හේඅලියාගේ කොටහළුව

මීට ටික කාලෙකට කලින් අපේ ගෙදර හදිසියේ ආපු ගුණපාල අපේ තාත්තා ඉන්නවද කියලා මගෙන් ඇහුවා.., ගුණපාල කියන්නේ මම මගේ shimmering thoughts බ්ලොග් එකේ ලියලා තියෙන හේඅලියා කියලා ලියලා තියෙන කතාවට පාදක වෙච්චි චරිතය..,

තාත්තා ඉන්නවද චූටි මහත්තයා..?
ඔව් ඇයි ගුණපාල..?
නෑ මේ මේ..,

මූ තටමනවා විතරයි මට කියන්නෑ මොකෝ කියලා..,

මොකෝ ගුණපාල??

අපේ තාත්තා ළඟදී කුළියට දෙන්න ඉන්න අපේ ගෙදරට ටිකක් එහායින් තියෙන ගෙදරට යන්න ලෑස්ති වෙලා කමිසයක් ඇඟට දාගන්න ගමන් ඇහුවා.

ලොකු මහත්තයා..,
ඔව්?
අපේ පොඩි දුව ලොකු ළමයෙක් වෙලා..,
අහ් ඉතින්?
මම මේ අවේ පොඩි අතමාරුවක් ඉල්ල ගන්න..,
කීයක් විතරද?
රුපියල් හාරදාහක් විතර..,
අපේ ලොකු කෙල්ල ගාව සල්ලි තියෙනවා ඒකි බඳින්න ඉන්නේ මහත්තයා මට පුලුවනෑ වියදම් කරන ගානේ ඒකිගෙන් ඉල්ලන්න.?
ඔව් ඉතින් හම්බු කල කියලා ඉතුරු කරලත් නෑනේ තමුසේ.,
ඒකනං එහෙමතමා මහත්තයා, මම හිතාන ඉන්නේ පොඩි මහත්තයාටයි ලොකු මහත්තයාටයිත් උත්සවේට ආරාධනා කරන්න..,
අපිට කිව්වේ නැතත් කමක් නෑ තමුසේ හවසට එනවකොට මම ගෙදරින් තියල තියන්නම් සල්ලි,

කොහොමින් කොහොම හරි මිනිහා හවස ඇවිල්ලා සල්ලී අරන් ගිහින් තිබ්බා..,ඔහොම සති දෙක තුනක් විතර ගතවෙද්දී මිනිහා ගැන හාංකවිසියක් නෑ.., කොහොමත් අර කිව්වයි වගේ උත්සවයක් ගත්තේත් නෑ කියලා තමා අපිට එහෙං මෙහෙං ආරංචි වෙලා තිබුණේ.., අර වැඩිවියට පත්වෙච්චි කතාව එහෙම්මම යටපත් වෙමින් උන්නේ, දවසක් අයියා එක්කලා ටවුමට ගිය තාත්තා අපේ ගෙදර ආවේ හොඳටම තරහින්.., කොහොමත් ඒ තරහට හේතු වෙලා තියෙන්නේ ගෙදර කවුරුවත් නොවන බව දැනගත්තු නිසා මම ඇයි කියලවත් අහන්න ගියේ නෑ.., මම කාමරෙන් එළියට යනකොට අම්මා තනියම හිනා වෙවී පත්තරේ බලනවා..,
මම ඇහුවා මොකෝ කියලා..,  

ගිහිල්ලා අහගන්නකෝ තාත්තාගෙන්ම..,

මම යනකොට අපේ තාත්තා යකා මූණ දාගෙන ඉන්නවා සයිඩ් ගහලා,
මම ඇහුවා මොකෝ කියලා..,

මට අද අර හේඅලියව හම්බුනා.
ඉතින්..,
මම ආගිය තොරතුරු එහෙම කතාකරලා ඇහුවා අර මිනිහගේ කෙල්ල වැඩිවියට පත්වෙලා කියල කිව්ව එකේ උත්සවේ ගත්තද කියලා..,
මේ යකා දුන්න උත්තරේ මට වෙන එකෙක් එහෙම දුන්න නං මම දනී කරනදේ..,

ඉතින් මොකෝ මිනිහා කිව්වේ..,

ආ ඒක එහෙම එකක් නෙවේ මහත්තයා
කෙල්ලව කූඩැල්ලෙක් කාලැයි කියන්නේ..

