බෙදාගන්න, ලියාදෙන්න, දිනාගන්න.

වැඩිදුර තොරතුරු සඳහා https://www.facebook.com/groups/hakavati/ වෙත එකතු වන්න.

නාට්ටි දෙකක් ගැන කලා ඔත්තුවක්

වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ වචන ටික සම්පුර්ණ කරගන්න උදව්ව අන්තර්ජාලෙන්, නාට්ටියකට එතරම්ම ආදරය කරත් ඉගෙනීම රස්සාව සහ ව්‍යාපාර කියන ත්‍රිකොනේ ඇතුලේ කරක් ගහන නිසාවෙන් මගේ සිතුවිලි වලට පියාඹන්න ඉඩදෙන්න මට කාලෙක ඉඳන් අමතක වෙලා.
එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්.

කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්,  සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ.  ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.

නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.

නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග‍්‍රීක රංග කලා සම්ප‍්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.

සුභා

අධ්‍යක්ෂණය - කංචුකා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික‍්‍රම
නිෂ්පාදනය - ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

ලෝකාන්තර

අධ්‍යක්ෂණය - මුදිතා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - පමුදිත මානෙල්අංග
පිටපත - Renascor රංග කලා සාමුහිකය
නිෂ්පාදනය - සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Nebraska


ඇලෙක්සැන්‍ඩර් පේන් කියන්නේ මේ වෙනකොට මගේ හිතේ ඉන්න හොඳම අදියුරුවා කිව්වොත් වැරදි නෑ.[මේ තත්ත්වය විටෙන් විට වෙනස් වෙන නිසා, හෙට අලුත් ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදහසට මොනා වෙයිද කියලා දන්නේ නම් නෑ. ] ඊට හේතුව වෙන්නේ පේන් හදන චිත්‍රපටි කුඩා පවුල සහ ඒ වටා සිටින චරිත පාදක කරගෙන හැදෙන නිසා, ඒවා අපේ ජීවිතේ අස්සේ අපි සම්බන්ධතා පවත්වන අය ගැනද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ කියලා අපිට හිතෙන්න ගන්න නිසා කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටිකලාවේ  දිගු ඉතිහාසයක් තියෙන පේන් මේ වතාවේ එන්නේ අපි ඉදිරියට වෙනස් ආකාරේ චිත්‍රපටයක් අරගෙන. ඒ චිත්‍රපටය නැබ්‍රෙස්කා. ඇමෙරිකානු සිහිනය තුල ජීවත්වන අපට සත්‍ය ඇමෙරිකාවේ රළු, වියළුණු හරස්කඩක් පෙන්වන චිත්‍රපටයක්. චිත්‍රපටය විශේෂ එකක් වන්නේ ප්‍රධාන චරිතය වන බෲස් ඩර්න් සහ සහය රඟපෑම් කරන විල් ෆෝර්ටේ සහ ජූන් ස්ක්විඩ් නිසාවෙන්. ඔබට ඇලෙක්සැන්ඩර් පේන් ගේ නිර්මාණ ශක්‍යතාව ගැන කුකුසක් ඇත්නම් මම සිතන්නේ ඔබට කල හැකි පහසුම දෙය තමයි නැබ්‍රෙස්කා බලන එක. 1985 කාර්මන් චිත්‍රපටයෙන් ඇරඹි සිය නිර්මාණ චාරිකාව 2013 වසරේ ඔහු කල නැබ්‍රෙස්කා දක්වාම සිය රිද්මය එක ආකාරයකින් පවත්වාගෙන එන ආකාර අවබෝධ කරගැනීම තුලින් නිර්මාණ ගැන ඔබ තුල වන දැනුම පෘථුල කරවීමට ඉඩප්‍රස්ථා ඇති කරවන බව නම් කිව යුත්තක්.
Woody Grant [Bruce Dern ] with Director Alexander Payne
නැබ්‍රෙස්කා චිත්‍රපටය ගෙතී ඇත්තේ වියපත් මොන්ටානා හි ජීවත් වන බේබදු පියෙකු වන වුඩී ග්‍රාන්ට් [බෲස් ඩර්න්] වටායි. එක් දිනෙක ඔහු අත වන ලොතරැයියකට ඩොලර් මිලියනයක ලොතරැයි  දිනුමක් ඇදී ඇති බව ඔහු සිතනවා. එහෙත් වූඩී ගේ බිරිඳ වන කේට් [ජූන් ස්ක්විබ්] වෙත වූඩි කෙතරම් ඇවටිලි කලත් ඈ සිතන්නේ එය මුසාවක් බවයි. සිය බිරිඳට කණපින්දම් කියා පලක් නැති බව සිතන වූඩි ඊළඟට කරන්නේ ත්‍යාගය ගැනීම සඳහා නැබ්‍රෙස්කා හි ලින්කන් නගරය වෙත පයින්ම ගමන් ඇරඹීමයි. වුඩිගේ පුතා වන ඩේවිඩ් [විල් ෆෝර්ටේ] විසින් පාරේ තනිවම ගමන් කරනා සිය පියා සොයාගෙන ඔහුව ලින්කන් නගරය වෙත රැගෙන ගොස් ත්‍යාගය ලබාදීමට කැමති කරවාගනී.  කෙසේ හෝ ඩේවිඩ් විසින් ගමන් වෙන අතකට හරවා ලින්කන් වෙත යන ගමන අතර මැද හෝත්‍රෝන් වෙත යයි. හෝත්‍රෝන් යනු වූඩිගේ උපන් ගමයි. එහෙත් අවසන වන්නේ ත්‍යාගය ගන්නට ලින්කන් වෙත යන අතර සිය නෑසියන් මුණ ගසෙන්නට හෝත්‍රෝන් වෙත යෑම ත්‍යාගය ගැන වන වූඩිගේ අදිටන සිහිනයක් වීමයි.

