Showing posts with label #After_long_time. Show all posts
Showing posts with label #After_long_time. Show all posts

කට හැකර අතීතය, Enriqueගේ හාදුව සහ අපේ සදාචාරය(?)

මිනිසුන් වෙනස් වෙයි. කාලය අනුව තාලය අනුව මිනිසුන්ගේ වෙනස් වීම් විවිධාකාර බව අප අත්දැකීමෙන් දනිමු. කාලය ඉංගිරිසියෙන් time ලෙස හඳුන්වන අතර තාලය තමන්ට "කැමති නම්" trend ලෙස වරනගා ගත හැකිය. කාලය අපව පසුකර සමහර විට අපවද රැගෙන යයි. තාලය අප හා එක පෙලට ගමන් කරයි, විටෙක වෙනස් වෙමින් විටෙක නොවෙනස් වෙමින් ගමන් කරන අතර සුන්දර හදවත් ඇති වුන් “කාලයට අනුව තාලය” අනුගමනය කර එය තමන්ගේ කර ගනී.
මෙරටට අතීතයේ සිටම විවිධාකාරයේ සංදර්ශකයින් තමන්ගේ සංදර්ශන පවත්වන්නට මෙසිරිලක තෝරා ගනියි. අපි පාසල් යන කාලයේ  ආක්ෂේ කුමාර්, සල්මාන් ඛාන්, ජූහී චවුලා සමඟ මෙරටට පැමිණ සංදර්ශන පැවත්වී ය. එලෙසම ශාරුක් ඛාන්, ෂැගී, ස්ටීව් වොන්ඩර්, එ මතුනොව, ශ්රීමයා ගොෂල්, කුමාර් සානු, උදිත් නාරායන් මේ ආකාරයෙන් එකී නොකී විවිධ සංදර්ශකයෝ ගායකයෝ සිය ප්රතතිභාව පෙන්වා ගියෝය.  මේ කාලයට පෙර අපට අයිඩල තනාගන්නට උදවු කලේ රූපවාහිනිය සහ ගුවන් විදුලියයි, රුපවාහිනිය නොමැති දවස් වල ගුවන් විදුලියේ රේඩියෝ නාට්ටි අසා තමන්ගේ හිතේ චරිත මවාගෙන රසය විඳගත් වැඩිහිටි පරම්පරාව තවමත් අප රටේ සිටිති. ඉන් පසුව ආවේ රුපවාහිනි යුගයයි, ස්වාධීන රුපවාහිනියේ “රේඛා”, “රන්කහවනු” ටෙලි සිත්තම් වලින් ආරම්භ වූ මේ අපුරු දෘශ්යව තාලය කලක් ගත වන විට අපව විදේශීය ටෙලි නාටක වෙතට රැගෙන ගියේය. ඔෂින්, හයිවේ මෑන්, නයිට් රයිඩර්, හලක්, මේ ආදී විවිධ වැඩ සටහන් වලින් වඩාත්ම ජනප්රිෙය වූ කතන්දර කිහිපයක් මගේ මතකයේ ඇත. ඒ එක්ස් ෆයිල්ස් සහ රොබින් හුඩ් මාලා කතන්දරයි [tele series]. අපි ඒවා අනුකරණය කරමින් සෙල්ලම් කළෙමු.
ඒ සෙල්ලම් මතකයන්ගේ හොඳම මතකය වන්නේ මමත් අයියාත් අපේ මාමාගේ පුතා වන රංග අයියාත් සමඟ රොබින් හුඩ් සෙල්ලම් කල කාලයයි, කතාවේ හැටියට වයසින් බාල වූ මාත් අයියාත් නිතරම ගිස්බන් ගේ නඩේ වන අතර එවකට වයස අවුරුදු 12ක් පමණ වූ රංග අයියා නිතරම සෙල්ලමේ රොබින් හුඩ් විය. ඉතින් අපට වන්නේ රොබින්හුඩ් ගේ කඩු පහරෙන් බේරෙන්නට ගස් ගල් අස්සෙන් දුවන්නටය. සෑම දෙයකම ඉවසීමේ සීමාවක් ඇත, දිනෙක කතාවෙන් පිට යාමට කතා කරගත් මාත් අයියාත් අපේ කෝටු කඩු උලුක් කරගෙන රොබින් හුඩ් ට දුවන්න දුන්නෙමු. එදා සවස අම්මා හවසට තේ බොන්න කතා කරන තෙක්ම මමත් අයියත් රොබින් හුඩ් අපෙන් බේරෙන්නට නැගගත් ගහෙන් බසින්නට ඉඩ දුන්නේ නැත. එතැන් පටන් රොබින් හුඩ් සාධාරණ විය, අපිටත් රොබින් හුඩ් වන්නට ඉඳහිට හෝ චාන්ස් ලැබුනේ ඒ සිදුවීමෙන් පසුවය.
ඒ වාගේම නයිට් රයිඩර් නාටකයේ මයිකල් නයිට් තම සහයිකාවට හාදුවක් දෙන විට අප ඇත්තටම සිතුවේ ඔහු ඇත්තටම කෙල්ලගේ කට කන බවය. ඒවා ඉතා සුන්දර ආකාරයේ හාදු බව තේරුම්ගත්තේ අප 7 වසරත් පැන්නාට පසුවය.
කාලය වෙනස් විය, නව පිබිදෙන ගායක පරපුරක් ඇතිවිය. ඒ සමඟම අපේ තාලයන්ද වෙනස් විය. රූකාන්තගෙන් පසුව ග්රේනෂන් ජයමහ, නාමල් උඩුගම, සරත් උඩුගම, ටිරෝන් මද්දුමගේ, විජේරත්න වැලිතුඩුව ගායකයෝ සිය ගී කරලියට තිලින කළහ. මේ අතරින් වඩාත්ම ජනප්රිසය වූ යේ නාමල් උඩුගමයි, එකල කෙල්ලන්ට නාමල් ව උමතුවක් තරම් විය. නාමල් “තනිවී” නමින් ගීත එකතුවක් කරන විට ඉන් උමතුවට පත් වී නාමල් උඩුගමගේ පින්තුරයක් ඇඳ උඩ තබා “මගේ බුදු නාමල් අයියේ” කියා ඇඳට පැන කකුලක් කඩාගත් කෙල්ලෙක් අපේ ගමේ විසුයේය. පසු කලෙක මේ යුවතිය කඩ පිලට යන විට “බුදු නාමල් අයියේ” කියා කොහෙන් හෝ ඇසුනහොත් ඇයට සිටින තැන අමතකවී තිත්ත කුණුහරුපෙන් බැනීමට පටන් ගනී.  දැන් ඇය විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටින මවකි.  
ඒ අනුව දශකයයි, රියලිටි ෂෝ ගැන අසාවත් නැති කලෙක රුපවාහිනියේ පළමු රියලිටි අත්දැකීම ලෙස “තුරුණු ශක්ති” වේදිකාව දක්ෂතා ඇති තරුණ තරුණියන්ට තනා දුන්නේය. ඉන් පළමු තැන ලබාගත්තේ සශිකා නිසංසලා නමැති අවිස්සාවේල්ලේ ජීවත් වූ යුවතියයි. දැන් ඈ රටේ ජනප්රියය ගායිකාවියකි.
රුපය "පටිරෝල්" ෆේස්බුක් පිටුවෙනි. 
මේ ආකාරයෙන් නව රැලි ඇතිවිය, ඒවා කෙමෙන් කෙමෙන් වියැකී යන්නේ කාලයත් සමඟය. 2015 දී ලංකාවට ඈ අන්තර්ජාතික ගායකයින් දෙදෙනා නම් ෂෝන් පෝල් සහ එන්රිකේ ඉග්ලෙසියස් ය. ෂෝන් කිංස්ටන් ලංකාවට ආවේ 2015 ද නැතිනම් 14 ද කියා මතක නැති නිසා එබැව මෙහි සටහන් තබන්නේ සැකයෙනි.  අපි ඉස්කෝලේ යන දින වල මෙරටට ආ සල්මාන් ඛාන් [ඉහතින් සඳහන් කර ඇත] ඒ වේදිකාවේ නිවේදිකාව වූ එකල ජනප්රියය නිවේදිකාවක් වූ ඉඳුනිල් දිසානායක ගේ අත සිපගත් විට ඈ අත නොසෝදා බොහෝකල් සිටි බව අප අතර සිටි කට හැකර කොල්ලෙකු එකල පැතිරු කට කතාවකි, ඒ වාගේම මෙකලත් සංගීත හිතකාමී යුවතිය එන්රිකේ සිප ගත් බවත් ඔහු වේදිකාවේ සිටිනා විට කෙල්ලෙකු හැඳ සිටි තනපටය ගලවා වේදිකාවට විසිකළ බවත් මේවා ඉතා වැරදි බවත් සමාජ ජාල වල බමුණෝ බණ කියත්.  

ඉතිහාසයේ වූ සිදුවීම් නැවත නැවතත් වෙන වෙන ආකාර වලින් සිදුවේ මේවාට අප කලබල වියයුතු නැත. දුපත් මානසිකත්වයෙන් ඔබ්බට යන්නට වෙර දරන අපි මේ දෙස මීට වඩා වෙනස් ආකාරයෙන් බැලිය යුතුය. කාලය ගෙවී යයි. ඊට සමාන්තරව අපද වයසට යාම වලක්වන්නට නොහැකිය. කලක් යනවිට මේවා අප පැරණි මතකයන් මෙන් නොස්ටැල්ජික මතකයන්ට එක්කාසු වනු ඇත.  මතකයන්ට සිනහා වන්නට අප මතකය හසුරවාගත් යුතුය, නැතිනම් මතකය විසින් අපව මරා දමනු ඇත.   