හර්ෂදේවගේ "සන්තාපය"


  හර්ශදේව මගේ මූණුපොත් ප්‍රෝෆයිලයේ සිටියාට මා හා වැඩි ඇඟෑලුම් කමක් නැති චරිතයකි, වරකදී දෙවරකදී පමණ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවීම් වලදී හමුවී ඇතත් ඔහු හා කතා කලාදැයි මට මතකයක් නැත.., මෑතකදී දේශීය යූටියුබ් වීඩියෝ අතර යොවුන් ජනප්‍රසාදයක් දිනාගත් රාවනා සහෝදරයන්ගේ මහසෙන් දැහැනේ එන ගැටවර බජව්වට ද ඔහු සම්බන්ධව සිටි බව දැනගත්තේ එහි වූ අවසානයේ වැටි ක්‍රෙඩිට්ස් කියවීම හේතුවෙනි. මේ කියන්නට යන්නේ හර්ෂදේව පිළිබඳ බටර් වත්, පිට කැසීමක් නොව.., ඔහුගේ සංගීත දිවිය පිළිබන්ද වූ වින්දනාත්මක පුවතකි..,ඒ ඔහු විසින් ගයන්නට යෙදුනාවූ සන්තාපයෙන් නම් ගීතය පිළිබඳවය.

රාජ් තිල්ලයාම්පලම් [වැඩි දෙනා දන්නා ආකාරයට රාජ්] යනු දේශීය සංගීත මෙන්ම භාරත සත්සර ද හැඩ කල චරිතයකි. කොටින්ම අපේ භාශාවෙන් කිවහොත් පොරකි. මගේ මතකය නිවැරදිනම් ඔහු දේශීයසංගීතය තුල සිය ආරම්භය සලකුණු කරන්නේ සංගීත් විජේසූරිය ගයන්නට යෙදුනු සියලුම ගීත රාජ් විසින් සංගීතවත් කල සැවැන්දරී ඇල්බමයත් ඉන්පසුව කසුන් කල්හාර ජයවර්ධන ගයන රාජ් සංගීතවත් කල සඳ මිතුරී ගීතය යන අවස්ථාවන් හරහා ය..,

රාජ් සහ හර්ෂදේව එකව ඉදිරිපත් කල සන්තාපයෙන් නම් ගීතය පිළිබඳ මේ සටහන ලියන්නට හේතුවූවේ එම ගීතයේ පවතින ලයාන්විත ගලායෑමට මා සිත බැඳීම බව කිවයුතුය.., කාසිම්ගේ ගීත පදරචනය සහ හර්ෂදේවගේ හඬමුසුව ට රාජ් කල සාධාරණය කුමන මට්ටමට අයිතිදැයි තීරණය කරන්නට තරම් මා තුල පවතින සංගීතය පිළිබඳ දැනුම ප්‍රමාණවත් නැතත්.., සාමාන්‍ය ජනයා නියෝජනය කරන අප වැනි අයගේ රසවින්දනය සපුරන්නට තරම් හර්ෂදේවගේ සන්තාපයෙන් පොහොසත්ය..!

ගීතයක් පිළිබඳ වූ මේ සටහන තුල හර්ශදේව ආරියසිංහ ගායකයෙකු ලෙස අනාගතයේදී දිග්විජය කරාවි යන බලාපොරොත්තුව මුසුව ලියැවුනු බව සැලකුව මනාය..



