උණුසුම් ආදරය නිල් පැහැති ද?

8 comments
ධාවන කාලය පුරාවට ම ආදරය තැවරූ චිත්‍රපටයක් තුල ප්‍රේමාතුර වූවන් හට ඇස ගැටෙන සියල්ලම, ආදරයෙන් මත්ව ඇති ආකාරය ගැන කියන විට ආදරයට මුහුණු රැසක් ඇති බව අප ඇතුළු හදට රහසේ දැනෙන චිත්‍රපටයක්.. චිත්‍රපටයේ නම "Blue is the Warmest Color".


කතාව කෙටියෙන් කියන්නේ නම් මේ ආකාරයෙන්..
ඇඩෙල් යනු උසස් අධ්‍යාපනය ලබනා පාසලේ මිතුරියන් සිය පෙම්වතුන් පිළිබඳ ඕපාදූප කියනා ඒවා අසාසිටින ඒ වාගේම මිතුරියන් විසින් ඈ මනාප වූ පිරිමි මිතුරෙකු නුදුරේදීම හමුවන්න්ට බලාපොරොත්තුවන යුවතියකි. එක් දිනයක එක් වීථියක ගමන් කරනා අතරතුරදී ඈ පසුකර ගමන් කරනා නිල් හිසකේ වර්ණ ගැන්වූ තවත් යුවතියක ඇස ගැටෙනවා, ඇඩෙල් ඈ වෙත ආශක්ත වන්නේ නිරායාසයෙන්මයි. එහෙත් ඈ මනාප වූ තරුණයා අත හැරීම අඩෙල් හට දුශ්කර ක්‍රියාවක්, ප්‍රේමය සහ මෛථූන කටයුතු දක්වා ඔබ්බට ගිය සම්බන්ධයක් සිය පෙම්වතා හා තිබුණත් ඇඩෙල්ගේ සිත තුලින් හිසකේ නිල් පැහැති තරුණියගේ මතකය පහව යන්නේ නෑ. දිනක් සිය මිතුරෙකු හා ඇඩෙල් පුරුෂ සමරිසි සමාජ ශාලාවකට යනවා, ඉන්පසුව දෙදෙනා යන්නේ කාන්තා සමරිසි සමාජශාලාවක් වෙතටයි. පළමු වරට කාන්තාවකගේ බලපෑමකට ලක්වන ඈ මේ සමාජ ශාලාව තුල පෙර දිනකදී දුටු නිල් හිසකේ ඇති තරුණියද සිටිනවා දකිනවා. ඇඩෙල් වෙත කාන්තාවක කරන බලපෑම් දුටු ඇය ඊට මැදිහත්වී ඇඩෙල් ව බේරාගන්නේ ඇඩෙල් යනු සිය ඥාති සොයුරියක බව පවසමින්. ඉන් පසුව ඇඩෙල් මේ අපූරු නික් හිසකේ ඇති තරුණියගේ නම එමා බවත් ඈ උසස් අධ්‍යාපනය සඳහා චිත්‍රකලාව හදාරන්නියක බවත් දැනගන්නවා. දෙදෙනා එසැනින් මිතුරන්  වීමත්, එකිනෙකා හා ගත කරන කාලය තුලිනුත් ඇඩෙල් විසින් සිය හදවත තුල එමා වෙත පවතින කැමැත්ත සැබෑ ලෙසම ප්‍රේමයක් ලෙස හඳුණා ගැනීමත් සමඟ ඇඩෙල් ගේ සමකාලීන මිතුරියන් විසින් ඈව කොන්කර මිතුරු සමාගමයෙන් ඉවත් කරන්නේ ඈ සමරිසි චරිතයක් ලෙසට හංවඩු ගසමිනු යි. මේ හේතුව නිසාත් එමා සමඟ යළි යළිත් බද්ධවන ඇඩෙල්, එක් දිනයක් සිය හදතුල එමා පිළිබඳ ව පවතින ප්‍රේමය ගැන පාපෝච්චාරණය කරනවා. මේ සිදුවීම ප්‍රේමයක සිට මෛථූන සබඳතාවක් තරමට ම දුර යනවා. නව පෙම්වතුන් දෙදෙනාව එමාගේ පවුලින් උණුසුම් ලෙස පිළිගත්තත්, ඇඩෙල් විසින් එමාව හඳුනවා දෙන්නේ තවත් එක මිතුරියක හැටියට පමණයි.

