2013 වසරේ ඔහු කල නැබ්‍රෙස්කා දක්වාම සිය රිද්මය එක ආකාරයකින් පවත්වාගෙන එන ආකාර අවබෝධ කරගැනීම තුලින් නිර්මාණ ගැන ඔබ තුල වන දැනුම පෘථුල කරවීමට ඉඩප්‍රස්ථා ඇති කරවන බව නම් කිව යුත්තක්.
Woody Grant [Bruce Dern ] with Director Alexander Payne
නැබ්‍රෙස්කා චිත්‍රපටය ගෙතී ඇත්තේ වියපත් මොන්ටානා හි ජීවත් වන බේබදු පියෙකු වන වුඩී ග්‍රාන්ට් [බෲස් ඩර්න්] වටායි. එක් දිනෙක ඔහු අත වන ලොතරැයියකට ඩොලර් මිලියනයක ලොතරැයි  දිනුමක් ඇදී ඇති බව ඔහු සිතනවා. එහෙත් වූඩී ගේ බිරිඳ වන කේට් [ජූන් ස්ක්විබ්] වෙත වූඩි කෙතරම් ඇවටිලි කලත් ඈ සිතන්නේ එය මුසාවක් බවයි. සිය බිරිඳට කණපින්දම් කියා පලක් නැති බව සිතන වූඩි ඊළඟට කරන්නේ ත්‍යාගය ගැනීම සඳහා නැබ්‍රෙස්කා හි ලින්කන් නගරය වෙත පයින්ම ගමන් ඇරඹීමයි. වුඩිගේ පුතා වන ඩේවිඩ් [විල් ෆෝර්ටේ] විසින් පාරේ තනිවම ගමන් කරනා සිය පියා සොයාගෙන ඔහුව ලින්කන් නගරය වෙත රැගෙන ගොස් ත්‍යාගය ලබාදීමට කැමති කරවාගනී.  කෙසේ හෝ ඩේවිඩ් විසින් ගමන් වෙන අතකට හරවා ලින්කන් වෙත යන ගමන අතර මැද හෝත්‍රෝන් වෙත යයි. හෝත්‍රෝන් යනු වූඩිගේ උපන් ගමයි. එහෙත් අවසන වන්නේ ත්‍යාගය ගන්නට ලින්කන් වෙත යන අතර සිය නෑසියන් මුණ ගසෙන්නට හෝත්‍රෝන් වෙත යෑම ත්‍යාගය ගැන වන වූඩිගේ අදිටන සිහිනයක් වීමයි.

වෙනත් ආකාරයකින් කියනවා නම් නැබ්‍රෙස්කා යනු මඳවේගික චිත්‍රපටයක්, ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන්නේ ඇදිවේගී, වෙඩි තබාගැනීමේ දර්ශන සහිත, ලේ විසිරෙන සුළු, ටරන්ටිනෝ ආකෘතියේ චිත්‍රපටයක් නම් කරුණාකර මේ චිත්‍රපටය බැලීමෙන් වලකින්න, ඔබේ ඩේටා ටික අයියෝ ඩේටා කියා සිතේවී. මෙහි කතාව ඉතා දැඩි හෝ සංකීර්ණ නොවුනත් කතාවේ ගලායෑම මන්දගාමී වීම හරහා කතාව විකාශනය වීමට වැඩි වේලාවක් ගන්නවා, එසේ වීමට හේතුව ලෙස පුද්ගලිකව මට සිතෙන්නේ පේයින් විසින් වූඩීගේ දුර්වල බිඳවැටෙන සුලු මහලු අධ්‍යාත්මය නරඹන්නා වෙතට දැනෙන්නට ඉඩ හැරීමට විය හැකි බවයි. මෙතෙක් චිත්‍රපටය නැරඹූ අය අතර මේ ඉහත කී සංවේදනා වල බිඳුවකින් හෝ සමපාතවන අත්දැකීම් සහිත වන වුන් නැතැයි අප කියන්නේ කොහොමද? නිදසුනක් ලෙස මට පුද්ගලිකව මේ අත්දැකීම මගේ නෑසියන් ඇසුරෙන් විටින් විට අත්දකින්නට ලැබී තිබෙනවා, ඉතින් එවැනි සමාන අත්දැකීම් ඇත්තන් අතර ජනප්‍රිය වීම නිසාවෙන් තමයි ඇලෙක්සැන්ඩර් පේයින් ගේ සහ තිර රචක බොබ් නෙල්සන් විසින් කියනා මේ කතාවට මේ තරම් ජනප්‍රසාදයක් ලැබෙන්නට ඇත්තේ.
Woody Grant [Bruce] with his son David [Will Forte]