සිතුවිලි උත්තේජනය හෙවත් ෆොන්සේකාගේ නිදහස


 පෙරදා රාත්තිරියේ සිට.., ජෙනරාල් වෙනුවෙන් ජාල සමාජ හරහා කිඹුල් කඳුලු හැලූ අයටත්.., ඓශ්චර්යට යන මාර්ගයේ නිති පතා යන එන ජනපති පාර්ශව හිතෛශීන්ටත් හුස්මක් හෙළා ඉසිඹුවක් ලද හැකි කලක් තව පෑ විසි හතරක් තුල උදාවනු ඇත. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන පුවත ගැන ඉව වැටීමෙනි..

මහින්ද රනිල් හා පැවති කෝපි සාදයට පසුව ටිරාන් අලස් ගේ නිවසේ අනෝමා ගේ සහභාගීත්වය ඇතිව පවත්වන්නට යෙදුනු පොකට් මීටිමේ ප්‍රථිපලයක් ලෙස අද ඇපපිට නිදහස ලැබූ ෆොන්සේකා මහතා හෙට වන විට පූර්ණව ජනපති සමාව මැද පූර්ණ නිදහස ලබනවා ඇත. ඒ පිළිබඳ කැබිනට් අනුමැතිය, ජනාධිපති සමාව, සහ මාහාධිකරණයේ තීරණවල එක වරම වූ ලිහිල් බව පුදුමය දනවන සුලුය.

මේ දිහා එකත්පස්ව බලා සිටි මට වූ ගැටලුව නම් කිසිවෙකුගෙන් විමසීමකින් තොරව අභූත චෝදනා සමඟ සිරගතකල ෆොන්සේකාව නිදහස් කරන්නට අවට සිටින සියල්ලගේම අදහස් විමසන්නේ මන්ද යන ගැටලුවයි..,
සෝමවංශලා, කරූලා, ටිල්වින්ලා, සජිත්ලා, රවීලා, කොතරම් කෑ ගැසුවද අවසානයේ මරා සියල්ලන්ටම වඩා දක්ෂ ලෙස සිය ලකුණු මට්ටම සුපුරුදු ලෙස ඉහළ තබා ගත්තේය..,

එම නිසා දැන්,
  • පවතින පාලනයට එරෙහිව කොතරම් ඉස්පිරිතාල අස්සේ, සිරගෙවල් අස්සේ හිඳ කෑ ගැහුවද ෆොන්සේකාට සමාව ලැබීමෙන් පසුව කියන කිසිවක් වලංගු වන්නේ නැත.., ඒ SF ව නිදහස් කරන්නේ ජනපතිඳුගේ පූර්ණ අනුකම්පාව මැද නිසාය..,
  • අනික් අතට.., වටින් පිටින් අනියමින් හෝ නැගී එතැයි හෝ සිතිය හැකි ෆොන්සේකා නිදහස් නොකිරීම නිසාවෙන් පැන ආ කසුකුසු මහින්ද මේ වන විට එක වදනකින් නිශ්ප්‍රභා කරන්නට සියලු කටයුතු යොදා ඇත.., ඒ ෆොන්සේකාට සමාව දීම ලෝකයා [ලෝකයා යනු ලංකාවේ හැටියට ලංකාව තුල ය.] ඉදිරියේ හඬගා කීමෙනි. එවිට වන්නේ නැවතත් ආණ්ඩුවට පක්ෂ ජන සන්නිපාතයේ ප්‍රසාදය මැද මහින්ද නම් රුව දිදුලීම ය.

මේ අතරතුර තවත් කසුකුසුවක් වන ජී ඇල් සහ හිලරිගේ හමුව යථාර්තයක් නම්.., ෆෝන්සේකා නිමිත්ත පාදක කරගෙන වෙනම ලකුණු ප්‍රමාණයක් ජී ඇල් විසින් හිලරි හරහා ලංකාවට බැර කෙරෙනු ඇත.