Paperman හෙවත් දුටු තැන පෙමින් බැඳීම.


මුහුනුපොත් මිත්‍රයෙක් තමන්ගේ බිත්තියේ මීට ටික දවසකට කලින් පොස්ට් කරලා තිබුනා අපුරු සබැඳියක්. තමන්ගේ පාඩුවේ සිටිනා ජෝඩුවක් රූප ගන්වන මේ කලුසුදු රුපය යටින් ඇති සබැඳිය ඔබා බලන්නට මට හිතුනේ නිකමට. ප්‍රතිපලය ඇති විශිෂ්ටයි. "මාරයි" මට එහෙම කියවුනේ නොදැනුවත්වම. මේ කියන්න යන්නේ කෙටිචිත්‍රපටයක් ගැන. නම තමා "Paperman". මම හිතන්නේ ඩිස්නි ආයතනය අවුරුදු ගානකට පස්සේ කරපු හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපට වලින් එකක් කියලා හිතන්න පුළුවන්. එකවරක් බැලුවාම තවත් කිහිප පාරක් ම බලන්නට හිතෙන මේ විනාඩි හතකට ආසන්න කාලයක් දිවෙන Paperman නිර්මාණයට 2012 වසරේ හොඳම කෙටි චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය ඇතුළුව තවත් සම්මාන කීපයකටම නිර්දේශ වෙලා තියෙනවා කියලා, නම සඳහන් කර කුඩා ගුගල් සෙවුමක් දැමුවොත් අන්තර්ජාලය ඔබට පවසාවි. ඒ වසරේම සජීවිකරණ චිත්‍රපට කැටගරිය සඳහා තරංග වැදුණු Wrack-It-Ralph, ටීම් බර්ටන්ගේ Frankenweenie සහ Pixar Studio හි Brave තරඟ වැදුනත්, විනාඩි හතක ඇතුලත් Paperman කරලා තියෙන දස්කම ඒ කිසිවක කරලා නැති බව කියන්නට උවමනායි.


පනහ දශකයේ නිවු යෝර්ක් නගරයේ එකිනෙකාට සම්පුර්ණනම ආගන්තුක දේපලක් අතර ඇතිවන පළමු දැකුමෙන් ම පෙම් බැඳීම එහෙමත් නැතිනම් "Love at First Sight" චින්තාවට පනදෙන මේ කතාන්දරය. ද්විමාන වටපිටාවක් තුල ත්‍රිමාන චරිතයන් මුසුකරමින් ගොඩනගා ඇති බව බොන්දින් බැලුවොත් ඔබට සොයාගන්නට අපහසු වෙන එකක් නැහැ. කලුසුදු පැතලි ජීවිත අතරේ පණ ගැහෙන එකම දේ රතු පැහැති හාදුවක් පමණක් බවත් රතු පැහැති හාදුව කොතරම් දුරකට ජීවිත වෙනස් කරනවාද යන්නත් හිත තබාගෙන මේ කෙටි සජීවිකරණ නිපැයුම නරබන්නට පුලුවන්නම් ඔබේ හිතට සුන්දර චින්තාවන් රැගෙන එන එක නවත්වන්නට කිසිවෙකුට හැකි වෙන එකක් නැති වේවි. :)


ජෝන් කා(හ්)ර් ගේ මේ චිත්‍රපටිය අප සැලකිල්ලෙන් නරඹනවා නම් අපට සුපුරුදු ඩිස්නි මුහුණු කිහිපයක් මතකයට නගා ගන්නට අපහසු වෙන එකක් නැහැ. ඉහත මම කියූ ද්විමාන පැතලි ජීවිත අතර එකම ත්‍රිමාන චරිත දෙක වන "මෙග් සහ ජෝර්ජ්" අප පෙර බලපු 101 Dalmations, 2010දෙඑ තිරගත වුනු Tangled වගේ චිත්‍රපට වල චරිත වල රූ ලක්ෂණ සොයාගන්නට අපහසු වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ ඉහත මා නම් සඳහන් කල චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන සජීවිකරණ ශිල්පියා ලෙස කටයුතු කර තිබෙන්නේ ජෝන් කා(හ්)ර් ම වීමයි.



කෙටි සටහන:
අනික මේ කෙටි සජීවී නිර්මාණය ගැන තොරතුරු හොයනකොට මට අපුරු දේවල් දෙකක් හමු වුනා.

01. Signs - Short Film
සයින්ස් කියන නිර්මාණයෙත් තියෙන්නේ මේ හා සමානම කතාන්දරය උනත් ඒ කතාන්දරය සත්‍ය චරිත රඟන නළු නිලියන් විසින් කරන නිසා මට එම නිර්මාණය එතරම් දැනුනේ නැහැ. එහෙත් ඔබට එය ඊට වඩා වෙනස් ආකාරයෙන් දැනෙන්නට ඉඩ තියෙනා නිසා අමතක නොකර පහතින් ඇති එයත් නරඹන්න.


02. Meg and George- Paperman by Miss.Wendybird.
මේක ගැන වැඩි විස්තර කියන්න යන එක තේරුමක් නැහැ. සබැඳිය ක්ලික් කරලාම බලන්න.


නාට්ටි දෙකක් ගැන කලා ඔත්තුවක්

වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ වචන ටික සම්පුර්ණ කරගන්න උදව්ව අන්තර්ජාලෙන්, නාට්ටියකට එතරම්ම ආදරය කරත් ඉගෙනීම රස්සාව සහ ව්‍යාපාර කියන ත්‍රිකොනේ ඇතුලේ කරක් ගහන නිසාවෙන් මගේ සිතුවිලි වලට පියාඹන්න ඉඩදෙන්න මට කාලෙක ඉඳන් අමතක වෙලා.
එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්.

කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්,  සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ.  ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.

නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.

නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග‍්‍රීක රංග කලා සම්ප‍්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.

සුභා

අධ්‍යක්ෂණය - කංචුකා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික‍්‍රම
නිෂ්පාදනය - ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

ලෝකාන්තර

අධ්‍යක්ෂණය - මුදිතා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - පමුදිත මානෙල්අංග
පිටපත - Renascor රංග කලා සාමුහිකය
නිෂ්පාදනය - සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Nebraska


ඇලෙක්සැන්‍ඩර් පේන් කියන්නේ මේ වෙනකොට මගේ හිතේ ඉන්න හොඳම අදියුරුවා කිව්වොත් වැරදි නෑ.[මේ තත්ත්වය විටෙන් විට වෙනස් වෙන නිසා, හෙට අලුත් ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදහසට මොනා වෙයිද කියලා දන්නේ නම් නෑ. ] ඊට හේතුව වෙන්නේ පේන් හදන චිත්‍රපටි කුඩා පවුල සහ ඒ වටා සිටින චරිත පාදක කරගෙන හැදෙන නිසා, ඒවා අපේ ජීවිතේ අස්සේ අපි සම්බන්ධතා පවත්වන අය ගැනද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ කියලා අපිට හිතෙන්න ගන්න නිසා කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටිකලාවේ  දිගු ඉතිහාසයක් තියෙන පේන් මේ වතාවේ එන්නේ අපි ඉදිරියට වෙනස් ආකාරේ චිත්‍රපටයක් අරගෙන. ඒ චිත්‍රපටය නැබ්‍රෙස්කා. ඇමෙරිකානු සිහිනය තුල ජීවත්වන අපට සත්‍ය ඇමෙරිකාවේ රළු, වියළුණු හරස්කඩක් පෙන්වන චිත්‍රපටයක්. චිත්‍රපටය විශේෂ එකක් වන්නේ ප්‍රධාන චරිතය වන බෲස් ඩර්න් සහ සහය රඟපෑම් කරන විල් ෆෝර්ටේ සහ ජූන් ස්ක්විඩ් නිසාවෙන්. ඔබට ඇලෙක්සැන්ඩර් පේන් ගේ නිර්මාණ ශක්‍යතාව ගැන කුකුසක් ඇත්නම් මම සිතන්නේ ඔබට කල හැකි පහසුම දෙය තමයි නැබ්‍රෙස්කා බලන එක. 1985 කාර්මන් චිත්‍රපටයෙන් ඇරඹි සිය නිර්මාණ චාරිකාව 2013 වසරේ ඔහු කල නැබ්‍රෙස්කා දක්වාම සිය රිද්මය එක ආකාරයකින් පවත්වාගෙන එන ආකාර අවබෝධ කරගැනීම තුලින් නිර්මාණ ගැන ඔබ තුල වන දැනුම පෘථුල කරවීමට ඉඩප්‍රස්ථා ඇති කරවන බව නම් කිව යුත්තක්.
Woody Grant [Bruce Dern ] with Director Alexander Payne
නැබ්‍රෙස්කා චිත්‍රපටය ගෙතී ඇත්තේ වියපත් මොන්ටානා හි ජීවත් වන බේබදු පියෙකු වන වුඩී ග්‍රාන්ට් [බෲස් ඩර්න්] වටායි. එක් දිනෙක ඔහු අත වන ලොතරැයියකට ඩොලර් මිලියනයක ලොතරැයි  දිනුමක් ඇදී ඇති බව ඔහු සිතනවා. එහෙත් වූඩී ගේ බිරිඳ වන කේට් [ජූන් ස්ක්විබ්] වෙත වූඩි කෙතරම් ඇවටිලි කලත් ඈ සිතන්නේ එය මුසාවක් බවයි. සිය බිරිඳට කණපින්දම් කියා පලක් නැති බව සිතන වූඩි ඊළඟට කරන්නේ ත්‍යාගය ගැනීම සඳහා නැබ්‍රෙස්කා හි ලින්කන් නගරය වෙත පයින්ම ගමන් ඇරඹීමයි. වුඩිගේ පුතා වන ඩේවිඩ් [විල් ෆෝර්ටේ] විසින් පාරේ තනිවම ගමන් කරනා සිය පියා සොයාගෙන ඔහුව ලින්කන් නගරය වෙත රැගෙන ගොස් ත්‍යාගය ලබාදීමට කැමති කරවාගනී.  කෙසේ හෝ ඩේවිඩ් විසින් ගමන් වෙන අතකට හරවා ලින්කන් වෙත යන ගමන අතර මැද හෝත්‍රෝන් වෙත යයි. හෝත්‍රෝන් යනු වූඩිගේ උපන් ගමයි. එහෙත් අවසන වන්නේ ත්‍යාගය ගන්නට ලින්කන් වෙත යන අතර සිය නෑසියන් මුණ ගසෙන්නට හෝත්‍රෝන් වෙත යෑම ත්‍යාගය ගැන වන වූඩිගේ අදිටන සිහිනයක් වීමයි.