වසර කිහිපයක් ගත වුවත් මේ අපූරු යුවතියන් දෙපල සතුටින් ජීවිතය ගෙවනවා. ඇඩෙල් සිය උසස් අධ්‍යාපනය අවසාන කර මූලික පාසලක ගුරුවරියක ලෙස සේවය කරනවා. එහි දී තමා සමඟ සේවය කරන එක් තරුණ ගුරුවරයෙකු ඈ පිළිබඳව විශේෂ තාවක් දක්වන බව දැනගන්නවා. දිනෙක මේ ගුරුවරයා සමඟ එක්ව ආහාර ගැනීමකට ගිය බව දැන ගන්නා එමා විසින් ඇඩෙල්ව ඔවුන් දෙදෙනා ජීවත්වන නිවස්නයෙන් එළවන්න්ට තරම් දරුණුවනවා. කාලයකට පසුව ඇඩෙල්ට එමාව හමුවන්නේ අවන්හලකදියි, ඇඩෙල් තවමත් එමා සමඟ ආදරයෙන් බැඳී සිටියත්, එමා මේ වන විටත් තවත් සම්බන්ධයක් ගොඩ නඟාගෙන අවසානයි. එමා විසින් ඇඩෙල් වෙත තමා තවදුරටත් ඈ හට ආලය නොකරන බව කියා සිටියත් ඇඩෙල් ට ලෙහෙසියෙන් එමාව අමතක කරන්නට හැකියාවක් නෑ, එහෙත් තවත් දුරටත් එමාව තමන්ට අයිති නැති බව තේරුම් ගන්නා ඇඩෙල් ඈ පිළිබඳ මතකයත් සමඟ සිය ජීවිතය වෙතට ගමන් ගන්නේ එමා නැති හුදෙකලාව සමඟයි.
නිකුත් වූ දිනය : 2013 ඔක්තෝම්බර් 19

ආදරය විවිධ ස්වරූප ගැන කියැවෙන මේ සිනමා සිත්තම, ඉහත කියූ සියල්ලෙන්ම සජ්ජිත වන අතර, වරින් වර අප හදවත තුල අප විසින් තනා ගන්නා විවිධාකාරයේ මානයන්, අප විසින් ම බිඳවට්ටවා ගන්නට සලසමින් අප දෑස් අසල රඟ දෙන චිත්‍රපටයක්; එම නිසාවෙන් මේ චිත්‍රපටය බලන්නට ප්‍රථම ඔබ සිහියට නගා ගතයුතු එක් ප්‍රධානතම කාරණාවක් නම්, මෙය ප්‍රංශ චිත්‍රපටයක් බවයි. කිසිවක් සිදු නොවන, ඔහේ ගලායන, වාහන අනතුරු නැති, මහා පිපිරීම් නැති, නින්ජා සටන් නැති සුන්දර ලියන් හා බැඳි නොසිතන බලාපොරොත්තු නොවන ආකාරයේ අවසානයන් වලින් තොර චිත්‍රපට බවයි. එහෙත් ඒ කිසිවක් නැතත් මෙය ආදරයෙන් නෙක ආකාර කාමරාගයන් ගෙන් පූර්ව ලෙස සජ්ජිතයි.

දෙවනුව ඔබ සිහි දරාගතයුත්ත නම් නොසලකා හැරිය නොහැකි තරම් බහුලව ගලා යන එක සමාන දර්ශන වලින් යුතු මසැසට හිරිහැරයක් සහිත වූ ප්‍රධාන නිළියන් දෙදෙනා, අධ්‍යක්ෂක සහ ග්‍රාෆික නවකතා රචකයා අතර ඇති අපූර්ව ඝට්ටනයයි. එහෙත් චිත්‍රපටයේ පැවැත්ම සහ ඒ තුල ඇති සිදුවීම වල පවතින නැසීම් සහ පිබිදීම් වල පවතින අනන්‍යතාවන් දකින්නට අපව බලහත්කාර කරවන සාධකයත් උක්ත සිදුවීම ම තමයි. ස්පර්ශිත ප්‍රේමයන්, හමුවීම්, එක්ව ආහාර ගැනීම් සහ යහන්ගතවීම් වලින් පිරුණු මේ සිත්තමේ ඒ හැර අපට වෙන බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද?