එයට අමතරව පාලක පක්ෂයට හැරෙන්නට ජනතාව ඉන් වන මෙලෝ සෙතක් නැත.., ජෙනරාල් නිදහස ලැබූ සතුටට එළවලු ලාභ වන්නේවත්, ඉන්ධන මිල අඩු වන්නේවත්, වාහන බදු වල වෙනස් වීමක් වත් නොව.., මහජනයාගේ චින්තන ධාරවන් තාවකාලිකව උත්තේජනයක් වීම පමණි.., වෙනත් කිසිවක් නැත.., පපඩම් කෑවා සේ බඩටවත් කටටවත් නැතිව ස්වකීය චින්තන පරාස අනුභවයට ඉඩක් ලැබීමකි..,

රනිල්ට කරනොගත්තේ ද, මහින්ද කරන්නේද, ෆොන්සේකා මතු කරන්නේද අප කාටවත් නොපෙනෙන සිතුවිලි උත්තේජනය කිරීමේ බලපරාක්‍රමයේ මහා බලමහිමයයි..!

රූපානුග්‍රහය : tiptopsl

සංක්‍රාන්ති?

පහුගිය අඟහරුවාද මම උදේම පිටත් උනේ අපේ සිදත් අයියාගේ ගෙදර යන්න හිතාගෙන..,
උදේ අට නවය වෙනකොට වත්තේගෙදර හන්දියෙන් බැහැලා පයින් යන දුරක තිබුණු හෙදර ඉන්න සිදත් අයියා මට නෑයෙකුට වඩා යාලුවෙක් කියන තනතුරේ තියා ගන්න මම ගොඩක් කැමතියි.., මම ගියේ එයගේ බිස්නස් එකට කරපු හෑන්ඩ් බිල් එකේ කරගන්න තියෙන වෙනස්කම් ටික ගැන මා එක්කලා කතා කරනගන්න ඕනෙයි කිව්ව නිසා..,
සුපුරුදු විදියට එහෙට ගිහිල්ලා.., බීම වීදුරු කීපයක හිස් කිරීමෙන් අනතුරුව අප තර තාවකාලික නිහඬතාවක් ඇති වුනා..,

මල්ලී උඹේ වයස කීයද??

28යිනේ අයියා

බඳින්න අදහසක් නෑ දැම්ම??

නෑ බන්.., පොඩ්ඩක් මෙහෙම ඉන්නවැයි කියලා හිතුවා..,

හ්ම් ඒකත් එහෙමද?

ඇයි එහෙම ඇහුවේ..?

නෑ මේ කාලෙ වෙනකොට කෙල්ලෙක් එහෙම ඉන්න ඕනේනේ.., මට ඒ කාලේ කෙල්ලෝ වැහිවැහැලා :D :D

අනේ නෑ බන්..., මට මේ තියෙන නිදහස දාහෙන් සම්පතයි..,

මම දන්නවා..?

මොකද්ද??

පළවෙනි එක අතෑරුනාම ඊට පස්සේ එකක් කරන්න හිත හදාගන්න ටිකක් අමාරුයි.., ඒ කාලේ මම ගැහුවෙත් ඔය තැටියම තමා.

ඔව් බන් ඒකනම් ඇත්ත.., ඒක අස්පට් ගියාට පස්සේ තමා මේ විදියට ඉන්න හිතෙන්න ඇත්තේ බන්z

මෙහෙම කරපන් මල්ලියා.., 

දැන් බලපන් උඹේ හැටි..? උඹ නිතර එළිපහලියට යන නිසා වතුවලට එහෙම යන නිසා උඹේ හම පිච්චිලා.., අඩුගානේ කෙල්ලෙක් දාගන්න හරි උවමනාවක් තියෙනවා නම් පොඩ්ඩක් අඩුගානේ ෆෙයානස් ක්‍රීම් එකක් පාවිච්චි කරලා. අපේ වයිෆ් මම රට ඉඳන් ආපු ටික කාලෙට මගේ හම පිච්චිනවයි කියලා මට ෆෙයානස් ක්‍රීම් එකක් ගෙනත් දුන්නා.., බොඩි ලෝෂන් එකක්, පොඩි හෙයාර් ජෙල් එකක් පාවිච්චි කරන්න බලපන්!!

ඔව් ඒක නං ඇත්ත අයියේ..,

කොන්ඩේ පිළිවෙළකට හදන්න බලපන්
අඳින ඇඳුම ගැලපෙන්න ඇඳපන්..,

අනික වැදගත්ම දේ??