වෙනත් ආකාරයකින් කියනවා නම් නැබ්‍රෙස්කා යනු මඳවේගික චිත්‍රපටයක්, ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන්නේ ඇදිවේගී, වෙඩි තබාගැනීමේ දර්ශන සහිත, ලේ විසිරෙන සුළු, ටරන්ටිනෝ ආකෘතියේ චිත්‍රපටයක් නම් කරුණාකර මේ චිත්‍රපටය බැලීමෙන් වලකින්න, ඔබේ ඩේටා ටික අයියෝ ඩේටා කියා සිතේවී. මෙහි කතාව ඉතා දැඩි හෝ සංකීර්ණ නොවුනත් කතාවේ ගලායෑම මන්දගාමී වීම හරහා කතාව විකාශනය වීමට වැඩි වේලාවක් ගන්නවා, එසේ වීමට හේතුව ලෙස පුද්ගලිකව මට සිතෙන්නේ පේයින් විසින් වූඩීගේ දුර්වල බිඳවැටෙන සුලු මහලු අධ්‍යාත්මය නරඹන්නා වෙතට දැනෙන්නට ඉඩ හැරීමට විය හැකි බවයි. මෙතෙක් චිත්‍රපටය නැරඹූ අය අතර මේ ඉහත කී සංවේදනා වල බිඳුවකින් හෝ සමපාතවන අත්දැකීම් සහිත වන වුන් නැතැයි අප කියන්නේ කොහොමද? නිදසුනක් ලෙස මට පුද්ගලිකව මේ අත්දැකීම මගේ නෑසියන් ඇසුරෙන් විටින් විට අත්දකින්නට ලැබී තිබෙනවා, ඉතින් එවැනි සමාන අත්දැකීම් ඇත්තන් අතර ජනප්‍රිය වීම නිසාවෙන් තමයි ඇලෙක්සැන්ඩර් පේයින් ගේ සහ තිර රචක බොබ් නෙල්සන් විසින් කියනා මේ කතාවට මේ තරම් ජනප්‍රසාදයක් ලැබෙන්නට ඇත්තේ.
Woody Grant [Bruce] with his son David [Will Forte]


නැබ්‍රෙස්කා මට සුවිශේෂ වන තවත් එක හේතුවක් වන්නේ එහි ඇති කලුසුදු වර්ණිත සිනමාකරණය. සමාජය තුල විවිධාකාරයේ වර්ණ [ගතිගුණ?] වලින් යුතු මිනිසුන් සිටියත්, අප කොතෙක් උන් හා ගැටුනත් අවසානයේ මිනිසුන් වූ අපට මිනිසා ගැන තියෙන පොදු සාධකය එක්කෝ ඔහු හොඳ හෝ නරක මිනිසෙකු බවයි. පේයින් විසින් සිය නිර්මාණය තුල පැතලි වර්ණ භාවිතයක් කර ඇත්තේ මේ පොදු කාරණය උලුප්පන්නදැයි මට විටෙක සිතෙනවා. එය චිත්‍රපටය නරඹත්දී මට නිතර නිතර සිතට දැනුන කරුණක්. අනෙක් අතට වර්ණ භාවිත කිරීමේදී සිනමා කරුවාගේ අදියුරුවේ සහ නළු නිළියන්ගේ අඩුපාඩු වසා ගැනීමට හැකි වුවත් මෙහිදී පේයින් විසින් කලුසුදු භාවිතය නිසාවෙන් රංගන ශිල්පීන් වෙත වැඩි බරක් තබා ඔවුන්ගෙන් සිය උපරිම හැකියාව උකහා ගන්නට දැරූ තැතක් දෝහෝයි සිතෙන්නේ  ශිල්පීන් සිය චරිත වලට සිය සාධාරණය උපරිමයෙන් ඉඩු කරනා බව මට සිතෙනා නිසාවෙනුයි. කෙසේ නමුත් කළුසුදු වර්ණ වලින් වන්නේ කතාවේ ගලා යාම සහ එහි චරිත ඔබ වෙත කරන්නාවූ ආමන්ත්‍රණය තවත් ශක්තිමත් වීම බව මට සිතෙනා බව නොකියා ම බැහැ.

නැබ්‍රෙස්කා යනු ඉතා ශක්තිමත් තිරනාටකයකින් සජ්ජිත චිත්‍රපටයක් බව නොකීවොත් එය මා කරන ලොකු අඩුවක්, බොබ් නෙල්සන් විසින් චරිත වලට ඉතා සුන්දර ආකාරයෙන් අහම්බ එක්කාසු කර ඇති ආකාරය ඉතා සුවිශේෂයි. ඒවා කුඩා වුවත් ඉන් ඒ චරිත බොහොම අලංකාරව ආලෝකමත් කරනවා. මේ අහම්බ එබ්බවීමෙන් ඔබව මම සහ නරාන අපව අපටත් නොදැනෙන ආකාරයෙන් කතාවට ඇද බැඳ තබා ගැනීම නෙල්සන් විසින් කරනවා, ඔහුත් සමඟව එකතුව තිරරචනයෙන් මේ චිත්‍රපටයට ආලෝකයක් ගෙනා පේයින් වත් මතක් කල යුතුමයි, ඔබට අලංකාරිත අදියුරුවක් සහිත චිත්‍රපටයකට උදාහරණයක් කාට හෝ පෙන්වන්න්ට අවැසි නම්, ඔබට බිය නැතිව නැබ්‍රෙස්කා නම් කල හැකියි.