මේ සටහන කියවාගෙන යත්දී ඔබට "මේ ෆිල්ම් එක හොඳද ඕයි" කියා සිතෙන්නට පුලුවන්.., එහෙත් එය නෙවෙයි ඔබ සත්‍ය වශයෙන් ම ඇසිය යුත්තේ..,  ඔබ විමසිය යුත්තේ "සත්‍යවශයෙන් ම ඔබව මේ චිත්‍රපටය විසින් පිනවන ලද්දේද?" යන ප්‍රශ්නයයි. අවාසනාවට මේ චිත්‍රපටය සම්බන්ධයෙන් උක්ත ප්‍රශ්නයට පිළිතුරක් තවමත් මා සතුව නැහැ.

සත්‍ය වශයෙන් ම මේ චිත්‍රපටය මා ප්‍රමුදිත කල බව සත්‍යක්, නමුත් සිත තුල පවතින චිත්ත පරිකල්පනයන් පුපුරා යන්නට තරම් බලවන්ත වූ, වෙනත් චිත්‍රපට අවසන "අර පට්ටම මෙව්වා සහිත අතිවිශේෂ ෆීල් එකක්" සහිතවු හැඟීමක් මා තුල මේ චිත්‍රපටය අවසන දැනෙන්නට තරම් ප්‍රබල වූයේ නැහැ. සමහර විට මා සමරිසි අධ්‍යාත්මය, සහ ඔවුන්ගේ අති විවෘතභාවය පිළිබඳ වන බියකින් හෙබි ඇතුලු හදටම හැරුණු චරිතයක් වීම දැයි විටෙක සිතෙනා තරම්.
අප අවට ලෝකය තුල මේ ආකාරයේ අයාලේ ලියැවි ප්‍රේම රචනා කොතෙක් තිබුණත් සාම්ප්‍රදායික වික්ටෝරියානු මානසිකත්වයෙන් හෙබි සමාජයක ජීවත් වීම පාපය වින්දනය කරනා නිසාවෙන්, කාන්තාවන් දෙදෙනෙකු අතර ඇතිවන "සුන්දර" ප්‍රේම කාව්‍යයක සුව දැනෙන්නේ නැතිවීමත් එහෙම වෙන්නට එක හේතුවක් වන්නට ඇති බව මට විටෙක සිතෙන්නට ගන්නවා. එනමුත් මෙහි ඇති අපූර්ව ගුණය නම්, චිත්‍රපටයේ කථානායිකාවන් දෙදෙනා වන ඇඩෙල් සහ නිල් හිසක සහිත වූ එමා අතර ඇතිවන සබඳතාව තුල "සමහර" පෙම්කතාවල ඇති නොගැලපෙන පෙම්වතා සහ පෙම්වතියගේ ආල කතා වලට වඩා සහස් ගුණයක් ජීවයෙන් පිරුණු, නරඹන්නාගේ සියලු සංවේදනා විසින් කතාව තුලටම කාවද්දාගන්නට තරම් සමත් වන අදියුරුව සහ කැමරාකරණය තුලින් අපව ඒ තුල [කතාව මත] රඳවාගන්නා ආකාරයයි.

චිත්‍රපටය තුල බහුල වන සංඛේතයක් වන ආහාර ගැනීම් වලින් පෙන්වන්නට උත්සාහ කරන්නේ ඇඩෙල් තුල වල ලිංගික හාමත්භාවය, එසේත් නොමැති නම් කාමයේ ගින්න දැයි විටෙක සිතෙනවා; එමෙන්ම ඈ[ඇඩෙල්] විසින් තරුණයින්ගේ සිට තරුණ කතුන් දක්වා ආශක්තවීම තුල ඈ විසින් ඈ හට අහිමි වූ; එහෙත් නෙක ආකාරයෙන් සොයමින් යන ඒ අදිසි තෘප්ත භාවය පුරවා ගන්නට ඇඩෙල් තුල පවතින ගින්න දැයි අප තුල ගැහැටක් රහසින් මතුකරවයි.