මොකද්ද??

බඩ ටිකක් අඩු කරගනින්..,

මොකද කෙල්ලෝ ආසයි ෆිට් ඇඟක් තියෙන කොල්ලන්ට.

මම සාමාන්‍‍යයෙන් ඔය උඩ කියපු දේවල් ගැන එතරම් සැලකිල්ල නැහැයි කියලා මටම හිතිලා තිබුණු නිසා මට ඒ ගැන ආපහු හිතන්න හිතුනා..!

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ..,

පොඩ්ඩක් වෙනස් වෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා වගේ..!

සාපේක්ෂක: නුඹට අනුව මම

ලියන ලියන
අකුරේ ලාලිත්‍ය
දකින
සිතන සිතන
වදන තුල
කවියක් හංගන
විද්වත් බහුමාන
"කලා රිට"
නුඹ

දමන
කවි වලට
අදහස් ලියන
ලියන අදහස්
සැර වැඩි නිසා
"රචක" ක්‍රෝධය
උතුරවන
ඌට අනුව
කොහෙවත් යන
අහක ලගින
"පාලං කොකා"
මම

අවසන අපි වෙසක් එකට බඩු මිල එල්ලා පත්තු කලෙමු..!


වෙසක් සඳෙන් සිරිලක නැහැවෙන්න ඔන්න මෙන්න කියා තිබියදී, සත් ගුණවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොනී ඇමැතිතුමා බඩුමිල නම් අසූචි හැලියකින් මුලු සිරිලකම නහවා දමනු ලැබීය.., මේ වේලාව වන විට වැඩිවී ඇති භාණ්ඩ අතර ඇත්තේ කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් යන අත්‍යාවශ්‍ය දේවල් වලින් සෑදුනු එකතුවකි.
ඊයේ ප්‍රවෘත්ති වලින් අසා දැනගන්නට ලැබුණු පරිදි ගෑස් සමාගම් ජොනී ඇමතිතුමාගෙන් ඉල්ලන ලද ගෑස් මිල වැඩි වීම රුපියල් 907 කි. එය අපේ ඇමතිතුමාගේ "අප්පිරිහත" ධෛර්යයෙන් යුතුව හෙළා දැක ඒ වෙනුවට සුට්ටං රුපියල් 350ක මිල වැඩි කිරීමක්, සත්‍ය වශයෙන් ම කර ඇත්තේ මිල වැඩි කිරීමක් නොව මිල සංශෝධනයක් පමණි.
එබෑවින් අපි කවුරුවත් කලබල විය යුතු නැත. අනෙක් අතට එතුමා ඒවෙලාවේම ලෝක වෙළඳ පොලේ ගෑස් මිල හදිසියේවත් පහල ගියෝතින් ඒ මිල සහනය අපිට නොමසුරුව ලබාදෙන බවටද හත්පොලේ අත තබා පොරොන්දු විය. අපිට හෙන සතුටුය. සතුට වාවා ගන්නට නොහැකිව කඳුලු පැන්නේ ඉකියක්ද සමඟීනි.
කිරිපිට මිල "සංශෝධනය" කරන්නට හේතුව අර පසුගියදා හැටන් පාරේ අත්තනෝමතිකව කිරි බවුසර මුදාහැර ලංකාවට කල පාඩුව වසා ගැනීමට විදේශ වලින් කිරිපිටි ගෙන්නා පාර්සල් කර විකුණනවා වෙනුවට සිරිලක කිරිගොවියා නංවා ඔවුන්ගේ දියර කිරි භාවිතයට ගෙන ලංකාවේ කිරිපිටි නිෂ්පාදනයට දිරිදීම කලයුතු නිසා බව අපේ ඇමැතිතුමා නැවත වරක් අවධාරණය කරනු මම ඊයේ රෑ සෙටියට වී බලාගෙනය. 
මෙතෙක් කලක් ඩෙන්මාර්කයේ නවසීලන්තයේ තණ පිට්ටනිවල පිනුම් ගැසූ දෙනුන්ගෙන් දොවාගත් කිරිබී හැදුනු අපේ ජහමනයාට සසිරි පිරි මෙ සිරිලක දේශීය කිරි ගොවියා විසින් දුක් මහන්සියෙන් ගන්නා කිරිදෝතින් වැඩක් වේදැයි කියා මට ඇත්තේ සැකයෙකි.
අවාසනාවකට එය එසේ වෙයි නම්, දුරාතීතයේ සිටම දේශීය කිරිගොවියා නංවනවාට එදිරිව අපි රට කිරි බිව්වා, නම් අපි අමූලික දේශද්‍රෝහියෝ වන්නෙමු..,
විමල්ට අපිව වහ කදුරු මෙන් පෙනෙනු ඇත.