සියලුම සිත්ගන්නා සුලු ආකාරයේ සාධක පසෙකින් තැබුවත් නැබ්‍රෙස්කා යනු බොහොම කම්මැලි චිත්‍රපටයක් ලෙස දැනෙන්නට තියෙන ඉඩකට වැඩියි [හරියට මේ ලිපිය වාගේ ;)]. අපි මුලින්ම නරක ගැන කතා කරමු, කතාව ගලා යන්නේ පැයයි මිනිත්තු 55 වැනි කාලයක් තුල, සාමාන්‍යෙන් මේ කාලයක් තුල දිවෙන චිත්‍රපටයක් අප සංගත ධාවනකාලයක් සහිත චිත්‍රපටයකැයි හඳුනාගත්තත්. චිත්‍රපටය තුල චරිත ගලා යෑම ඉහත කීවාක් මෙන් බොහෝම ඔතෑනි සහ මන්දගාමී ලෙස ගලා යන්නේ, අනෙක් අතට කතාව හෝත්‍රෝන් වල ගත කරන දර්ශන ගණන ඉතා වැඩි යැයි සිතෙනවා, එක අවස්ථාව දර්ශන කිහිපයක් සංස්කරණ ශිල්පියාට කපා දැමිය හැකියි නේදැයි අවස්ථා කීපයකම මා හට සිතුනා. එහෙත් එහි අවසානය පරම අලංකාරයි, ඒත් එහෙම උනත් මට සිතෙන්නේ අඩුම තරමින් තවත් පැය කාලක්වත් කතාව අඩු වූවානම් පාඩුවක් නොවේයි කියලයි.

නැබ්‍රෙස්කා යනු ඔබතුල චිත්‍රපටයක් ගැන තිබෙන වෙනස් ආකාරයේ මතය වෙනස් කරන ආකාරයේ කතාවක් බව මට සිතෙනවා. කලුසුදු සිනමාකරණ කතාව නරඹත්දී නොදැනීම ආශක්තවූ පසුව ඉතාම පහසු ආකාරයෙන් කතාවට සමවැදිය හැකි ආකාරයට කතාව ගලා යන බව කිවයුතුමයි. කතාව මැදදී සහ ඉන්පසුව මඳක් මන්දගාමී වුවත් කතාව අවසානයේදී කියන්නට ඇත්තේ මට නම් නැබ්‍රෙස්කා යනු බැලිය යුතු වර්ගයේ චිත්‍රපටයකට හොඳ උදාහරණයක් ලෙස නම් කල හැකි චිත්‍රපටයකුයි. වෙනස් ආකාරයක චිත්‍රපටයක් බලන්නට උවමනාව ඇතිනම් නැබ්‍රෙස්කා බලන්න්ට පොඩි උත්සහයක් දුන්නාට පාඩුවක් නැති වෙයි මගෙහිතේ..! 


මොකද්ද මේ A.C.E?? | What A.C.E Stand For??

Official Logo of ACE

අපි චිත්‍රපටයක් බලනකොට බොහෝ වෙලාවට විදේශීය, එයිනුත් හොලිවුඩ් චිත්‍රපට වල නාමාවලින් හෝ ආරම්භය සනිටුහන් වන අවස්ථාවල ඒ චිත්‍රපටය සඳහා සිය ශ්‍රමදායකත්වය දුන් අයගේ නම් වැටෙන වෙලාවල, ඒ සමහර නම් අගට A.C.E කියන අකුරු තුන තිබෙනවා, මේක මම කොතෙකුත් චිත්‍රපට වල දැක ඇතත්, සොයන්නට ඇති කම්මැලි කම ඉස්සර වීමේ කරුමය නිසා මේක මට මඟ හැරුනා ඒ හැම වෙලාවේ ම. ඒත් අද මම 47Ronin බලා එහි නාමාවලිය යන විට එහි සමහර නම් අගට අර අකුරු තුන තිබීම නිසාවෙන් මගේ පරණ උනන්දුව වැඩි වුනා. පස්සේ ගූගලයාගේ සරණ පතන විට මට ලැබුණ පිළිතුර මම පහතින් මේ අයුරින් සටහන් කරන්නම්.. 

ACE යන අකුරු තුනෙන් සංක්ෂිප්ත කර ඇත්තේ "American Cinema Editors association" වදනයි, සිංහලෙන් කියනවා නම් ඇමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය යන්නයි.

මේ වැනි එකමුතුවක් ගැන මුලින්ම අදහස් ඇතිවී තිබෙන්නේ, වොරන් ලෝව් සහ ජැක් ඔගිව්ලී විසිනුයි, ඔවුන් දෙදෙනා වෘත්තීයෙන් පැරමවුන්ට් චිත්‍රාගාරයේ චිත්‍රපට සංස්කාරකවරුන් දෙදෙනෙක්. දෙදෙනෙකු තුල ඇති වූ මේ අදහස පසුව හොලිවුඩ් හී මස්කේස් සමාජශාලාවේදී ඔගිව්ලි සහ ලොවී දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් තවත් සංස්කාරකවරු 11 දෙනෙකුගේ එකමුතුවෙන් පැවැත්වුනා. ඒ 1950 වූ ඔක්තෝම්බර් මස 26 වෙනි දිනයි. කතිකාවට සහභාගි වූ සංස්කාරකවරු වන්නේ ජෝර්ජ් ඒමී, ෆොල්ම බ්ලැංස්ටඩ්, ජේම්ස් ක්ලාර්ක්, ෆ්‍රෑන්ක් ග්‍රෝස්, රිචර්ඩ් හීයර්මන්ස්, විලියම් හෝන්බෙක්, ෆ්‍රෙඩ් නුඩ්ස්ටන්, විලියම් ලියෝන්, ෆ්‍රෙඩ්‍රික් ස්මිත්, රිචර්ඩ් වෑන් එඩ්ගාර් සහ හියු වීන් යන අයයි.

එසේ හමුවූ මේ අපූරු සංස්කාරක වරුන් එකතුව සිය ප්‍රථම ආරම්භක සාමාජික සැසිය 1950 නොවැම්බර් මස 28 වන දින පැවැත්වුවා, ඉන් පසුව නැවත නව සාමාජිකයින්  බඳවා ගැනීමේ සැසියක් 1951 ජනවාරි මස 09 වෙනිදා පැවතුනු අතර එහිදී ඇමෙරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සිනමා සංස්කාරක වරුන් 108ක් එහි සාමාජිකත්වය ලැබූ බව සඳහන්. එතෙක් හරි ආකාරයේ නමක් නොතිබූ මේ එකමුතුවට "American Cinema Editors" යන නම පටබැඳ එය "ACE" සංක්ෂිප්ත කරන්නේ සිනමා සංස්කාරක ඩෝන් හේස් ගේ යෝජනාවකට අනුවයි. [චිත්‍රපටවල සිය නම් දැමීමේදී සිය නමට අගින් උක්ත අක්ෂර ත්‍රිත්වය දැමීමෙන් තමා පිළිගත් සංස්කාරකවරයෙකු බවත් සිනමාව පිළිබඳ පෘථුල අත්දැකීම් වලින් පිරිපුන් චරිතයක් බවත් නොකියා පවසන්නට හැකි බවට ඔවුන් අතර මතයක් ගොඩ නැඟුනා.] එම වසරේම [1951දී] මැයි 29වන දින, අමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය ලාභ නොලබන ආයතනයක් බවට ඇමෙරිකාවේ කැලිෆෝර්නියානු ජනපද නීතිය විසින් පිළිගත්තා.