ඊට අමතර ව චිත්‍රපටය තුල බහුල වූ කාමුක දර්ශන වෙත නරඹන්නා තුල ඇතිවන අභිරුචිය ගැන සඳහන් කරනවා නම්, එය සාමාන්‍ය ඇමෙරිකානු කාමුක දර්ශනයකින් ක්‍රියාවලියකින් දුරස්ථයි. මෛථූන ක්‍රියාවලියක අපුල පෙන්වනවාට වඩා ආදරය පිළිබඳ තියුණු මතකයන් අප හද සම්මුඛ කරවන්නට අදියුරු චිත්‍රපටය මෙහෙයවන ආකාරය ඉතා ඉහළයි. රේඛීය ආකාරයකට දැනෙන දර්ශනයකට [සාම්ප්‍රදායක කාමදර්ශනයකට] වඩා ඒ තුල මැවී ඇත්තා වූ මෘදු ජෑස් සංගීතාවක මත ඇඳී ආල රැඟුමක් ලෙසින් අර්ථ ගන්වන්නට හැකිනම් එය මා මේ කෙටි සටහන ලියත්දී උක්ත චිත්‍රපටයට කල සාධාරණයක් ලෙස ගිණිය හැකියි.

චිත්‍රපටය තුල ගලායන කාමරසය හැරුණු විට, චිත්‍රපටයේ ජීවත් වීම සඳහා කාලය යන නිමිත්ත ඉතා වැදගත් තැනක් උසුලනවා. ආරම්භයේ සිට දර්ශන මාරුවිම තුල පවතින ප්‍රධාන සම්බන්ධය වූ ඇඩෙල් සහ එමාගේ ප්‍රේමය(?) තුල පවා කාලය ඉතා මූලික නිමිත්තක්.., එය අපට වදනකින් වත් නොහඟුනත් බාහිර සාධක වල වෙනස්වීම ඒ පිළිබඳව අපට නිහඬව කියනවා. ඇඩෙල් විසින් සිය යොවුන් කාලයේ සිට ගෙවීයන කාලය දක්වාම කාලය නම් සාධක භාවිතා වන බව පෙන්වන්නේ කොණ්ඩාමෝස්තර වල වෙනස් වීම තුලින් පමණයි. එහෙත් එමා චිත්‍රපටය මුලදී නීලවර්ණිත කේශකලාපික අකීකරුවෙකු ආකාරයෙන් සිටියත් චිත්‍රපටය අවසානයේදී ඈ පෙනී සිටින්නේ තරුණ ජොන් බොන් ජෝවිගේ කෙශකලාපයේ අනුරුවක ලෙසටයි.
කිසිවක් නොවන තැන කිසිවක් ම, වන ආකාරයේ ප්‍රේමණීය ගමනක් මවනා අපූර්ව චිත්‍රපටියක් බලා අවසාන කලා යැයි සිතා සිත සැහැල්ලු කරගන්නට හැකි චිත්‍රපටයකි “Blue Is the Warmest Color” බහුල වූ ලිංගික එක්වීමේ දර්ශන වලින් පමණන් නොසෑහී එමා සහ ඇඩෙල් ගේ ප්‍රේමයේ ඇතුල් වත කියවන්නට අපට හැකි නම්, චිත්‍රපටයේ අදියුරුගේ කාරණාව බුදුවන බව නොකියාම බැරි කාරණාවක්.


Blue Is the Warmest Colour චිත්‍රපටය පිළිබඳව එහි නිමැවුම්කරු Abdellatif Kechiche සමග කළ කතාබහ.