වෙනත් ආකාරයකින් කියනවා නම් නැබ්‍රෙස්කා යනු මඳවේගික චිත්‍රපටයක්, ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන්නේ ඇදිවේගී, වෙඩි තබාගැනීමේ දර්ශන සහිත, ලේ විසිරෙන සුළු, ටරන්ටිනෝ ආකෘතියේ චිත්‍රපටයක් නම් කරුණාකර මේ චිත්‍රපටය බැලීමෙන් වලකින්න, ඔබේ ඩේටා ටික අයියෝ ඩේටා කියා සිතේවී. මෙහි කතාව ඉතා දැඩි හෝ සංකීර්ණ නොවුනත් කතාවේ ගලායෑම මන්දගාමී වීම හරහා කතාව විකාශනය වීමට වැඩි වේලාවක් ගන්නවා, එසේ වීමට හේතුව ලෙස පුද්ගලිකව මට සිතෙන්නේ පේයින් විසින් වූඩීගේ දුර්වල බිඳවැටෙන සුලු මහලු අධ්‍යාත්මය නරඹන්නා වෙතට දැනෙන්නට ඉඩ හැරීමට විය හැකි බවයි. මෙතෙක් චිත්‍රපටය නැරඹූ අය අතර මේ ඉහත කී සංවේදනා වල බිඳුවකින් හෝ සමපාතවන අත්දැකීම් සහිත වන වුන් නැතැයි අප කියන්නේ කොහොමද? නිදසුනක් ලෙස මට පුද්ගලිකව මේ අත්දැකීම මගේ නෑසියන් ඇසුරෙන් විටින් විට අත්දකින්නට ලැබී තිබෙනවා, ඉතින් එවැනි සමාන අත්දැකීම් ඇත්තන් අතර ජනප්‍රිය වීම නිසාවෙන් තමයි ඇලෙක්සැන්ඩර් පේයින් ගේ සහ තිර රචක බොබ් නෙල්සන් විසින් කියනා මේ කතාවට මේ තරම් ජනප්‍රසාදයක් ලැබෙන්නට ඇත්තේ.
Woody Grant [Bruce] with his son David [Will Forte]


නැබ්‍රෙස්කා මට සුවිශේෂ වන තවත් එක හේතුවක් වන්නේ එහි ඇති කලුසුදු වර්ණිත සිනමාකරණය. සමාජය තුල විවිධාකාරයේ වර්ණ [ගතිගුණ?] වලින් යුතු මිනිසුන් සිටියත්, අප කොතෙක් උන් හා ගැටුනත් අවසානයේ මිනිසුන් වූ අපට මිනිසා ගැන තියෙන පොදු සාධකය එක්කෝ ඔහු හොඳ හෝ නරක මිනිසෙකු බවයි. පේයින් විසින් සිය නිර්මාණය තුල පැතලි වර්ණ භාවිතයක් කර ඇත්තේ මේ පොදු කාරණය උලුප්පන්නදැයි මට විටෙක සිතෙනවා. එය චිත්‍රපටය නරඹත්දී මට නිතර නිතර සිතට දැනුන කරුණක්. අනෙක් අතට වර්ණ භාවිත කිරීමේදී සිනමා කරුවාගේ අදියුරුවේ සහ නළු නිළියන්ගේ අඩුපාඩු වසා ගැනීමට හැකි වුවත් මෙහිදී පේයින් විසින් කලුසුදු භාවිතය නිසාවෙන් රංගන ශිල්පීන් වෙත වැඩි බරක් තබා ඔවුන්ගෙන් සිය උපරිම හැකියාව උකහා ගන්නට දැරූ තැතක් දෝහෝයි සිතෙන්නේ  ශිල්පීන් සිය චරිත වලට සිය සාධාරණය උපරිමයෙන් ඉඩු කරනා බව මට සිතෙනා නිසාවෙනුයි. කෙසේ නමුත් කළුසුදු වර්ණ වලින් වන්නේ කතාවේ ගලා යාම සහ එහි චරිත ඔබ වෙත කරන්නාවූ ආමන්ත්‍රණය තවත් ශක්තිමත් වීම බව මට සිතෙනා බව නොකියා ම බැහැ.

නැබ්‍රෙස්කා යනු ඉතා ශක්තිමත් තිරනාටකයකින් සජ්ජිත චිත්‍රපටයක් බව නොකීවොත් එය මා කරන ලොකු අඩුවක්, බොබ් නෙල්සන් විසින් චරිත වලට ඉතා සුන්දර ආකාරයෙන් අහම්බ එක්කාසු කර ඇති ආකාරය ඉතා සුවිශේෂයි. ඒවා කුඩා වුවත් ඉන් ඒ චරිත බොහොම අලංකාරව ආලෝකමත් කරනවා. මේ අහම්බ එබ්බවීමෙන් ඔබව මම සහ නරාන අපව අපටත් නොදැනෙන ආකාරයෙන් කතාවට ඇද බැඳ තබා ගැනීම නෙල්සන් විසින් කරනවා, ඔහුත් සමඟව එකතුව තිරරචනයෙන් මේ චිත්‍රපටයට ආලෝකයක් ගෙනා පේයින් වත් මතක් කල යුතුමයි, ඔබට අලංකාරිත අදියුරුවක් සහිත චිත්‍රපටයකට උදාහරණයක් කාට හෝ පෙන්වන්න්ට අවැසි නම්, ඔබට බිය නැතිව නැබ්‍රෙස්කා නම් කල හැකියි.

සියලුම සිත්ගන්නා සුලු ආකාරයේ සාධක පසෙකින් තැබුවත් නැබ්‍රෙස්කා යනු බොහොම කම්මැලි චිත්‍රපටයක් ලෙස දැනෙන්නට තියෙන ඉඩකට වැඩියි [හරියට මේ ලිපිය වාගේ ;)]. අපි මුලින්ම නරක ගැන කතා කරමු, කතාව ගලා යන්නේ පැයයි මිනිත්තු 55 වැනි කාලයක් තුල, සාමාන්‍යෙන් මේ කාලයක් තුල දිවෙන චිත්‍රපටයක් අප සංගත ධාවනකාලයක් සහිත චිත්‍රපටයකැයි හඳුනාගත්තත්. චිත්‍රපටය තුල චරිත ගලා යෑම ඉහත කීවාක් මෙන් බොහෝම ඔතෑනි සහ මන්දගාමී ලෙස ගලා යන්නේ, අනෙක් අතට කතාව හෝත්‍රෝන් වල ගත කරන දර්ශන ගණන ඉතා වැඩි යැයි සිතෙනවා, එක අවස්ථාව දර්ශන කිහිපයක් සංස්කරණ ශිල්පියාට කපා දැමිය හැකියි නේදැයි අවස්ථා කීපයකම මා හට සිතුනා. එහෙත් එහි අවසානය පරම අලංකාරයි, ඒත් එහෙම උනත් මට සිතෙන්නේ අඩුම තරමින් තවත් පැය කාලක්වත් කතාව අඩු වූවානම් පාඩුවක් නොවේයි කියලයි.

නැබ්‍රෙස්කා යනු ඔබතුල චිත්‍රපටයක් ගැන තිබෙන වෙනස් ආකාරයේ මතය වෙනස් කරන ආකාරයේ කතාවක් බව මට සිතෙනවා. කලුසුදු සිනමාකරණ කතාව නරඹත්දී නොදැනීම ආශක්තවූ පසුව ඉතාම පහසු ආකාරයෙන් කතාවට සමවැදිය හැකි ආකාරයට කතාව ගලා යන බව කිවයුතුමයි. කතාව මැදදී සහ ඉන්පසුව මඳක් මන්දගාමී වුවත් කතාව අවසානයේදී කියන්නට ඇත්තේ මට නම් නැබ්‍රෙස්කා යනු බැලිය යුතු වර්ගයේ චිත්‍රපටයකට හොඳ උදාහරණයක් ලෙස නම් කල හැකි චිත්‍රපටයකුයි. වෙනස් ආකාරයක චිත්‍රපටයක් බලන්නට උවමනාව ඇතිනම් නැබ්‍රෙස්කා බලන්න්ට පොඩි උත්සහයක් දුන්නාට පාඩුවක් නැති වෙයි මගෙහිතේ..! 


මොකද්ද මේ A.C.E?? | What A.C.E Stand For??