රූපය : ගොසිප් 9 අඩවියෙන් ගත් රූ දෙකක දෙමුහුමකි.

ලෝබ අකුරු

කවි ලියද්දී
හරි ලෝබයි
විසිකරන්න වචන
මම

" ඇයි සල්ලි යනවද? "
යාලුවෝ
අහන්නේ එහෙම

නෑ...

මම
ලියපු කවියකට
මෙලෝ රහක් නැති
කොමෙන්ට් එකක්
දැම්මොත්
උඹ
කවිය ලියන්න
ඇඟිලි වෙහෙසලා
කොටපු යුනිකෝඩ් ත්
අපරාදේ
මම

ලොකු මහත්තයාගේ මාරඹ කුඹුර සහ නරි විජේ

විජේ ගේ ලොකුම තරහ කාරයා ලොකු මහත්තයා ය. ලොකු මහත්තයා යනු තැපැල් මහත්තයාගේ ලොකු පුතා වන අතර තැපැල් මහත්තයා මේ වන විට ජීවතුන් අතර නැත. ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය පිළිබඳව පැන නැඟුණු ගැටලුවකට එහි හිමි කාරත්වය පිළිබඳ විමසා සිටි අවස්‍ථාවේ විජේ කියා සිටියේ ඒ කුඹුරු යායෙන් හරි අඩකට වඩා අයිතිය දනවන පිඹුරුපත් සහ ඔප්පු තමා සතුව ඇති බවත් උක්ත බිම්කඩෙහි අයිතියේ සම හවුල් කරුවන් ලෙස ගල්වත්තේ රාළහාමි සහ ජයකොඩි සර් යන අය පෙනීසිටිනු ඇති බවයි.., මේ පිළිබඳව කල් තියා දැනගත් ලොකු මහත්තයා මේ තුන් පොල සිය නිවසට ගෙන්වා සංග්‍රහ සත්කාර කර මාරඹ කුඹුරේ අයිතියෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයක් තමා සතු බවටත් විජේ, ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර්ට ඉන් හරි අයිතිය ඇති තුනෙන් එකකට වඩා අඩු බිම් ප්‍රමාණය සමසේ බෙදී යායුතු බව කාරණා කාරණා සහිතව පෙන්වා දීමෙන් පසුව සිවු පස ම මේ ගැටලුව ඉඩම් නඩුවකින් සමතයකට පත් කරගත යුතු ය යන තීරණයට පැමිණ ඒ සඳහා දින නියම කරගත්තෝ ය.
අදාල දිනය උදාවිණි.
ලොකු මහත්තයා අවැසි ලිපි ලේඛන ද සපයාගෙන ඉතීරි තුන් පසට එදිරිව අදාල නඩුවට ඉදිරිපත් විය. වසර 5කටත් වඩා ඇදුනු මේ නඩුවේ තීරණය ලෙස ලොකු මහත්තයා කියූ පරිදිම තුනෙන් දෙකකටත් වඩා වැඩි අයිතියක් සමඟ ඉතිරි කොටස් කරුවන්ගේ ද කොටස් වල බහුතරය ලොකු මහත්තයාට අයිතිවන ලෙස කරුණු කාරණා සිද්ධ විණි.
තමාට වූ විසාල පාඩුවට හේතුව විජේ ගේ නොකලමණා ක්‍රියාකලාපය බවත් මේ නිසා එහි අලාභය ඉල්ලා තමා නඩු යන බවත් මීට වසර 40 කට පමණ පෙර ගංගොඩේ මහ විද්‍යාලයට ඉංග්‍රීසි පත්වීමක් සඳහා පැමිණ විශ්‍රාම යනතුරුම පාසලේ P.T සර් ලෙස සේවය කල ජයකොඩි සර් දෙකක් ඇනගෙන මාරඹ ටවුමේදී " නිකං නරි වැඩ කරන්න එපා ඕයි" යනුවෙන් විජේට බැන වැදීම නිසා 