නැබ්‍රෙස්කා මට සුවිශේෂ වන තවත් එක හේතුවක් වන්නේ එහි ඇති කලුසුදු වර්ණිත සිනමාකරණය. සමාජය තුල විවිධාකාරයේ වර්ණ [ගතිගුණ?] වලින් යුතු මිනිසුන් සිටියත්, අප කොතෙක් උන් හා ගැටුනත් අවසානයේ මිනිසුන් වූ අපට මිනිසා ගැන තියෙන පොදු සාධකය එක්කෝ ඔහු හොඳ හෝ නරක මිනිසෙකු බවයි. පේයින් විසින් සිය නිර්මාණය තුල පැතලි වර්ණ භාවිතයක් කර ඇත්තේ මේ පොදු කාරණය උලුප්පන්නදැයි මට විටෙක සිතෙනවා. එය චිත්‍රපටය නරඹත්දී මට නිතර නිතර සිතට දැනුන කරුණක්. අනෙක් අතට වර්ණ භාවිත කිරීමේදී සිනමා කරුවාගේ අදියුරුවේ සහ නළු නිළියන්ගේ අඩුපාඩු වසා ගැනීමට හැකි වුවත් මෙහිදී පේයින් විසින් කලුසුදු භාවිතය නිසාවෙන් රංගන ශිල්පීන් වෙත වැඩි බරක් තබා ඔවුන්ගෙන් සිය උපරිම හැකියාව උකහා ගන්නට දැරූ තැතක් දෝහෝයි සිතෙන්නේ  ශිල්පීන් සිය චරිත වලට සිය සාධාරණය උපරිමයෙන් ඉඩු කරනා බව මට සිතෙනා නිසාවෙනුයි. කෙසේ නමුත් කළුසුදු වර්ණ වලින් වන්නේ කතාවේ ගලා යාම සහ එහි චරිත ඔබ වෙත කරන්නාවූ ආමන්ත්‍රණය තවත් ශක්තිමත් වීම බව මට සිතෙනා බව නොකියා ම බැහැ.

නැබ්‍රෙස්කා යනු ඉතා ශක්තිමත් තිරනාටකයකින් සජ්ජිත චිත්‍රපටයක් බව නොකීවොත් එය මා කරන ලොකු අඩුවක්, බොබ් නෙල්සන් විසින් චරිත වලට ඉතා සුන්දර ආකාරයෙන් අහම්බ එක්කාසු කර ඇති ආකාරය ඉතා සුවිශේෂයි. ඒවා කුඩා වුවත් ඉන් ඒ චරිත බොහොම අලංකාරව ආලෝකමත් කරනවා. මේ අහම්බ එබ්බවීමෙන් ඔබව මම සහ නරාන අපව අපටත් නොදැනෙන ආකාරයෙන් කතාවට ඇද බැඳ තබා ගැනීම නෙල්සන් විසින් කරනවා, ඔහුත් සමඟව එකතුව තිරරචනයෙන් මේ චිත්‍රපටයට ආලෝකයක් ගෙනා පේයින් වත් මතක් කල යුතුමයි, ඔබට අලංකාරිත අදියුරුවක් සහිත චිත්‍රපටයකට උදාහරණයක් කාට හෝ පෙන්වන්න්ට අවැසි නම්, ඔබට බිය නැතිව නැබ්‍රෙස්කා නම් කල හැකියි.

සියලුම සිත්ගන්නා සුලු ආකාරයේ සාධක පසෙකින් තැබුවත් නැබ්‍රෙස්කා යනු බොහොම කම්මැලි චිත්‍රපටයක් ලෙස දැනෙන්නට තියෙන ඉඩකට වැඩියි [හරියට මේ ලිපිය වාගේ ;)]. අපි මුලින්ම නරක ගැන කතා කරමු, කතාව ගලා යන්නේ පැයයි මිනිත්තු 55 වැනි කාලයක් තුල, සාමාන්‍යෙන් මේ කාලයක් තුල දිවෙන චිත්‍රපටයක් අප සංගත ධාවනකාලයක් සහිත චිත්‍රපටයකැයි හඳුනාගත්තත්. චිත්‍රපටය තුල චරිත ගලා යෑම ඉහත කීවාක් මෙන් බොහෝම ඔතෑනි සහ මන්දගාමී ලෙස ගලා යන්නේ, අනෙක් අතට කතාව හෝත්‍රෝන් වල ගත කරන දර්ශන ගණන ඉතා වැඩි යැයි සිතෙනවා, එක අවස්ථාව දර්ශන කිහිපයක් සංස්කරණ ශිල්පියාට කපා දැමිය හැකියි නේදැයි අවස්ථා කීපයකම මා හට සිතුනා. එහෙත් එහි අවසානය පරම අලංකාරයි, ඒත් එහෙම උනත් මට සිතෙන්නේ අඩුම තරමින් තවත් පැය කාලක්වත් කතාව අඩු වූවානම් පාඩුවක් නොවේයි කියලයි.

නැබ්‍රෙස්කා යනු ඔබතුල චිත්‍රපටයක් ගැන තිබෙන වෙනස් ආකාරයේ මතය වෙනස් කරන ආකාරයේ කතාවක් බව මට සිතෙනවා. කලුසුදු සිනමාකරණ කතාව නරඹත්දී නොදැනීම ආශක්තවූ පසුව ඉතාම පහසු ආකාරයෙන් කතාවට සමවැදිය හැකි ආකාරයට කතාව ගලා යන බව කිවයුතුමයි. කතාව මැදදී සහ ඉන්පසුව මඳක් මන්දගාමී වුවත් කතාව අවසානයේදී කියන්නට ඇත්තේ මට නම් නැබ්‍රෙස්කා යනු බැලිය යුතු වර්ගයේ චිත්‍රපටයකට හොඳ උදාහරණයක් ලෙස නම් කල හැකි චිත්‍රපටයකුයි. වෙනස් ආකාරයක චිත්‍රපටයක් බලන්නට උවමනාව ඇතිනම් නැබ්‍රෙස්කා බලන්න්ට පොඩි උත්සහයක් දුන්නාට පාඩුවක් නැති වෙයි මගෙහිතේ..! 


6 comments :

Post a Comment