Official Logo of ACE

අපි චිත්‍රපටයක් බලනකොට බොහෝ වෙලාවට විදේශීය, එයිනුත් හොලිවුඩ් චිත්‍රපට වල නාමාවලින් හෝ ආරම්භය සනිටුහන් වන අවස්ථාවල ඒ චිත්‍රපටය සඳහා සිය ශ්‍රමදායකත්වය දුන් අයගේ නම් වැටෙන වෙලාවල, ඒ සමහර නම් අගට A.C.E කියන අකුරු තුන තිබෙනවා, මේක මම කොතෙකුත් චිත්‍රපට වල දැක ඇතත්, සොයන්නට ඇති කම්මැලි කම ඉස්සර වීමේ කරුමය නිසා මේක මට මඟ හැරුනා ඒ හැම වෙලාවේ ම. ඒත් අද මම 47Ronin බලා එහි නාමාවලිය යන විට එහි සමහර නම් අගට අර අකුරු තුන තිබීම නිසාවෙන් මගේ පරණ උනන්දුව වැඩි වුනා. පස්සේ ගූගලයාගේ සරණ පතන විට මට ලැබුණ පිළිතුර මම පහතින් මේ අයුරින් සටහන් කරන්නම්.. 

ACE යන අකුරු තුනෙන් සංක්ෂිප්ත කර ඇත්තේ "American Cinema Editors association" වදනයි, සිංහලෙන් කියනවා නම් ඇමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය යන්නයි.

මේ වැනි එකමුතුවක් ගැන මුලින්ම අදහස් ඇතිවී තිබෙන්නේ, වොරන් ලෝව් සහ ජැක් ඔගිව්ලී විසිනුයි, ඔවුන් දෙදෙනා වෘත්තීයෙන් පැරමවුන්ට් චිත්‍රාගාරයේ චිත්‍රපට සංස්කාරකවරුන් දෙදෙනෙක්. දෙදෙනෙකු තුල ඇති වූ මේ අදහස පසුව හොලිවුඩ් හී මස්කේස් සමාජශාලාවේදී ඔගිව්ලි සහ ලොවී දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් තවත් සංස්කාරකවරු 11 දෙනෙකුගේ එකමුතුවෙන් පැවැත්වුනා. ඒ 1950 වූ ඔක්තෝම්බර් මස 26 වෙනි දිනයි. කතිකාවට සහභාගි වූ සංස්කාරකවරු වන්නේ ජෝර්ජ් ඒමී, ෆොල්ම බ්ලැංස්ටඩ්, ජේම්ස් ක්ලාර්ක්, ෆ්‍රෑන්ක් ග්‍රෝස්, රිචර්ඩ් හීයර්මන්ස්, විලියම් හෝන්බෙක්, ෆ්‍රෙඩ් නුඩ්ස්ටන්, විලියම් ලියෝන්, ෆ්‍රෙඩ්‍රික් ස්මිත්, රිචර්ඩ් වෑන් එඩ්ගාර් සහ හියු වීන් යන අයයි.

එසේ හමුවූ මේ අපූරු සංස්කාරක වරුන් එකතුව සිය ප්‍රථම ආරම්භක සාමාජික සැසිය 1950 නොවැම්බර් මස 28 වන දින පැවැත්වුවා, ඉන් පසුව නැවත නව සාමාජිකයින්  බඳවා ගැනීමේ සැසියක් 1951 ජනවාරි මස 09 වෙනිදා පැවතුනු අතර එහිදී ඇමෙරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සිනමා සංස්කාරක වරුන් 108ක් එහි සාමාජිකත්වය ලැබූ බව සඳහන්. එතෙක් හරි ආකාරයේ නමක් නොතිබූ මේ එකමුතුවට "American Cinema Editors" යන නම පටබැඳ එය "ACE" සංක්ෂිප්ත කරන්නේ සිනමා සංස්කාරක ඩෝන් හේස් ගේ යෝජනාවකට අනුවයි. [චිත්‍රපටවල සිය නම් දැමීමේදී සිය නමට අගින් උක්ත අක්ෂර ත්‍රිත්වය දැමීමෙන් තමා පිළිගත් සංස්කාරකවරයෙකු බවත් සිනමාව පිළිබඳ පෘථුල අත්දැකීම් වලින් පිරිපුන් චරිතයක් බවත් නොකියා පවසන්නට හැකි බවට ඔවුන් අතර මතයක් ගොඩ නැඟුනා.] එම වසරේම [1951දී] මැයි 29වන දින, අමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය ලාභ නොලබන ආයතනයක් බවට ඇමෙරිකාවේ කැලිෆෝර්නියානු ජනපද නීතිය විසින් පිළිගත්තා.

එකමුතුව පිහිටු වීමෙන් පසුව ඒසීඊ සාමාජිකයින් අනෙකුත් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රතිලාභිත පාර්ශව සමඟ සබඳතා ගොඩනඟාගෙන ඒ හරහා සිනමාවටත් මහජන ප්‍රජාව සිනමාව පිළිබඳව දැනුමින් සන්නද්ධ කරවීම ඇරඹුවා, එහි ප්‍රථිඵලයක් ලෙස ඒසීඊ වටමේසය "ACE Roundtable" ලෙස හඳුන්වන එම කතිකාවත තුලින් සිනමාවේ තුල පවතින ගැටළු සහ ඒවාට විසඳු සෙවීමේ කාර්යයට ප්‍රථම වරට මේ එකමුතුවේ අනුග්‍රහයෙන් පැවැත්වුනා. නිර්මාණශීලී එක්කාසුවක් තුලින් හොඳ චිත්‍රපටයක් යන මැයෙන් 1951 ජූනි 05 වැනි දින මැස්කර්ස් සමාජශාලාවේ දී ෆ්‍රෙඩ්‍රික් ස්මිත් ගේ ප්‍රධානත්වයෙන් පැවත්වූවා, මෙහි ගරු කථිකයින් ලෙස කටයුතු කලේ ඩෙල්මර් ඩේවිස්, සභාපති, ස්ක්‍රීන් අදියුරුවන්ගේ සංගමය; පෝල් ග්‍රෝසේ, සභාපති, කලා අදියුරුවන්ගේ සංගමය; විලියම් පේල්බර්ග්, සභාපති, ස්ක්‍රීන් නිෂ්පාදකයින්ගේ සංගමය; රොනල්ඩ් රේගන්, සභාපති, ස්ක්‍රීන් කලාකරුවන්ගේ සංගමය;  රේ රෙනාහැන්, සභාපති, සිනමා යාන්ත්‍රිකයින්ගේ සංගමය සහ කාල් ටන්බර්ග්, සභාපති, සිනමා තිර රචකයින්ගේ සංගමය.

ඉන් පසුව එම වසරේදීම ජේම්ස් ඊ නිව්මන් විසින් ACE සංගමයේ අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාල වල සිනමා උපාධි දේශන සඳහා ACE සාමාජිකයින් ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කලා. මේවන විට එම වැඩ සටහන හඳුන්වන්නේ ACE බාහිර සංස්කාරකයින්ගේ වැඩසටහන යන නමින්. මෙසේ ඉගැන්වීමට අමතරව ACE සාමාජිකයින් විසින් සංස්කරණය සම්බන්ධව චිත්‍රපට දෙකක් නිපදවූවා, "Basic Principle of filmEditing" සහ "Interpretations and Values of Film Editing" යන නම් වලින් හඳුන්වන මේ චිත්‍රපට මේ වන විටත් අධ්‍යාපන උපකාරක ලෙස සිනමා සිසුන් භාවිතා කරන බව සඳහන්.

ACE සංගමයේ නිල සඟරාව ලෙස සිනමා එඩිටර් "Cinemaeditor" යන නමින් යුතුව පිටු 4 සිට 8 අතර ඇති සීමිත සංස්කරණයක් ලෙසින් 1951 මැයි මස,එලි දැක්වූවා. පසුව කල දියුණු කිරීම් වලදී එය පිටු 40ක වර්ණිත සඟරාවක් ලෙසත් සීමිත සංස්කරණයක් ලෙස නොව සාමාජික මණ්ඩලයේ ලියාපදිංචි වූවන් හට සහ සිනමා වෘත්තිකයින්ට මේවන විටත් බෙදා හරිනවා. 

Cinemaeditor Magazine


ක්ෂේත්‍රයේ දස්කම් දක්වන සංස්කාරකවරුන්ට ගෞරව දක්වනු වස් ACE සම්මාන රාත්‍රිය ප්‍රථම වරට 1951 මාර්තු 14 වන, බෙවර්ලි හිල්ස් හෝටලයේදී පවත්වන ලදී. ජෝර්ජ් මර්ෆිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මේ සම්මාන රාත්‍රියේ ප්‍රථම කතිකයා වූයේ ඩෝර් ශේරී නම් සංස්කාරකවරයායි. ෆ්‍රෑන්ක් කැප්‍රා ප්‍රදානය කල ඒ සම්මාන උළෙලේදී පැමිණි සිටියවුන්ව රසවත් කරන ලද්දීඅ ජෙරී ලෙවිස් සහ ඩීන් මාර්ටින් විසිනුයි. වර්තමානය වන විට හොඳම සංස්කරණයක උදේසා ඇකඩෙමි සම්මාන සඳහා වාර්ෂිකව තෝරගන්නා වූ නාමයෝජනා ලෙස ඉදිරිපත් කරන්නේ උක්ත ACE සම්මාන සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා බව ACE වෙබ් අඩෙවියේ සඳහන්, එලෙස සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ කලේ 1961 වසරේ සිටයි.
1962 දී ACE සමාජයේ තීරණයක් පරිදි එහි සම්මාන උළෙලේදී සම්මාන සඳහා නාමයෝජනා සඳහා තෝරාගන්නා නම් ලබාදෙනු ලබන්නේ ACE සාමාජිකයින්ගේ ඡන්දයෙන් තෙරුණු නාමයන් පමණයි. රූපවාහිනී සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ සංස්කරණයෙන් දස්කම් දක්වන ශිල්පීන් වෙත සම්මාන පලිහක් 1965 වසරේ සිට ප්‍රදානයක් අරන අතර එය හඳුන්වන්නේ එඩී ["Eddie"] අනුනාමයෙනුයි. ,ඒ පලිහ ප්‍රදානය කිරීම මේ වන විට ඇකඩමි සම්මාන ප්‍රදානයට , ඔස්කාර් සම්මාන උළෙල යැයි කියනා ලෙසින් ම ACE සම්මාන රාත්‍රිය හඳුන්වන්නේ එඩී සම්මාන රාත්‍රිය යන නමිනුයි. 1973 දී ප්‍රථම වරට ඇමෙරිකාව තුල සිනමා සංස්කරණය විශයයක් ලෙසින් හදාරන සිසුන් වෙනුවෙන් හොඳම සංස්කරණ සිසුවා වෙතට සම්මානයක් ප්‍රදානය කිරීම ආරම්භ කලා.
 