එකමුතුව පිහිටු වීමෙන් පසුව ඒසීඊ සාමාජිකයින් අනෙකුත් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රතිලාභිත පාර්ශව සමඟ සබඳතා ගොඩනඟාගෙන ඒ හරහා සිනමාවටත් මහජන ප්‍රජාව සිනමාව පිළිබඳව දැනුමින් සන්නද්ධ කරවීම ඇරඹුවා, එහි ප්‍රථිඵලයක් ලෙස ඒසීඊ වටමේසය "ACE Roundtable" ලෙස හඳුන්වන එම කතිකාවත තුලින් සිනමාවේ තුල පවතින ගැටළු සහ ඒවාට විසඳු සෙවීමේ කාර්යයට ප්‍රථම වරට මේ එකමුතුවේ අනුග්‍රහයෙන් පැවැත්වුනා. නිර්මාණශීලී එක්කාසුවක් තුලින් හොඳ චිත්‍රපටයක් යන මැයෙන් 1951 ජූනි 05 වැනි දින මැස්කර්ස් සමාජශාලාවේ දී ෆ්‍රෙඩ්‍රික් ස්මිත් ගේ ප්‍රධානත්වයෙන් පැවත්වූවා, මෙහි ගරු කථිකයින් ලෙස කටයුතු කලේ ඩෙල්මර් ඩේවිස්, සභාපති, ස්ක්‍රීන් අදියුරුවන්ගේ සංගමය; පෝල් ග්‍රෝසේ, සභාපති, කලා අදියුරුවන්ගේ සංගමය; විලියම් පේල්බර්ග්, සභාපති, ස්ක්‍රීන් නිෂ්පාදකයින්ගේ සංගමය; රොනල්ඩ් රේගන්, සභාපති, ස්ක්‍රීන් කලාකරුවන්ගේ සංගමය;  රේ රෙනාහැන්, සභාපති, සිනමා යාන්ත්‍රිකයින්ගේ සංගමය සහ කාල් ටන්බර්ග්, සභාපති, සිනමා තිර රචකයින්ගේ සංගමය.

ඉන් පසුව එම වසරේදීම ජේම්ස් ඊ නිව්මන් විසින් ACE සංගමයේ අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාල වල සිනමා උපාධි දේශන සඳහා ACE සාමාජිකයින් ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කලා. මේවන විට එම වැඩ සටහන හඳුන්වන්නේ ACE බාහිර සංස්කාරකයින්ගේ වැඩසටහන යන නමින්. මෙසේ ඉගැන්වීමට අමතරව ACE සාමාජිකයින් විසින් සංස්කරණය සම්බන්ධව චිත්‍රපට දෙකක් නිපදවූවා, "Basic Principle of filmEditing" සහ "Interpretations and Values of Film Editing" යන නම් වලින් හඳුන්වන මේ චිත්‍රපට මේ වන විටත් අධ්‍යාපන උපකාරක ලෙස සිනමා සිසුන් භාවිතා කරන බව සඳහන්.

ACE සංගමයේ නිල සඟරාව ලෙස සිනමා එඩිටර් "Cinemaeditor" යන නමින් යුතුව පිටු 4 සිට 8 අතර ඇති සීමිත සංස්කරණයක් ලෙසින් 1951 මැයි මස,එලි දැක්වූවා. පසුව කල දියුණු කිරීම් වලදී එය පිටු 40ක වර්ණිත සඟරාවක් ලෙසත් සීමිත සංස්කරණයක් ලෙස නොව සාමාජික මණ්ඩලයේ ලියාපදිංචි වූවන් හට සහ සිනමා වෘත්තිකයින්ට මේවන විටත් බෙදා හරිනවා. 

Cinemaeditor Magazine


ක්ෂේත්‍රයේ දස්කම් දක්වන සංස්කාරකවරුන්ට ගෞරව දක්වනු වස් ACE සම්මාන රාත්‍රිය ප්‍රථම වරට 1951 මාර්තු 14 වන, බෙවර්ලි හිල්ස් හෝටලයේදී පවත්වන ලදී. ජෝර්ජ් මර්ෆිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මේ සම්මාන රාත්‍රියේ ප්‍රථම කතිකයා වූයේ ඩෝර් ශේරී නම් සංස්කාරකවරයායි. ෆ්‍රෑන්ක් කැප්‍රා ප්‍රදානය කල ඒ සම්මාන උළෙලේදී පැමිණි සිටියවුන්ව රසවත් කරන ලද්දීඅ ජෙරී ලෙවිස් සහ ඩීන් මාර්ටින් විසිනුයි. වර්තමානය වන විට හොඳම සංස්කරණයක උදේසා ඇකඩෙමි සම්මාන සඳහා වාර්ෂිකව තෝරගන්නා වූ නාමයෝජනා ලෙස ඉදිරිපත් කරන්නේ උක්ත ACE සම්මාන සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා බව ACE වෙබ් අඩෙවියේ සඳහන්, එලෙස සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ කලේ 1961 වසරේ සිටයි.
1962 දී ACE සමාජයේ තීරණයක් පරිදි එහි සම්මාන උළෙලේදී සම්මාන සඳහා නාමයෝජනා සඳහා තෝරාගන්නා නම් ලබාදෙනු ලබන්නේ ACE සාමාජිකයින්ගේ ඡන්දයෙන් තෙරුණු නාමයන් පමණයි. රූපවාහිනී සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ සංස්කරණයෙන් දස්කම් දක්වන ශිල්පීන් වෙත සම්මාන පලිහක් 1965 වසරේ සිට ප්‍රදානයක් අරන අතර එය හඳුන්වන්නේ එඩී ["Eddie"] අනුනාමයෙනුයි. ,ඒ පලිහ ප්‍රදානය කිරීම මේ වන විට ඇකඩමි සම්මාන ප්‍රදානයට , ඔස්කාර් සම්මාන උළෙල යැයි කියනා ලෙසින් ම ACE සම්මාන රාත්‍රිය හඳුන්වන්නේ එඩී සම්මාන රාත්‍රිය යන නමිනුයි. 1973 දී ප්‍රථම වරට ඇමෙරිකාව තුල සිනමා සංස්කරණය විශයයක් ලෙසින් හදාරන සිසුන් වෙනුවෙන් හොඳම සංස්කරණ සිසුවා වෙතට සම්මානයක් ප්‍රදානය කිරීම ආරම්භ කලා.
 