විජේ + නරි වැඩ = නරි විජේ  ලෙස නාමකරණය විය.
නරි විජේ එතැන් පටන් ලොකු මහත්තයා සමඟ ජන්මාන්තර වෛරයෙන් පසුවන්නට විය. මුලදී විජේගේ පැත්ත ගෙන වැඩකල රාළහාමි සහ ජයකොඩි සර් ලොකු මහත්ත්යාගේ පැත්තට එක්කාසු වීම නරිවිජේ හට දරන්නට හැකියාවක් නොමැති වීම මේ කෝපයට හේතුව විය.
ලොකු මහත්තයා ගේ වත්තේ ලොකු අඹ ගහක් ඇත. මේ අවුරුදු කාලය නිසා කර්තකොළම්බන් ගහේ ගෙඩි සහ ගැට වලින් පිරී පවතී.., දිනක් ලොකු මහත්තයාගේ නිවෙස අසලින් ටවුමට යාම සඳහා ගිය නරි විජේගේ හිසට අඹ ගැටයක් වැටිණි., ගෙඩි ගැසුණු තට්ට හිසත් සමඟ උඩ බලමින් ලොකු මහත්තයාගේ මවු පාර්ශවයට පින් දෙමින් උඩ බලමින් ගිය නිසා වූයේ තවත් නොසිතූ දෙයකි. ඒ පාරේ ගැට්ටෙන් පය ලිස්සා අසල වූ ඇනිකට්ටුවෙන් පහලට ලිස්සා වැටීමයි.
ඇනිකට්ටුවෙන් පහල වූ මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට නොහැකිව මහ හඬින් ලොකු මහත්තයාට බණිමින් සිටි විජේව ගොඩට ගෙන නහවා බෙහෙත් දාගන්නට රුපියල් 500කිත් අතට දී පිටත් කලද ගේට්ටුවෙන් එළියට ගිය සැනින් නැවතත් ලොකු මහත්තයාට බණිමින් ම ටවුම දෙසට කොර ගසමින් යන්නට විය.

උක්ත සටහනට "බීට්ල් විරිත" ඇප්ලයි කලහොත් ►

01. ලොකු මහත්තයා ඇමෙරිකාව ගැන අසා ඇත්තේ උන්නැහේ රට රටවල් වල ච්ත්‍රපටි බලා ඇති නිසා වීමට හැකිය.

02. ජීවිත කාලයෙන් වැඩ හරියක් මහජන පක්ෂයට කඩේගිය නරි විජේ ජාතික පෙරමුනේ නියමු විමල් වීරවංස ගැන අසා නැතිවෙන්නට කොහොමත්ම ඉඩක් නැත.

03.
ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර් යන දෙපළද ජිනීවා ගැටලුවට පෙර ලංකාව සමඟ සිට පසුව ඇමෙරිකාව වෙත හැරවුණු රටවල් පිළිබඳ අවබෝදය ලබන්නේ හැමදා සවස 7ට බලන ස්වාදීනේ ප්‍රවෘත්ති නිසා වෙන්නට බෝ දුරට ඉඩකඩ ඇත.

04.
එහෙත් ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය යනු අප ජීවත් වන ශ්‍රී ලංකාවට සමපාත කරන්නට සිතුවහොත් ඒ ඔබ කරගත් විශාල වැරදීමකි.;)