තොරතුරු මූලයන් : ACE website | Wikipedia

Post CHOGM Stress | පශ්චාත් චෝගම් ආතතිය

 
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුලුව අවසාන වී ඇත. රටට බොහෝ [අත්දැකීම් වැනි] දෑ ලැබී ඇති අතර ඒ ලැබීම් වෙනුවෙන් රජය කෝටි ගණනක් මුදල් ඒ වෙනුවෙන් වියදම් කර ඇති. චාර්ලිස් කුමරා ඇතුලු බ්‍රිතාන්‍යයෙන් මෙන්ම ඕස්ට්‍රේලියාවත් චෝගම් වෙනුවෙන් මෙරටට පැමිණියද බහුතරය අප්‍රිකානු රටවල් වලින් ය පැමිණ ඇත්තේ. ඒ අතරින් ඉන්දියාව, කැනඩාව ආදී රටවල් මෙරටට පැමිණීම වර්ජනය කල ඒ වෙනුවෙන් කිසිවෙකු චෝගම් සමයේ දී එළිපහළියට බැස ප්‍රකාශ නිකුත් කරන්නට තියා උන් පැත්තට හැරී හූවක් වත් කියන්නට එඩියෙන් යුතු නොවී ය. එහෙත් චෝගම් සමයේදීම youtube හී වීඩියෝ රසඳුණක් බවට පත් වූ ක්‍රිස් නෝනිස් මහතාගේ CNN වීඩියෝව දැක ලියුම්කරුද ජාති මාමකත්වයෙන් චූන් වූ බව මතක් කරන්නටත් ආතල් කටයුතු වේ.
චෝගම් වලට සතියකට පෙර සිට ම සියලු ජාති මාමක, ලෙමන්පෆ් වීර, ආණ්ඩු පක්ෂපාතී, අධිරාජ්‍ය විරෝධී ශබ්දවාහිණී නිහඬ කර තැබීමට දුන් උපදෙස කෙතරම් බලවත් ද යත්, චෝගම් ඇරී දිනයක් ගතවීත් උක්ත කුලකයට අයිති කිසිවෙකුගේ උගුරු දඬු වල වොලියුම් ඉහල දමා, ස්වීච් ඔන් කර [ලියුම්කරු මේ සටහන ලියනා අවස්ථාව වන විටත්] නොතිබිණි.

 
ඒ නිහඬ බව අවන්ත දුටිවේ මේ අකාරයෙනි.

නාඩගමේ මතකය චිත්ත සන්තානයන්ගෙන් පහව යන්නට මත්තෙන් කෙහෙළිය ඇමතිතුමා චෝගම් වලට ගෙන්නූ වාහන පිළිබඳව අපූරු කතාවක් කියා තිබේ. මා හට එය කියවන්නට ලැබුනේ ලංකාදීප වෙබ් අඩවියේ තිබීයි.
"අමාත්‍යංශ සියල්ලකම පාහේ දැනට පාවිච්චි කරන වාහන බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයෙන් පවතින ඒවා. උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකුට වාහන නැහැ. ඒ සඳහා ඉල්ලූම් කර තිබුණා. නමුත් එම අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අත්හිටුවා තිබෙනවා. දැනටමත් ඒ තීරණය කි‍්‍රයාත්මක වෙනවා. සියලූ අමාත්‍යංශවලට අවශ්‍ය වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවා ඒ වෙනුවට මෙම සමුළුවට ගෙන්වන ලද වාහන ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණයකර තිබෙනවා."
[උපුටාගැනීම : ලංකාදීප වෙබ් අඩවිය]
වාහන ගෙන්වීමෙන් රටට වන වියදම් අධික තත්ත්වය කෙසේ නම් දරාගනීදැයි මුල සිටම හර්ෂ ද සිල්වා වැනි විපක්ෂයේ එජාප මන්ත්‍රී වරුන් පෙන්වාදී තිබිණි. එජාපය හා බොබසේ එකට එක් වී චෝගම් සමයේදී තෙල් ටිකට නාගත් බව වෙනම කතාවකි. ඒ නමුත් අටානූවක් ගොන්කතා මැද එකදු හෝ වටින කතාවක් මතක් කිරීම වටිනාකටයුතු ය. ඊට යන අධික වියදම වෙනුවට මංත්‍රී වරුන් භාවිතා කරන අලූත්ම අලුත් සුඛෝපභෝගී වාහන භාවිතා කරන්නැයි කීවද ඒ තර්ගය කනකට ගත්තේ ආණ්ඩුව නොවේ. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල බුලට්පෲෆ් බෙන්ස් රථ 54ක්ද, අතිරේකව ජපානයේ නිපැයූ මෝටර් රථ 175ක්ද, වෑන් රථ 60ක්ද, බස් රථ 30ක් ද ඒ අතර වේ. මේවාට වියදම් වන මුදල් මෙතැන සඳහන් කරන්නට ලියුම් කරු මහන්සි නොවන්නේ ඉන් ඔබේ පශ්චාත් චෝගම් ආතතිය මෙන්ම, පූර්ව චෝගම් විශාදය ද ඉහළ යන බව දන්නා නිසා ය. 
 
කෙනෙකුට චෝගම් වලට වියදම් කල මුදල සාධාරණයැයි තර්ක කරන්නට හැකියාව ඇත.. ඊට ලියුම් කරු කිසිවක් කියන්නට බැඳී නැතත්, ලියුම් කරුට අනුව [ඔහු ජීවත් වන්නේ ලංකාවේ නිසා ජීවන බර තදට දැනේ] මේවා මීට වඩා සොයා බලා අවර කොන්වල වියැකී ලේඛන ගත නොවූ වියදම් ද ගණනය කලහෝත් දැනට එළිලා ඇති චෝගම් අයවැය අංක, අවලංගු කාසි මෙන් වන බව, ඉර හෙට පායනවා මෙන් ශුවර් ය.

2014 අයවැය කථාව නොවැම්බර් මස 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බව රජයේ පුවත් අඩවිය දැනුම් දී ඇත. ඒ අනුව දැනට පවතින වියහියදම් ද අධිකවන කාලයක් පසුකරන මේ දූපත තුල ජීවත් වන අපි ලබන වසරේ අයවැය තුලින් අප හට සහනයක් සැලසේ යැයි විශ්වාස කටයුතු ව පවසන්නේ කෙසේ ද? බොහෝ මගුල් ගන්නේ මගුල අවසන එකතුවන ලියුම්කවර තෑගි තුලින් වියදම පියවාගන්නට වුවත් මේ චෝගම් මගුල අවසානයේ ඉතුරු වන්නේ රුපියල් පනහ සීය දැමූ ලියුම් කවර කිහිපයකුත් අධිකව කැඩී බිඳීගිය පිඟන් කෝප්ප ටිකකුත් නොවන බවට අප පවසන්නේ කෙසේ ද? පශ්චාත් චෝගම් ආතතිය අපේ දන මන තුල තීව්‍ර වන්නේ ඕවා ගැන කල්පනා කරන විටය. අවුලක් නැත, සති දෙකක් යන විට මේවා අමතක වනු ඇත..