තොරතුරු මූලයන් : ACE website | Wikipedia

12 years a slave


Movie Release Date : 18th October 2013
කාලෙකට සැරයන් ඉඳලා ඉඳලා චිත්‍රපටයක් එනවා මේක නම් මාර ෆිල්ම් එකක් මේක අනිවාර්යයෙන් බැලිය යුතුයි කියලා හිතෙන. ඒ ඒ චිත්‍රපටය මහාචිත්‍රපටයක් වත් නිෂ්පාදන වියදමවත් වෙන මොකවත් නිසා නොවෙයි, එය බැලියයුතු කියා හිතෙන්නට හේතුව වන්නේ මිනිසා විසින් මිනිසුන්ට කල වැරදි තේරුම් ගන්නට, මනුෂ්‍ය ඉතිහාසයේ මහා අත්වැරැද්ද තේරුම් ගන්නට, මනුෂ්‍යත්වයේ සැඟවි මහා අමනුෂ්‍යත්වය තේරුම් ගන්නට, කුමනාකාරයේ රහසිගත වැරදි ඉතිහාසයේ ඉඩ හසර තුල අප විසින් කරන්නට ඇති කියා තේරුම් ගන්නට, කෙටියෙන් කියනවා නම් ලෝකයේ ඉතිහාසය තේරුම් ගන්නට මේ චිත්‍රපට වලින් අපට ඉඩ ලැබෙනා නිසාවෙන්. පෙර වසර වල අපේ ආදරය දිනාගත් Schindler's List, Saving Private Ryan, සහ Hotel Rwanda වැනි චිත්‍රපට වලින් පෙන්වාදුන්, විවරකර දුන් කවුලුව තුලින් ඊටත් වඩා පෘථුල ලෙස අප විසින් අපව දැකගන්නට මේ චිත්‍රපටය තුලින් ඉඩ ලැබෙනවයි කියලයි මගේ සිතුවිල්ල. අටුවා ටීකා ලිව්ව ඇති 2013 වසරේ අවසාන කාර්තුවේ චිත්‍රපටශාලා වලට පැමිණි බ්‍රිතාන්‍ය සිනමා අදියුරු Steve McQueen ගේ 12 Years A Slave චිත්‍රපටය ගැනයි මේ මෙච්චර වෙලා ඔබව වටේ යැව්වේ. චිත්‍රපටය කථාකරන්නේ ඇමරිකාවේ මෑත අතීතයේ [කොහොමත් ඇමෙරිකාවට තියෙන්නේ මෑත අතීතයක් තමා] සටහන් ව ඇති බියජනක, කුරිරු, දාමරිකත්වයෙන් පිරි, වහල්භාවය ගැනයි. චිත්‍රපටය ඔබ නරඹනකොට සමහර කොටස් ඔබේ මතකයෙන් මැකී නොයනු ඇති. ඒ මතකය ඔබේ සිතට වද දෙනු ඇති. 12 Years A Slave යනු චිත්‍රපටි ලෝලීන් විසින් අනිවාර්යයෙන් ම නරඹන්නට උවමනා එකකැයි කියන්නේ අන්න ඒ නිසයි.

Director Steeve McQueen with Michael Fassbbender [Master Epps]