8 comments :

  1. ස්තූතියි ඔත්තුවට... ඩවුන්ලෝඩිං :D

    ReplyDelete
    Replies
    1. බලන එක හොඳයි, ඒත් පරිස්සමින්, මොකද මේක [R] රේටඩ් මූවී එකක්..

      Delete
  2. ලිශ් ලංකාවේ මේ ෆිල්ම් හෝල්ස් වල පෙන්වන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම අහන්නේ ඔක්කොම ඩවුන්ලෝඩින් කියන හින්දා. මම නම් කැමති ෆිල්ම් එකක් ෆිල්ම් හෝල් එකට ගිහින් බලන්න. එහෙම නැත්නම් හෝම් තියටර් උනත් කමක් නෑ. අපිට නම් දැන් ප්ලේ ස්ටෝර් වල ගොඩාක් ෆිල්ම් බලන්න පුළුවන්.

      Delete
    2. නෑ මම හිතන්නේ නෑ අක්කේ, මේ වගේ මූවී එකක් ලංකාවේ සිනමා වලට එන්න සෑහෙන්න කාලයක් යාවී, ඒ ආවත් පෙන්වන්නේ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ..,
      මිනිස්සු සිනමා තියටර් වලට ඇදෙන්නේ හුදෙක් මෙහෙම චිත්‍රපටි බලලා ලිංගික ආස්වාදයක් ගන්නට මිසක්, චිත්‍රපටයේ යටිපෙල තේරුම් අරන් සංවාදයක් යෙදෙන්න බලා ගෙන නෙවෙයි.., මම කියන්නේ හැමෝම නෙවෙයි බහුතරය..
      ඩවුන්ලෝඩ් කරන එකෙත් වරදක් නෑ අක්කේ,
      අපි සිනමා වලට අපි කැමති මූවීස් රිලීස් වෙනකම් හිටියොත් කවදාවත් බලන්න වෙන්නේ නෑ.., ඒ ඇරත් ඔයා මෙහෙ බහුතර තියටර්ස්වල තත්ත්වේ දන්නා නිසා මම හිතන්නේ ගෙදර ඉඳන් බලන එක ප්‍රයෝජනයි කියලා..! ඒත් හරි රසය තියෙන්නේ සිනමා එකක ඉඳලා බලනකොට තමා..!
      play store ඒ සීන් එක මම දන්නේ නෑ අක්කේ

      Delete
  3. The Palme d'Or, the highest prize awarded at the Cannes Film Festival දිනාගත්තෙ මේ චිත්‍රපටිය. ඒ වුණත්, මම මේ චිත්‍රපටියට අකැමතියි. යටිපෙළ සම්බන්ධ කිසිදු විරෝධතාවක් නැතත්.. ඇතැම් දීර්ඝ දර්ශන නිසා, වළක්වා ගත නොහැකි ජුගුප්සාසහගත බවක් ම දැනෙනවා..
    එය ඇතැම් විට, මගේ දෝෂයක් විය හැකියි.

    Brokeback Mountain මට මීට වඩා අගෙයි.. එතැන දී දැනුණු ගැඹුරු බව මට මෙතැනදි දැනුණෙ නැහැ..

    ReplyDelete
    Replies
    1. ||මම මේ චිත්‍රපටියට අකැමතියි. යටිපෙළ සම්බන්ධ කිසිදු විරෝධතාවක් නැතත්.. ඇතැම් දීර්ඝ දර්ශන නිසා, වළක්වා ගත නොහැකි ජුගුප්සාසහගත බවක් ම දැනෙනවා..||
      ඇත්ත ඔබ කියනා දේට මමත් එකඟයි., චිත්‍රපටය තුල භාවිතා කරන දීර්ඝ දර්ශන විටෙක ඒවා බලෙන් එබ්බූ ඒවා දැයි හිතෙන තරමට වැඩියි. සමහර වෙලාවර ඒ දර්ශන මීට වඩා ඌණිත දැම්මා නම් කතාව මීට වඩා දැනෙන්නට තිබුනා යැයි හිතුනා.

      ||එය ඇතැම් විට, මගේ දෝෂයක් විය හැකියි.||
      නෑ ඔඅ හරි. ඒක තමා ඇත්ත..!

      Delete