තතු මූලයන් :
www.lankadeepa.lk
 

Vagabond Rides


                  ම ගොඩක් වෙලාවට මට හිතෙන දේ කරන්න කැමතියි, ඒත් කරුමෙට වගේ මම ඒ කරන දේවල් වලට මොනවා හරි කියන්න කවුරු හරි මම අඳුනන අය අතර ඉන්නවා, ඒක හැටි, ඒක මාව හදන්න තියෙන උවමනාවට කියනවද එහෙම නැති නම්, මාව නසන්න උවමනාවට කියනා එවාද කියලා මට කුලක ගත කරන්න අමාරුයි.., මොකද මම බොහෝ වෙලාවට දෙයක් කරන්න කලින් හැමෝගේම අදහස් උදහස් ගත්තත් බොහෝවිට මම කරන්නේ මට ඔන දේවල් විතරක් නිසා.
ඒත් ඊට කලින් මට මගේ මිතුරන් කියූ දේවල් මතක නැතිව නොවේ. ඒවා මම පාවිච්චි කරන්නේ මගේ උත්සහයන් පුස්සක් උනෝතින් ඊළඟට කල යුත්තේ කුමක් දැයි තීරණය කිරීම සඳහා.., [backup plan], මම මෙහෙම ලියන්න හිතුවේ කාලේකට කලින් මට ආසාවක් තිබ්බා.., අතේ සීමිත මුදලක් තියාගෙන එළියට බැහැලා, ඒ මුදලට ගැලපෙන ආකාරයේ කොහේ හෝ ඉසව්වක සංචාරයේ යෙදෙන්න. එය ළඟපාත වෙන්න පුලුවන් දුර බැහැරක් වීමටත් බැරි කමක් නෑ.
මීට පෙර මම කීප වතාවක් ම මම එසේ සිතාගෙන එලියට බැස්සත් මම අවිඥ්ඥාණිකව අතිරේක මුදලක් මා සතුව තබාගෙනයි එසේ එළියට බැස ඇත්තේ.., ඉතින් ඒ ඒ ආවස්ථා වලද මම සංචාරය අතින් සාර්ථක උනත් මගේ අත ඇති මුදල මම දන්නා නිසාත් ඒ අවසාන උනොත් මා සතුව අතිරේකව මුදල් ඇති බව දන්නා නිසාත් මම හෘදයාංගමව මම තුටු වූයේ නෑ.
ඒත් මගේ මිතුරෙක් මේකට සාර්ථකව මුහුණ දෙනවා.., ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් නමුත් ඔහුට අතිරේක ගමන් බිමන් නිමක් නෑ.., ඔහුට යම් හිත් තැවුලක් නො එසේනම් ගැහැටක් වී හිත එකලාසයක් කරගැනීමට ඔහු භාවිතා කරන්නේ මේ ක්‍රමවේදය..., එය ඉතා පහසු මෙන්ම ඉතා ප්‍රථිපල දායක ක්‍රමවේදයක්, ඔහු කියනා හැටියට.,
මා මෙන්ම සේයාරු හසුකරගන්නට කැමැති කෙනෙකු නිසාවෙන් ඔහු කියනා ආකාරයට මේ ක්‍රමවේදය තුලින් ඔහුගේ රූප එකතුවට පෙර නොවූ විරූ රූප ගොන්නක් එකතු වී තිබෙනවා.., නුවර එළිය, නුවර, අනුරාධපුරය, බදුල්ල, හම්බන්තොට මේ ආදී නෙක පලාත්වල සංචාරයේ යෙදෙන්නට ඔහුට වියදම් ලෙස යන්නේ ඉතා අවම පරිමිතියක මුදල් ප්‍රමාණයක්.
ඔව් ඒකෙන් මම හරිම සතුටක් ලබනවා.
සමහරවිට මගේ ගමන තීරණය වන්නේ ගමන් ගන්නා ප්‍රවාහන මාධ්‍යය මතයි, එය බස් එකක්, කෝච්චියක් එහෙමත් නැතිනම් බෝට්ටුවක් පහුරක් වන්නටත් තියෙන ඉඩකඩ වැඩියි..,
ඒත් ඉන් ලබනා ආත්ම තෘප්තිය ඊට වඩා දහස් වරක් ඉහලයි.
මේ වගේ රස්තියාදුකාර ගමන් ගැන ඔහු කියන්නේ අන්න එහෙමයි.

අනික් ප්‍රධානම දේ තමයි ආහාර
ආහාර ගැනීමේදී වැඩිපුරම සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වන්නේ ජලය ගැන පමණයි.., ඒ උදරාබාධ වලට හසුවීමට ඇති ඉඩකඩ වැඩි නිසා. මෙතනදී අපි අවධානයට ගත යුතු දෙයක් තියේ නම් ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජලයේ ස්වභාවය වෙනස් වෙනවා.., ඉතින් මේ වෙනස අපේ උදරයට බලපාන්නේ කෝමද කියන එක ගැන මා තුල නම් තියෙන්නේ බයක්.. ඉතින් ඔබට කල හැකි සරළම දේ තමයි බෝතල් කල පානීය ජලය භාවිතයට ගැනීම. ඒ වගේම ආහාර ගැනීමේදී හොදි භාවිතාව අඩු කිරීම සහ ජලය පානය ගැන සැලකිලිමත් වීම තුලින් ඊට සහනයක් ලබාගන්නට හැකියි.

පිටින් බලන්නෙකුට මේ ගමන් නිකරුනේ මුදල් වැයවන කිසිම හරයක් නැති ගමන් වගේ පෙනෙන්න තියෙන ඉඩකඩ වැඩි උනාට ඉන් ඒ ගමනේ යෙදෙන්නා ලබන මානසික සුවය මුදලින් මැනිය නොහැකියි.

වෙලාවක එහෙම ගිහින් බලන්නෝන.

Love Hotel | ラブホテル

හදිස්සියේම යාලුවෙක් හම්බු වෙන්න අවිස්සාවෙල්ලෙන් බස් එකේ නැග්ග මට ඉඳගන්න ලැබුනේ සීට් තුනේ පේලියක අන්තිම සීට් එකේ.., ජනේලේ පැත්තේ ටිකක් වෙනසක් තියෙන අමුතු ආකාරයේ [ඒ අමුතු කියන්නේ බස් එකේ හිටපු අයට සාපේක්ෂව වෙනස් විදියට ඇඳ පැලඳගෙන හිටි දෙන්නෙක් නිසා.]ජෝඩුවක්. කොන්දොස්තර මහත්මයා මගෙන් ටිකට් ගන්න ළඟට එනකොටත් දෙන්නගෙන් ගෑනු ළමයා හිටියේ පිරිමි ළමයාගේ උරහිසට ඔලුව තියාගෙන, අවුකණ්නාඩියක් දාගෙන හිටිය නිසා පිටට ඒ ඇත්ති නිදිද අවධියෙන්ද කියලා හිතා ගන්න බෑ.. මෙහෙම ඉන්නාතරේ එක පාරටම හිස කෙළින් කරගත්තු අර ගෑණු ළමයා අර තරුණයාගෙන් මෙහෙම ඇහුවා...

ඔයා ජැපෑන් ගිහින් තියෙනවද?

මෙහෙම ඇහුවම අර තරුණයා ටිකක් නොසංසුන් උනා.. ඒත් ඒ බව පිටට නොපෙන්වන්න උත්සහ කල ඔහු මෙහෙම කිව්වා..

ඔව් ඒ ලෙවල් කරලා ස්කොල් එකකින් සිලෙක්ට් වෙලා මම හයර් ස්ටඩීස් කලේ එහෙ.

ඇයි එක පාරටම එහෙම ඇහුවේ ?
නෑ මම නිකම් ඇහුවේ..,


එහෙ තියෙන්නේ හරි ෆ්‍රී කල්චර් එකක් කියලා අහලා තියෙනවා.
ලස්සන කෙල්ලෝ එහෙම ඉන්න ඇති?

හමේ පාටේ වෙනසයි මූනේ වෙනසයි එක්ක පොඩි අමුත්තක් තිබ්බට ඔයාලා වගේම තමා.., බොඩි කිට් වෙනස් උනාට සේම් ඇන්ජින්.,


තරුණයා උත්තර දුන්නේ ඒවාට උත්තර බඳින්න කිසිම උවමනාවක් නෑ වගේ

හිත ගිය අය එහෙම ඉන්න ඇති, මම කිව්වේ ඩේට් කල අය එහෙම..?
හ්ම්ම්


මොකෝ මම අහන ඔක්කොටම හ්ම්ම් හ්ම්ම් ගාන්නේ බස්සෙක් වගේ?
කෙටියෙන් ම කියන්න ඔයාට මොකද්ද දැන ගන්න ඕනේ..?


නැහ් මට එහෙම මොකවත් දැනගන්න ඕනේ නෑ..,
ඇයි ඔයා එහෙම අහන්නේ..???
මම එහෙම ඇහුවේ මගේ ජීවීතේ අවුරුදු 2 කට කලින් වෙච්චි දේවල් එකපාරටම හෙන ගහන්නා වගේ අවුස්සනකොට..,
ඊයේ මම ඔයාගේ කාමරේ අස් කරනකොට ඇඳ යට තිබිලා පෙට්ටියක් හම්බුනා.., ඒකේ තිබුනා ඔයා ජැපනීස් ගර්ල් කෙනෙක් එක්ක ඇඳක් උඩ ඉඳන් ගත්තු පින්තූරයක්.. ඒකයි.., කෙල්ල නම් ලස්සනයි ඒත් ඔයා එක්ක විශ්වාසෙන් ඉන්නවා කියලා හිතුනේ නෑ, ඒ ඔයාගේ ජැපෑන් වල ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ද?


ඉතින් ඒ කෙල්ල එක්ක මම ඇඳක් උඩ ඉඳන් ගත්තු පින්තූරේත් හරි.., ඒ කෙල්ල මා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා කොහොමද කියන්නේ, ඔහොම සැක කරලා අපි දෙන්නා කොහොමද එකතු වෙන්නේ?? අනික ඔයා දන්නවා මම ජැපෑන් වල වර්ක් කලේ ලවු හොටේල් එකක රූම් සර්විස් සෙක්ෂන් එකක බව.

අනේ නෑ ජනූ, මම එහෙම අවිස්වාසෙයක් තියාගෙන ඉන්නවා නෙවෙයි. ඔයා දන්නවා නේ මම එහෙම පරණ විකාර ඔලුව තියාගෙන ඉන්න කෙල්ලෙක් නෙවෙයි කියලා.
මම එහෙම ඇහුවේ දැනගන්න. හිටියා කියලා මට එහෙම අවුලක් නෑ.., ඔයාගෙන් මම එහෙම ඇහුවේ ඔයා ඔය මේ
දැන් ඇඳගෙන ඉන්න ටීෂර්ට් එක ඒ පින්තූරේ ඇඳගෙන හිටියේ ඒ කෙල්ල ඒකයි.