12 Years A Slave හී සාකච්ඡාවට බඳුන්වන්නේ සෝලමන් නෝතප් (Chiwetel Ejiofor) ගේ කතාන්තරයයි. නෝතප් කියන්නේ නිවු යෝර්ක් නුවර සරටෝගා හී ජීවත් වන නිදහස් මිනිසෙක්, ඔහු වීනා වාදනයට සහජ දස්කම් දැක්වූවෙක්. සුදු මිනිසුන්ගේ නිවාස සහ ප්‍රියෂම්භාශනයන්හී නෝතප් නොවරදින සාමාජිකයෙකු වන්නේ ඒ නිසයි. කෙසේ හෝ එක දිනෙක සොලමන් වෙත රැකියා යෝජනාවක් ලැබෙනවා, ඒ නම්, නගරයෙන් නගරයට ගමන් ගන්නා සර්කස් කණ්ඩායමක නිත්‍ය වීනා වාදකයා ලෙස සේවය කරන්නට, මෙසේ නෝතප් වෙත මේ යෝජනාව කරන්නේ සුදු මිනිසුන් දෙදෙනෙකු වන බ්‍රවුන් (Taran Killam) සහ හැමිල්ටන් (Scoot McNairy) විසින්. සුදු මිනිසුන් දෙදෙනාව විශ්වාස කරන නෝතප් විසින් ඔවුන් හා එක්වූවත් සුදු මිනිසුන් දෙදෙනා විසින් කරන්නේ නෝතප් ව කලු වහලෙකු ලෙස විකුණාදැමීමයි. එතැන් සිට දිග හැරෙන්නේ 12 වසක් පුරාවට දිවෙන නෝතප්ගේ වහල් සේවය තුල කරුණාවත් ස්වාමියෙකු වූ ෆෝර්ඩ් (Benedict Cumberbatch) ගේ සිට යක්ෂ වතු හිමිකරුවෙකු වන එප්ස් (Michael Fassbender) දක්වා දිවෙන නිදහසේ මිහිර සොයන ගමනයි.
12 Years A Slave යනු රසවත් ම චිත්‍රපටයක් නොවේ. ඒත් එය සුවබර කතාන්තරයක් ලෙස ප්‍රස්ථාර ගතවනු වලකන්නට බෑ. චිත්‍රපටය තුලදී ඔබට ඉතා දුක්බර දර්ශන නරඹන්නට වෙනවා පමණක් නොව, ඒවා බලන්නට පවා අසීරු වෙහෙසකර ඒවා ද වෙනවා. විටෙක ඔබව සමහර දර්ශන නිසා බියෙන් හැකිලෙනු නොඅනුමානයි. චිත්‍රපටයක් තුල රංගනයේ යෙදී සිටින්නන්ට බිය නැතිව අහංකාරව තමා මේ චරිතයට සාධාරණයක් ඉටු කල බව පෙන්වා දෙන්නට හැකි චිත්‍රපටයක් බව ගැටලුවකින් තොරව කියන්නට පුලුවන්, චිත්‍රපටයේ අදියුරු ස්‍ටීව් මැක්වීන් වෙත චිත්‍රපටය තුලින් තමා කියන්නටයන කතාවට නියම වටිනාකම ලැබී ඇති බව පෙන්වා දෙන්නට හැකියි. අග්‍රගන්‍ය වූ සුපිරිම දර්ශන වලින් යුක්ත මේ චිත්‍රපට වසරේ හොඳම චිත්‍රපටවලින් එකක් යැයි කියනු විනා වෙන කියන්නේ කුමක්ද?

Chiwetel Ejiofor starring as a Solomon Northup AKA Platt.
 චිත්‍රපටයක් ගැන කතා කරන විට එහි රඟන්නන්ගේ හැකියාවන් තක්සේරු කරන්නේ නැතුව චිත්‍රපට ගන කතාකරන එක වස පාඩුවක් කියලා හිතෙන්නේ මෙ වගේ චිත්‍රපටයක් බලනකොටයි. සොලමන් නෝතප් හෙවත් ප්ලැට් ලෙසින් රඟන ඡිවිටෙල් එජයිෆෝ [Chiwetel Ejiofor] ගේ අපූරු රංගනය කලුමිනිසෙකුගේ දුක්බර අතීතයේ භාවයන් ඉතාමත් සුන්දර ආකාරයෙන් පෙනවා දෙනවා.., ඔහුගේ හැඟීම් සහ අනෙකුත් චරිත සමඟින් අන්නිවේදනය කරනාවිට නෝතප්ගේ චරිතය තුල ජීවත් වන ආකාරය අංකුර රංගන ශිල්පීන් බොහෝ දෙනෙකුට සිය අත්පොතේ සටහන් තබාගන්නට තරම් වටිනවා. සියයට සියයක් ම මුහුණින් පලකරන හැඟීම් සමඟ ගනුදෙනු කරන චරිතයක් එජයිෆෝ විසින් රඟපෑවත් ඔහුට ඔස්කාර් වාසනාව නම් හිමිවූයේ ඔහුව හොඳම රංගන ශිල්පියා සඳහා වූ ඔස්කාර් සම්මානයේ නාම යෝජනාවක් ලෙස ම පමණක් තබමින්. එහෙත් ඔහුට ඒ නාමයෝජනාව තුලින් පමණක් තවත් රංගනය සඳහා දොරටු විවර වෙනවාට සැකය නෑ, පැට්සි ලෙස චිත්‍රපටය තුල සිය සලකුණු තැබීම කරනා ලුපීටා න්‍යොංගෝ [Lupita Nyong'o] සිය චරිතයට උපරිම සාධාරණය ඉටු කරන්නේ ඉතාම සුන්දර ආකාරයට, සුදු පාලනය තුල හුස්ම ගැනීම පමණක් තමන්ට රිසි ආකාරයට කරන්නට ඉඩ හසර පවතින ඒ රුදුරු වහල් භාවය තුල නීග්‍රෝවෙකු ගේ අයිතීන් කප්පාදුවේ උච්චතම අවස්ථාව ලෙස පැට්සි විසින් සිය ස්වාමියා එප්ස්ට නොදන්වා සෑම රැයකට ඔහු විසින් ගොදුරු කරගනු ලබන සිය සිරුර පිරිසිදු කරගන්නට සබන් රැගෙන එන විට එප්ස් හට හසු වීම සහ ඉන් කුපිත වූ ඔහු විසින් පැට්සි වෙත දෙන දඬුවම හදවත මෙන්ම දෙනෙතද තෙත් කරන්නේ නිරායාසයෙන්, ඒ රංගන ප්‍රභාවයට තුති පිදිය යුත්තේ සිය පළමු චිත්‍රපට රංගනය ලෙස ඉදිරිපත් කරන ලුපීටා වෙතද එසේත් නැති නම්, අදියුරු ස්ටීව් මැක්වීන් වෙතදැයි ප්‍රෂ්ණාර්ථයක් පැණ නඟින්නේ නිරායාසයෙන්. එහෙත් චිත්‍රපටය අවසන ප්ලැට්[නෝතප්] එප්ස් වෙති නිදහස්ව රැගෙන යන අවස්ථාව වන විටත් පැට්සි ගේ රඟපෑම අපව ඈ වෙත පෙමින් බන්ධනය කරවා අවසානයි.

