පුතා ලොකු උනාම කවුරු වෙන්න කැමති..?
ඉස්සර ගෙදරට එන ගොඩක් අය එක එක ජාති වල සෙල්ලම් බඩු එක්ක මම සෙල්ලම් කරන දිහා බලලා මගෙන් අහනවා මට මතකයි.., සමහර වෙලාවට ගෙදරට එන අය මගෙන් අම්මා තාත්තා ඔයාට කොච්චර ආදරේද වගේ ගොං ප්‍රශ්ණ අහනවාත් මට අමතක නෑ.., අම්මගේ තාත්තාගේ ආදරේ ප්‍රමාණාත්මකව පෙන්නන්න පුලුවන්ද කියන මතය ඇතුලේ පොඩි කාලේ ඉඳම්ම මම හිටියා කියලා කියන්න අද වෙනකොට මට පුලුවන් උනත්, එදා එහෙම මොකෙක් හරි අහනකොට මට ඒකට දෙන්න උත්තරේ විදියට අදාල වචන මා සතුව තිබ්බේ නෑ කියලයි මට හිතෙන්නේ...,
එහෙම අසරණ කරන ප්‍රශ්ණයක් කවුරු ඇහුවම මම කලේ අත්දෙක දෙපැත්තට කරලා මේන්න මේ තරම් කියලා කියනවා, ප්‍රශ්ණය අහපු මනුස්සයා මගෙන් ඒක උත්තරේ විදියට අරන් මා ගැන අපේ අම්මා එක්ක ,
හරී කියුට් පොඩි එකා නේ? ඔයා මෙයාට ගොඩාක් ආදරේද?
වගේ මගෙන් අහපු ප්‍රශ්ණේම අම්මගෙන් [මදර් වර්ශන්] අහන්නේ මොන මගුලක් හිතේ තියාගෙනද කියලා මට තාමත් ප්‍රශ්ණයක්.., ගෙදරට ආපු අමුත්තෙකු නිසාත්, ආගන්තුකයෙකුට හිත රිදෙන ලෙස කතා කිරීම නොයුතු නිසාත් කරබාගෙන සිනහවකින් පමණක් උත්තර දී ප්‍රශ්ණය මඟ ඇරපු වෙලාවල් මට තවමත් මතකයේ තියෙනවා,
මේ ගැටලුවේම යාවත්කාලීන තත්ත්වය උදා වුනේ මම 1 වසරේ පන්තියට මොන්ටිසෝරි ඉඳන් ගිය මුල්ම සතියේ අපේ බාලාංශ පන්තියේ ටීචර් වෙලා හිටියේ ගුණවතී මිස්.., දැන්නම් ඒ උන්දෑ වෙන ආත්මභාවයක උප්පත්තිය ලබලත් ඇති. ඒ දවස් වලත් උන්දෑගේ වයස අවුරුදු හැට ගාණක්.., බාලාංශයට ගුරුවරු නැති නිසා ස්වේච්ඡාවෙන්ම සේවයකරන්න ආපු ආදර්ශවත් ගුරුමවක්. ඉතින් අපි වෙනදා වාගේම ඉඳගත්තම පන්තියෙන් පාඩම යන අතර වාරේදී මොකක් හරි සීන් එකකට
හා.., ළමයි කියන්න බලන්න ඔයාලා ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියලා
ඔන්න ඉතින් ළමයි එක එක උත්තර දෙනවා.., සමහරු දොස්තරලා, සමහරු ඉංජිනේරුවෝ, තවත් සමහරු පයිලට් ලා ඔන්න ඔහොම.., මගෙ ගාවට ටර්න් එක ආවම මගෙනුත් ඇය උත්තරයක් බලා පොරොත්තු උනා.., මම මගේ හිතට ආපු විදියට මම උත්තරේ දුන්නම..,
මොනව..???
ඔය ළමයාව මේ ඉස්කෝලෙට දාලා තියෙන්නේ ඔයාලගේ දෙමවිපියෝ ඔයාව ටේලර් කෙනෙක් කරන්නද???
මේ විදියට නම් හැදෙන්න එපා කියලා මාව පන්තිය ඉස්සරහට ගෙනල්ල දණ ගස්සවලා තිබ්බ විනාඩි දහයක් විතර.., ඒත් එහෙම වෙත්දීත් මම දැනගෙන හිටියේනෑ මේ මොකටද දණ ගහන්නේ කියලා.., ඒත් සිද්ධිය නම් මට මතකයේ තිබ්බා.., ඒ මගේ පාසල් ජීවිතයේ මුලින්ම ලැබුණු දඬුවම නිසා.
ඉතින් ඒ සිද්දිය මේ කතාවට සම්බන්ධ කරනකොට ළමයින් තමන්ගේ අනාගත වෘත්තීය තීරණය කරන්නේ අර සාම්ප්‍රදායික අම්මලා තාත්තලා දෙන රාමුවට හිර කරලා, ඒත් ඒක කොයි තරම් සාධාරණද? මට හිතුනේ එහෙම.., කවදාහරි දරුවෙකු ලබන්නට වාසනාවක් තිබේනම් කවදාවත් ඔහුගේ/ඇය ගේ අනාගතය නැමති කැන්වසය ඔබට කරගන්නට නොහැකි වූ නො ඒසේනම් ඔබේ සිහිනය නැමති රාමුවට ඔබේ දරුවගේ සිහිනය රාමු කරන්නට තැනීමෙන් සමහර විට දරුවාගේ අනාගතයම ඔහුට/ඇයට අහිමි වී යා හැකියි..,
මම මේ සටහන් මේ විදියට කියන්නට හිතුවේ මේ ආකාරයේ අවිධිමත් සිහින සැබෑ කරගන්නට ගොසින් තමන්ට තමන් අහිමි වූ ජීවිත කිහිපයක් අපේ පරම්පරාව තුලත් ඉන්නා නිසාවෙන්.., මම ලියන බ්ලොග් කියවන මගේ පරපුරේ එවුන්ට මට කෙලින් කියන්නට බැරිවූ දේ කවදා හෝ මේ සටහන කියවා උන් දාරණය කර ගතහොත් එය මගේ සැබෑ අභිමතාර්ථය ඉටු වීමක් වේවි.
9 comments :
Post a Comment