එකවරම බොහොම හදිස්සියෙන් සාක්කුවේ තිබ්බ අව්කණ්ණාඩි දෙක අරන් ඇහේ පටලවා ගත්තු ඒ තරුණයා තමන්ගේ ස්පර්ෂ සංවේදී ජංගම දුරකතනේ නොදන්නා මොනවාදෝ හොයන්න ගත්තා.
සියුම් මදහසක් මුවේ තියාගෙන හිටපු ඒ තරුණිය ආපහු අර තරුණයාගේ උරහිසේ හිස තියාගෙන ජනේලයේන් එළියේ වේගෙන් ඇදෙන ගහකොල දිහා බලා ඉන්නට වුනා.

පහත ලිවීම : ගෙදර ආවම මොනාද මේ ලවු හොටේල් කියන්නේ කියලා ගූගල් දෙයියාගෙන් ඇහුවම මුලින්ම ආවේ මෙන්න මේ විකීපීඩියා ලින්ක් එක

ප්‍රසූතිය හා උමං අනතුරෙන් වසන්නට බැරි වූ flying fish ජාතකය.

වැදගත්► ඔබ මේ කියවන්නේ කෙටි කලකින් බ්ලොග් පෝස්ට් එකක නොවැටීම නිසා  ඒ අඩුව පුරවන්නට ලියවෙන අකුරු එකතුවකින් කල වදන් හරඹයකි.
 ප්‍රසූතිය හා උමං අනතුර
මීට වරු කිහිපයකට ඉහතදී විලියම් කුමාරගේ බිරින්ඳෑ සයිලන්සරයක් ප්‍රසූත කිරීම නිසා ඉහළ යුරෝපය සහ පහල යටත් විජිත ප්රීති ප්‍රමෝදයෙන් ඇළලී ගොස් ඇති බව කවුරුත් දන්නා බව සිතමි..., ලංකාවේ මේ තත්ත්වය ඒ තරම්ම උත්සන්න නැති වුව, ආරංචිය කණ වැකුණු උපාසකම්මලා හනේ සාදු කොලු පැටික්කෙක් කියා දෝහෝත්මුදුන් දී කියූ බව ඇසින්දුටු සාක්කී පවතින බව මට කිව්වේ එහා ගෙදර සේමරත්න මාමා ය.

ඔයිට කලියෙන් අපේ ගෑණි ඉස්සරෝම අර ඩයනා කුමාරි උමං පාරේ හැප්පිලා කියලා ආරංචිය ලැබුනු ගමන් ඉහේ අත තියාන විස්සෝප උනේ "අනේ ඉතින් අම්ම නැතුව අර කොල්ලෝ දෙන්නා කෝම හැදෙයිද කියලා"
මං කොච්චර කිව්වද උන් දෙන්නා රජ පැටවු දෙන්නෙක් කියලා කොහෙද අපේ යෝදි නෙවීනේ සතේකට මායිං කලේ.


සේමරත්න මාමා පරණ මතකය ඇවිස්සුවේ විලියම් කුමාරගේ දරුප්පත්තිය අලුත්ම පුවත වීම නිසා වෙනි.

එකල ඩයනා කුමාරිගේ අභාවය ඇසූ විශ්ව විද්‍යාල සිසුවෙක් බිත්තියක තම අදහස ලියා ඇති ආකාරය විකල්ප පත්තරයක් පලවූ අයුර තවමත් මගේ මතකයේ තිබේ.

ඩයනා සුපෙම්සරා
සමඟින් ඩොඩී අල්පයිඩා
බනිසේ නැගී ගියා
උමගේ හැපී මලා


කේට් කුමාරිගේ සහ විලියම් කුමාරගේ දරුවා ගේ අනාගතයට අප සුභ පැතුවද නොපැතුවද සැපවත් වනු ඇත. ඒ නිසා මගේ අවධානය යොමුවන්නේ අද සවස 1.30ට ආණ්ඩු පක්ෂයට පියෑඹු විපක්ෂයේ flying fish ගැනය.
 
Flying fish
 
ඒ කතන්දර මේ ආකාරයෙන් තියෙද්දී, අපේ ධර්මද්වීපයේ මේ රෝයල් ප්‍රසූතිය පරසිදූ වීමට එරෙහිව වූ අකටයුතුකම් නම් අපරිමානය. ඉන් ප්‍රධානම එකක් නම් දයාසිරි ජයසේකර මංත්‍රී තුමා අද සවස 1.30ට විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට ඈඳිගන්නට යාමයි. විපක්ෂයක මළගමද කියා සිතෙන තරමට පිරිහීම් වෙත්දීත් ඉවසූ දයාසිරි, නායක තුමාගේ හාෆ්ශීට්කොලයක් වැනි මුහුණුත්තහඩුවේ කියවෙන දේ කියවාගන්නට  අසමාර්ථවීම මේ ඉවත් වීමට ප්‍රධානම හේතුව බව ලියන අය විශ්වාස කරයි. 

කොහේ ගියත් ලියන අයගේ පොතට අනුව දයාසීරි යනු කලු චරිතයක් නොවේ.., අනාගතයක් නැති පාරක යනවාට වඩා කාපට් දැමූ හරස් පාර හොඳ බවට සිතා රැවුල්පක්ෂ තුමාගේ දෑත් ශක්තිමත් කරන්නට යාම එක් අතකින් දයාසිරිගේ ජයග්‍රහණයකි. ඒ වාගේම ඔහුගේ දේශපාලනයට ඉතා ඉහල බලපෑමක් කරන්නට හැකි තීරණයකි.

පක්ෂ පාට වලට බෙදී කොතරම් තවුසන්ඩ් ටෝක් ඉශූ කලද දෙපසේම සිටින්නේ මිනිස්සු සහ තමන්ගේ අනාගත ජීවිතය සැපවත් කර ගැනීමේ අදිටනින් සිය "රැකියාවේ" නියැලී සිටින රැකියා නියුක්තිකයින් පිරිසකි. වෙනස ඇත්තේ උන් ව පත්කර යවා ඇත්තේ අපගේ අහිංසක කතිරය විසින්ම බව අමතක වීමයි.

කොතෙක් කතන්දර කීවද දයාසිරීගේ තීරණය වෙනස් වන්නේ වත් එක හීනෙන් එළිවන්නේ වත් නැත. ඒ වාගේම දයාසිරි හෝ රනිල් හෝ කිසිවේකුට අබමල් රේණුවකවත් අවැඩක් වන්නේ නැත. මහින්දගේද ඒකායන පැතුම වන්නේ තමාගේ ධූරකාලය තුල රනිල් විපක්ෂ නායකත්වයේ සිටීම බවට මෙන්න කැට..

එහෙත් වසර විස්සක මේ මහා පරාජයේ පරිමිතිය දැන්වත් වෙනස් වන්නට කාලය එළඹෙමින් තියේ. දයාසිරි තවත් වසර 10 කට වත් මහින්දව වට්ටන්න බෑ කියා කියුවද පොදු පෙරමුණේ ආසන ටික මේ ආකාරයෙන් යූඑන්පීයේ ඉගිල්ලෙන මාලුවන්ගෙන් පිරෙන්නට පිරෙන්නට වන්නේ පෙරමුණේ යටින් වැලිකැටය දෙක හෙමින් සැරේ හායනය වීමයි.
කලයුත්තේ බලාසිටීම හැර අන් කිසිවක් ම නොවේ.

ජීවිතය බෝ කරන්න ලේ බිඳක් දන් දෙන්න

       ජීවිතය කියන්න අපි හැමෝටම අයිති දෙයක්, ඒ ජීවිතය වඩාත් වර්ණවත් වෙන්නේ අපි ඒ වෙනුවෙන් ජීවිතය සඳහා තමන්ට අයිති යුතුකම් සහ වගකීම් කොටස හරියට ඉටු කරනවා නම් පමණයි, කලයුතු යුතුකම් කොටස් කෙනාගෙන් කෙනාට මෙන්ම සිතුවිල්ලෙන් සිතුවිල්ලට වෙනස් වෙනවා මෙන්ම මෙන්න මේ තමා යුතුකම් හෝ මෙන්න මේ තමා වගකීම් කියා කැටගරි ගත කර පෙන්වන්නට හැකියාවක් නෑ.., ඒ උක්ත ක්‍රමවේදයන්ගේ විචල්‍ය භාවය නිසාවෙන්මයි.
එකිනෙකාට තමන්ගේ යුතුකම් කොටස ඉටු කරන්න හෝ සිය වගකීම හරි හැටි ඉටු කරන්නට වෙරදරන මානසිකත්වයක් තුල ඒ යුතුකම් හා වගකීම් අනෙකාගේ සුඛවිහරණය සඳහා කුඩා හෝ දායකත්වයක් පලකරන්නට හැකියාව ලැබෙන අවස්ථා රාශියක් අවට ලෝකය තුල අපට ලක්ෂ්‍යගත කර පෙන්වන්නට පුලුවන්..., ලේ දන්දීම ඉන් එක දායකත්වය පලකිරීමක්. එහෙව් ලේ දන්දීමේ පින්කමකට මුල පුරන්නට අන්තිම පේලිය හෙවත් the last row කණ්ඩායම මුල පුරා තිබීම අද්විතීයයි.
ඔවුන් එයට නිමිත්තක් කරගෙන ඇත්තේ මෙයට වසරකට පෙර අප අතුරින් වියෝ වූ සනත් විජේවර්ධන සහෘදයාවයි.., බ්ලොග් ලෝකය තුල Observer නො එසේනම් "ඔබාමාමා" යන ආදරණීය නාමකරණය ලැබූ ඒ අපූරු පුද්ගලයාට පිං පිණිසයි. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අප්‍රියෙල් මස 28 වන ඉරු දින උදෑසන 9 සිට සවස 3 දක්වා සිදු කෙරෙන මේ පිංකමකට වඩා යුතුකමක් වන මේ ඉසව්වට අන්තිම පේළියේ සහෘදයින් ඔබ හට ආරාධනා කරන්නේ සුපුරුදු හිතවන්ත බවින්ම යි.
මේ ඉසව්ව සඳහා මාධ්‍ය දායකත්වය දක්වන බස්‍ රේඩියොව ඔබව නිරතුරුවම දැනුවත් කරනු ලබන අතර මේ වනවිටත් මූණුපොත් හරහා පැතිරෙන අදාල ඉසව්වේ තොරතුරු රැගත් පෝස්ටර ඔබට ඒ සඳහා සහභාගි වීමට පාර කියනු ලබනවා ඇති. 