Lupita Nyong'o  with her Oscar for Best Supporting Actress
 ඊට අමතරව චිත්‍රපටයේ නම් පෙල තුල බ්‍රැඩ් පිට්ගේ නම සඳහන් වූ බාස් නමැති චරිතය චිත්‍රපටය තුල වෙනසක් ඇති කරනු ඇති බව සිතුවත් අවසාන හාගයේ චිත්‍රපටය වෙත එකතුවන තුල උක්ත චරිතය චිත්‍රපටය තුල රඟපෑ කොටස සෑහේදැයි මට පවතින්නේ ගැටලුවක්, එහෙත් ඒ ගැටලුව සමනය වන්නේ සිය අතීතය බියෙන් හා සැකයෙන් බාස් වෙත ප්ලැට් විසින් කියන ආකාරය තුල බ්‍රැඩ් පිට් යොදා ඇත්තේ කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂය වෙත යැයි මතක් වෙත්දී.  ඊට අමතරව, බෙනඩික්ට් කම්බර්බැච් කාරුණික ස්වාමියා ෆෝර්ඩ් ලෙසද, මයිකල් ෆස්බෙන්ඩර් රුදුරු වතු හිමිකාර එප්ස් ලෙසින්ද සිය චරිතවලට සාධාරණය හිමි කරවන බව ඔබ මේ අපූරු සිනමා නිර්මාණය නැරඹුවෝතින් වැටහේවි.

Bass, Patsy, Solomon and Epps with Director Steeve McQueen
කතාව ආරම්භය අපට පුංචි අපහසුවක් ගෙන ආවත් එය සමනය වන්නේ කතාව තුල අප චිත්ත සටහන් ගොඩ නංවා එහි පූර්ව අපර සන්ධි ගලපා ගැනීමෙන්, චිත්‍රපටයේ ආරම්භය එප්ස්ගේ උක් වගාව තුල නොතප් උක් පාහින දර්ශනයක් වුවත්, වැඩ අවසන්ව සිය නැවතුමට ආපසුව තමන්ට කෑමට ලැබුණු බෙරී වලින් තනා ගත් තීන්තයෙන් ලියුම්ක් ලියන්නට සැරසෙන තැනින් කතාව සත්‍යමය ආරම්භය සටහන් වෙනවා..! එනම් කතාව මැද සිට ෆ්ලෑශ්බැක් එකකින් පසුව කතාව මැදට පැමිණ එතැන් පටන් අවසානය තෙක් ගලායාමක් තමයි තිබෙන්නේ. මෙය සාම්ප්‍රදායික ආඛ්‍යානයකට බෙහෙවින් වෙනස්, ඒත් කතාවේ හරයට හෝ කතාව කීමේ ආකාරයට එය ගැහැටක් වන්නේ නැති තරම්. කතාව තුල අවසානය මැද හා ආරම්භය බෙහෙවින් පැහැදිලියි, ඒ අතර පවතින සිදුවීම දර්ශන ලෙස අපගේ මනසට එක්කාසු වන්නේ මේ අපූරු ආඛ්‍යානය නිසා වෙන්නට හැක්බව මගේ අදහසයි. නෝතප්ගේ වහලෙකු ලෙස ගෙවුනු වසරවල්, වෙන වෙනම අපට පෙන්වන්නට පුලුවන් තරම් පිළිවෙලක් මේ ආඛ්‍යානය තුල සැඟව ඇති බව නම් සත්‍යයක්.

Movie Inspired by The Book "12 Years a Slave" by Solomon Northu
 අදියුරුව තරමට ම, තාක්ෂණික මූලිකාංග භාවිතය, හාන්ස් ශිමර්ගේ[Hans Zimmer] පසුබිම් සංගීතය එමෙන්ම ශෝන් බොබිට්ගේ[Sean Bobbitt] තිරරචනය සහ අමතක නොකලයුතු සුපිරි සංස්කරණය, මේ සියල්ලම සහිත නිර්මාණයකට උදාහරණයක් ලෙස පෙන්වන්නට පුලුවන් අති දුලභ අවස්ථාවලින් එකක් ලෙස 12 Years A Slave චිත්‍රපටය අවිවාදිතයි. ශ්‍රේණිගත කීරීම් වලට අනුව මෙය වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් ලෙස ලැයිස්ති ගතවී ඇත්තේ. එය අත්‍යන්තයෙන්ම විය යුත්තක්. අතිභයානයක හිංසනය, කාමුක දර්ශන සහ නිරුවත් රැඟුම් මේවා සියල්ලම අඩු වැඩි ආකාරයෙන් තියෙනවා. එහෙත් මා පුද්ගලිකව සිතන්නේ මේ චිත්‍රපටය සියල්ලන්ම නැරඹියයුතු චිත්‍රපටයක් ය කියලයි, මෙහි අඩංගු වන විවිධාකාරයේ ලිංගික දර්ශන වලින් උලුප්පන්නේ තුට්ටු දෙකේ කාමුකත්වයක් නොව මනුසත්කම අමනුස්ස කමට යටවූ කල මනුසත්කමේ මරණය සිදුවන ආකාරයයි. ඉතින් එය පෙන්වන්නට මීට වඩා වැදගත් ආකාරයක් තිබේද යන්න මට ගැටලුවක්. කිසිවෙකු මෙය එහි අඩංගුවන කාමුකත්වය අත්විඳින්නට පමණක් නරඹනවා නම් ඔහු/ඇය සිය මානසික සෞඛ්‍යතාව යහපත් ආකාරයෙන් තිබේද යන්න වෛද්‍යවරයෙකුගෙන පරික්ෂා කරගැනීම වැදගත්.

හැඟුම් බර චිත්‍රපටයක, සෑම චරිතයක්ම, සෑම දර්ශනයක් ම, සෑම අදියුරු පෙළහරක්ම පවසන්නේ එහි ඇති සංවේදී තාවයයි. එජයිඕෆෝ පමණක් නොව ෆස්බෙන්ඩර්, න්‍යොංගෝ මේ සියල්ලන් ම චිත්‍රපටයේ අද්විතීය බවේ කොටස් කරුවන්. හොඳම සහය නිළිය ලෙසත්, හොඳම චිත්‍රපටය ලෙසත් ඔස්කාර් සම්මාන ලබන්නත්, හොඳම නලුවාට නාමයෝජනා වන්නටත් සැලසීම තුලින් චිත්‍රපටය පිළිබඳව සෑහෙන අදහසක් ගන්නට අපහසු නැති බව මගේ අදහසයි.


