Post CHOGM Stress | පශ්චාත් චෝගම් ආතතිය

5 comments
 
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුලුව අවසාන වී ඇත. රටට බොහෝ [අත්දැකීම් වැනි] දෑ ලැබී ඇති අතර ඒ ලැබීම් වෙනුවෙන් රජය කෝටි ගණනක් මුදල් ඒ වෙනුවෙන් වියදම් කර ඇති. චාර්ලිස් කුමරා ඇතුලු බ්‍රිතාන්‍යයෙන් මෙන්ම ඕස්ට්‍රේලියාවත් චෝගම් වෙනුවෙන් මෙරටට පැමිණියද බහුතරය අප්‍රිකානු රටවල් වලින් ය පැමිණ ඇත්තේ. ඒ අතරින් ඉන්දියාව, කැනඩාව ආදී රටවල් මෙරටට පැමිණීම වර්ජනය කල ඒ වෙනුවෙන් කිසිවෙකු චෝගම් සමයේ දී එළිපහළියට බැස ප්‍රකාශ නිකුත් කරන්නට තියා උන් පැත්තට හැරී හූවක් වත් කියන්නට එඩියෙන් යුතු නොවී ය. එහෙත් චෝගම් සමයේදීම youtube හී වීඩියෝ රසඳුණක් බවට පත් වූ ක්‍රිස් නෝනිස් මහතාගේ CNN වීඩියෝව දැක ලියුම්කරුද ජාති මාමකත්වයෙන් චූන් වූ බව මතක් කරන්නටත් ආතල් කටයුතු වේ.
චෝගම් වලට සතියකට පෙර සිට ම සියලු ජාති මාමක, ලෙමන්පෆ් වීර, ආණ්ඩු පක්ෂපාතී, අධිරාජ්‍ය විරෝධී ශබ්දවාහිණී නිහඬ කර තැබීමට දුන් උපදෙස කෙතරම් බලවත් ද යත්, චෝගම් ඇරී දිනයක් ගතවීත් උක්ත කුලකයට අයිති කිසිවෙකුගේ උගුරු දඬු වල වොලියුම් ඉහල දමා, ස්වීච් ඔන් කර [ලියුම්කරු මේ සටහන ලියනා අවස්ථාව වන විටත්] නොතිබිණි.

 
ඒ නිහඬ බව අවන්ත දුටිවේ මේ අකාරයෙනි.

නාඩගමේ මතකය චිත්ත සන්තානයන්ගෙන් පහව යන්නට මත්තෙන් කෙහෙළිය ඇමතිතුමා චෝගම් වලට ගෙන්නූ වාහන පිළිබඳව අපූරු කතාවක් කියා තිබේ. මා හට එය කියවන්නට ලැබුනේ ලංකාදීප වෙබ් අඩවියේ තිබීයි.
"අමාත්‍යංශ සියල්ලකම පාහේ දැනට පාවිච්චි කරන වාහන බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයෙන් පවතින ඒවා. උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකුට වාහන නැහැ. ඒ සඳහා ඉල්ලූම් කර තිබුණා. නමුත් එම අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අත්හිටුවා තිබෙනවා. දැනටමත් ඒ තීරණය කි‍්‍රයාත්මක වෙනවා. සියලූ අමාත්‍යංශවලට අවශ්‍ය වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවා ඒ වෙනුවට මෙම සමුළුවට ගෙන්වන ලද වාහන ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණයකර තිබෙනවා."
[උපුටාගැනීම : ලංකාදීප වෙබ් අඩවිය]
වාහන ගෙන්වීමෙන් රටට වන වියදම් අධික තත්ත්වය කෙසේ නම් දරාගනීදැයි මුල සිටම හර්ෂ ද සිල්වා වැනි විපක්ෂයේ එජාප මන්ත්‍රී වරුන් පෙන්වාදී තිබිණි. එජාපය හා බොබසේ එකට එක් වී චෝගම් සමයේදී තෙල් ටිකට නාගත් බව වෙනම කතාවකි. ඒ නමුත් අටානූවක් ගොන්කතා මැද එකදු හෝ වටින කතාවක් මතක් කිරීම වටිනාකටයුතු ය. ඊට යන අධික වියදම වෙනුවට මංත්‍රී වරුන් භාවිතා කරන අලූත්ම අලුත් සුඛෝපභෝගී වාහන භාවිතා කරන්නැයි කීවද ඒ තර්ගය කනකට ගත්තේ ආණ්ඩුව නොවේ. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල බුලට්පෲෆ් බෙන්ස් රථ 54ක්ද, අතිරේකව ජපානයේ නිපැයූ මෝටර් රථ 175ක්ද, වෑන් රථ 60ක්ද, බස් රථ 30ක් ද ඒ අතර වේ. මේවාට වියදම් වන මුදල් මෙතැන සඳහන් කරන්නට ලියුම් කරු මහන්සි නොවන්නේ ඉන් ඔබේ පශ්චාත් චෝගම් ආතතිය මෙන්ම, පූර්ව චෝගම් විශාදය ද ඉහළ යන බව දන්නා නිසා ය. 
 
කෙනෙකුට චෝගම් වලට වියදම් කල මුදල සාධාරණයැයි තර්ක කරන්නට හැකියාව ඇත.. ඊට ලියුම් කරු කිසිවක් කියන්නට බැඳී නැතත්, ලියුම් කරුට අනුව [ඔහු ජීවත් වන්නේ ලංකාවේ නිසා ජීවන බර තදට දැනේ] මේවා මීට වඩා සොයා බලා අවර කොන්වල වියැකී ලේඛන ගත නොවූ වියදම් ද ගණනය කලහෝත් දැනට එළිලා ඇති චෝගම් අයවැය අංක, අවලංගු කාසි මෙන් වන බව, ඉර හෙට පායනවා මෙන් ශුවර් ය.

2014 අයවැය කථාව නොවැම්බර් මස 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බව රජයේ පුවත් අඩවිය දැනුම් දී ඇත. ඒ අනුව දැනට පවතින වියහියදම් ද අධිකවන කාලයක් පසුකරන මේ දූපත තුල ජීවත් වන අපි ලබන වසරේ අයවැය තුලින් අප හට සහනයක් සැලසේ යැයි විශ්වාස කටයුතු ව පවසන්නේ කෙසේ ද? බොහෝ මගුල් ගන්නේ මගුල අවසන එකතුවන ලියුම්කවර තෑගි තුලින් වියදම පියවාගන්නට වුවත් මේ චෝගම් මගුල අවසානයේ ඉතුරු වන්නේ රුපියල් පනහ සීය දැමූ ලියුම් කවර කිහිපයකුත් අධිකව කැඩී බිඳීගිය පිඟන් කෝප්ප ටිකකුත් නොවන බවට අප පවසන්නේ කෙසේ ද? පශ්චාත් චෝගම් ආතතිය අපේ දන මන තුල තීව්‍ර වන්නේ ඕවා ගැන කල්පනා කරන විටය. අවුලක් නැත, සති දෙකක් යන විට මේවා අමතක වනු ඇත..

තතු මූලයන් :
www.lankadeepa.lk
 

5 comments :

Post a Comment