එන්න ජීවිතයක් ජීවත් කරවන්න ජීව හුස්ම පිඹින්න ලේ බිඳක් දන් දෙන්න..!

පුද්ගලික බව ජාලගත කිරීම

      ඒ ලෙවල් වලට පන්ති යන්න නුගේගොඩ රොටරියේදී එක්කහු වෙච්චි සෙට් එක ඒලෙවල් කරලා අවුරුදු නවයකට වඩා ගෙවුනත් තවමත් අපි අතර සම්බන්ධ වෙලා තියෙන්නේ අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න. උසස්පෙළින් පස්සේ ගෙදර ඉඳන් කැම්පස් යාවි යැයි කියලා විස්වාසයක් නැති සමහරු ජොබ් හෙව්වා.., කැම්පස් පාස් වෙයි කියලා විශ්වාසයක් තිබ්බ සුධීරා, චමෝද, රචිත් වගේ අය වෙලාව වෙන්කලේ 2003, 2004 කාලේ වෙනකොට අන්තර්ජාල පහසුකම් අස්සේ තියෙන එක එක රසවින්දන කොටස් හොයන්න.., විශ්ව විද්‍යාලේ යාම ගන විශ්වාසය නොතිබ්බ මම වගේ අය, පිස්සුව රස්සාව කරගෙන වෙබ් අඩවි නිර්මාණ කරුවෙක් විදියට රැකියාව කරන අතරතුරේ අපේ පරණ රොටරි කණ්ඩායම අර ඉහතින් කිව්ව විදියට ඔන්ලයින් ඉන්න නිසා නිතර කතා බහ කරන්න ලැබුණා, සිංහලයාඩොට් කොම්, කපුටා ඩොට් කොම් වගේ වෙබ් අඩවි වල චැට් රූම් අස්සේ අපි නිතර හමු වුනා.., එහෙම කතා කරන එක දවසක අපේ අය අතරේ මුස්ලිම් කොල්ලෙක්ට හිටියේ අක්‍රම් විතරයි.., කැඩිච්චි සිංහල කතා කලාට බාලාංශයේ ඉඳන්ම සිංහල ඉස්කෝලෙක ගිය නිසාද කොහේදෝ අපි අපි අතරේ අකුරු අස්සෙන් කතා කරනකොට අපේ ගැටලු බව දැනුනේ නෑ.

අන්න, සුධීරා කාලෙකට පස්සේ කවියක් ලියලා..,
අක්‍රම් එහෙම කියලා කවිය කියවන්න සබැඳියක් දුන්නා.
සුධීරා අපි එක්කලා එකට පන්ති ගිය එක්කෙනෙන් උනාට අපි අතරින් මුලින් ම පවුල් පන්සල් වෙච්චි අයගෙන් එක්කෙනෙන් තමා එයා. මුලින්ම දන්න කාලේ අන්තර් ජාලේ සමාජ ජාල වෙබ් අඩවි වල තියෙන ෆොරම් වල කවි ලියන්න ගත්තු අය ගෙන් එක්කෙනෙක් උනු සුධීරා රස්සාවත් ලැබීමත්, අනෙකුත් වගකීම් කටපිට වැටීමත්, නිසා ටික ටික ලියන එක අඩු වුණා. හිත බඳගන්න රූප සම්පත්තියක් වගේම ලස්සන වචන මාලාවකින් කවි ගොතන සුධීරා ලියන කවියක් කියවන්න අපි මඟ බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා අපි ඔක්කොම අක්‍රම් හදීසියේ හොයාගත්තු සුධීරා ලිව්වැයි කියපු කවිය කියවන්න, චැට් තිරයට දාපු සබැඳිය අස්සේන් අපි සුධීරාගේ බ්ලොග් එකට ගියා..,
අහෝ පෙම් සබඳ
නුඹ සොයන
ස්වර්ග රාජ්‍යය
මා අස නොමැතිනම්
කිමද තෙවසරකට පෙර
මා හදේ සැතපුනේ
නුඹේ පෙම තුල
මා සෙවූ
නිදහස නොලැබුණත්
මා සිතූවේ
මා ලැබුම නුඹේ
පැතුමයි කියා
එසේ නොවන බව
මම දැනගතිමි..,
හිමි සබඳ මම
නුඹෙන් වෙන්ව යමි..!


මේක මහ අඳෝනාවක් නේ??
හැමදාම කවුරු හරි කවියක් කතාවක් දැම්මම ඒකේ වැරැද්දක් හොයන රචිත් සුපුරුදු ලෙස තමන්ගේ පළමුවෙඩි මුරය පත්තු කලා.., කොතරම් යාලුකම් තිබ්බත් හිතර පරස්පර ප්‍රකාෂයක් කරන විට ඊට එදිරි වෙන තමන්ගේ අදහස කියන්න නොපැකිල ඉදිරිපත් වෙන ඒ වෙලේ චැට් එකේ හිටපු ගොඩක් අය සුධීරාගේ කවියට රචිත් දීපු උත්තරේ දැකලා නිහඬ වුනේ ඔවුනේ ගේ හිත්වලත් රචිත්ගේ හිතේ ඇතිවෙච්චි හැඟීම ම ඇතිවුනු නිසා වෙන්න ඇති කියලායි මේ දිහා බලා හිටපු මට නම් හිතුනේ..,
මිනිහෙක් එක්ක ආදරේ බෙදාගනිද්දී වෙන ගැටලු අපි හැමෝ එක්කම බෙදාගන්නකොට අපේ ආදරේ අස්සේ තියෙන පෞද්ගලික බව නැතිවෙනවා නේද..?
දවසක් මාත් එක්ක විජිත යාපා එකේ පොතක් ගන්න ගිය වෙලාවක මගේ මිතුරෙක් ඇහුවා.., ඒ වෙලාවේ මම ඊට හිනාවකින් විතරක් උත්තර දුන්නේ, මගේ පළමු ප්‍රේමය බිඳ වැටිලා මම ඒ ගැන අන්තර් ජාලය අස්සේ මගේ ඉඩේ තනිව කතිකාවක් ගොඩ නගමිනි හිටි නිසාවෙන්. ඒත් ඔහු අහපු ප්‍රශ්ණේ මගේ හිත තුල කැකෑරෙමින් තිබ්බ ප්‍රෂ්ණයක්.., කොහොමටත් මම පසුව තේරුම් ගත්තා හිතේ දුකට එදිරිව තනි පුද්ගල කැරැල්ලක් ගසන්නට යාමෙන් වෙන්නේ මගේ හිත තුවාල වෙන එකමයි කියලා.., පසුව මේ දෙවල් ගැන මධ්‍යස්ථව හිතද්දී මට ආවේ ගැටලු දෙකයි ඒ,
·         ඇයි එහෙම ගැටලු අනිත් අය එක්ක බෙදාගතයුත්තේ..?
·         දෙදෙනෙක් අතර වෙන දේ පෞද්ගලික නම් ඇයි ඈ/ඔහු එකිනෙකාගේ ආශ්‍රයෙන් වෙන් වූ සැනින් ඊට [අ]ප්‍රසිද්ධියක් දෙන්නේ..?

ඇත්තටම ඔවුන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇත්තටම වෙන්නේ පවතින ලෝකේ සබඳතා තොරතුරු තාක්ෂණයත් එක්ක බැඳී තියෙනකොට අප වටා ප්‍රවාහයක් [crowd] සිටිනා බව දැනුනම අදහස් උදහස් දැනගන්නට අප තුල පවතින ඕනෑකම අපටත් හොරා අපේ හිත් ඔස්සේ සමාජ ජාල අඩවි හරහා එලියට එන බවක්..,
" මිනිස්සු කොහොමත් කැමති නෑ, තනියම ඉන්න.., ඒකයි මිනිස්සු අන්තර්ජාලය හරහා හමු වුන කිසිදා නොදැකි මිනිස්සුන් හට ඔවුන්ගේ දුක පවසා හිත් නිදහස් කරගන්නේ හරියට, මම ඔයාට මගේ දුකක් කියනවා වගේ..,"

වසර පහක සිට මා හා සතියකට වරක්වත් කතා කරන මගේ ජපාන මිතුරිය තොමෝයි මේ ගැන ඇයගේ අදහස විදියට කියන්නේ.   සමහරවිට සුධීරාට හිතේ මොනවා හරි ගැටලුවක් ඇති ඒ නිසා වෙන්න ඇති එයා මේ විදියට හිතේ දුක එළියට දාන්නේ.., ඒත් ඒකෙන් අනිත් අයගේ ආකර්ෂනය හොයන එකනම් තේරුමක් නැති වැඩක්..! අපි අන්තර්ජාලය තුල චරිතයක් වෙන්නට අපේ පෞද්ගලික බව ඕනෑවට වඩා භාවිත කලොත් ඉන් සිදුවන හානිය වන්නේ අපටමයි..,  මම මේ ගැන කල්පනා කරමින් තීරය දෙසට නෙත් යොමු කරා.., තවමත් කට්ටිය චැට් එකේ බරටම කතාව මම ඒ පැත්තට යන්න මගේ ඇඟිළි ඉක්මන් කෙරුවා.