හිතූ තරම් නොදැනුන Eat Pray Love

මම කියන චරිතය පදනම් වෙන්නේ කාරණා තුනක් මතයි.., රස කෑම, පොත්, සංචාර මේ තුන ගැන හිතේ මොන තරම් ආසාවක් තිබුනත් රසකෑම, පොත් සඳහා කාල වේලාව වෙන් කරන්නට ඉඩ තිවුනත්, සංචාර සඳහා නම් වෙන් කරන්නට කාලයක නොතිබුන තරම්. අත්හදාබැලීම්, සංකල්ප, ඒ මතින් වන ජීවිත හැඩ ගැස්වීම් වගේ දේවල් මගේ මනසට එකතු කරන්නේ හරිම පූර්වයක්. මගේ හොඳ හිත මිතුරන් දෙදෙනෙකු වන පැතුම් සහ බෝමන් එක්ක එකකට එකක් වෙනස් අවස්ථා දෙකකදී කතා කරමින් ඉඳීද්දී කියාපු දෙයක් තමා කෑම ගැන තියෙන ෆිල්ම්ස් බලනවා නම් උඹ අනිවාර්යයෙන් ම julie & julia සහ eat pray love කියන චිත්‍රපටි දෙක බලපන් කියන එක. මම julie & julia බැලුවා. මේ ලඟදී ආපහු පරන ෆිල්ම් ටික බලනකොට ආපහු මතක් උනා මම eat pray love බලලා නෑ නේද කියලා.., මේ කෙටි සටහන වෙන් වන්නේ ඒ මතක් වීම ආපහු අමතක නොවන්නට බ්ලොග් ගතවීම වෙනුවෙන්. :)

එලිසබෙත් ගිල්බර්ට් ගේ අලෙවි වාර්ථා තැබු මේ නිබන්දනය චිත්‍රපටයට නැගුණු විට එහි රඟපාන්නට යෙදුනේ ජුලීයා රොබර්ට්ස් [එලිසබෙත් ගිල්බර්ට්ගේ චරිතය "ලිස්"] ප්‍රධාන චරිතය ලෙසත්, ජේම්ස් ෆ්‍රැන්කෝ, වයෝලා ඩේවිස්, හ්වියෙර් බර්ඩෙම් සහ අති දක්ෂ අතිරේක රංග ශිල්පීන් කැලක් විසින්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ, සම තිර රචනය කලේ රයන් මර්ෆි විසිනුයි.
[ඔහු හා ජෙනිෆර් සෝල්ට් සමඟින් එක්ව ඇමෙරිකන් හොරර් ස්ටෝරි ටෙලි කතාවේ කථාංග ගණනාවක් රචනා කර ඇති බව එහි නම් පෙළ සැලකිල්ලෙන් බලා ඇතිනම් ඔබට වැටහේවි.]

සිය විවාහය තුල තමන් සිටින්නේ අසතුටින් බව පසක් කරගන්නා එලිසබෙත්, සිය වේදනා කාරී වූ දික්කසාදය සහ නැවත ඇති වන අස්ථීර සබඳතා පිළිබඳව වන කලකිරීම විසින් ඇයව සිය සිත සමනය කරගැනීම සඳහා සංචාරයේ යෙදීම කල යුතු බව කල්පනා කරනවා. වසරක කාලයක් ඇතුලත රෝමය, ඉන්දියාව සහ අවසානයේ බාලි දූපත් තුල ඈ විසින් අතීත දශක කිහිපය තුල තමන් හට අහිමි වූ තමන්ව සොයා ගන්නට දරන උත්සහය අප ඉදිරියේ තබන්නේ අති සුන්දර මතකයක්. එහෙත් චිත්‍රපටයක් ලෙස අපට අදියුරුවේ සහ අනෙකුත් අංශ වල පෙනෙන්නට ඇති වෙනස්කම් [අඩුපාඩු?] මේ සටහන තුල ලියා තබා හිත සමනය කරගන්නට මට අවැසියි.
Liz in India

නම සහ ප්‍රචාරණය තරමටම සහ පොතෙන් ලැබූ ජනතා ප්‍රසාදය චිත්‍රපටයට ලැබී නැති බවයි මගේ නම් අදහස. වෙනත් විදියකින් කියනවා නම් චිත්‍රපටය බලන්නට ගෙන ටික වෙලාවක් යනවිට මට සිතෙන්නට ගත්තේ මේක මම හිතුව තරමට ම නෑ නෙව කියලයි. ආදර්ශමත් සහ ජීවිතය ආලෝකමත් කරන තාලයේ චිත්‍රපටයක් කියා සිතුවත් සරළ විනෝදයක් සමඟ තුටු අවසානයකින් යුතු සාමාන්‍ය කතාන්තරයක් බවයි මගේ හැඟීම. කෙටියෙන් කියනවා නම් බලාපොරොත්තුවේ තරමට චිත්‍රපටය උස නෑ කියලයි මට හිතෙන්නේ.  
නාට්‍යමය ස්වාභාවයක් සහිතව එළි දකින් මේ කතාව තුල කාලය කියන සාධකය අප වෙත උලුප්පා දක්වන්නට බල කරන්නේ නෑ.., එහෙම කියන්නට හේතුව වුනේ මම මේක බලනකෝ මට මේක 1990 දශකයටත් ඒ වාගේම වර්තමානයටත් ආදේශ කරන්න පුලුවන්. ඊට අමතරව අතීත මතකයන් නිසා පීඩාවට පත්ව හිඳින කාන්තාවක තමන් ලද අවස්ථාවලින් සතුට නම් සංකල්පය ආහාර, අධ්‍යාත්මික කැප කිරීම් සහ ආදරය තුලින් දිනා ගන්නට උත්සහ කිරීම් වගේ දේවල්, අපට දකින්නට වර්තමාන අප[මම] ජීවත්වන සමාජය [සාමාන්‍ය ලාංකික සමාජය] තුල සුලභ නැති වුවත් මේ චිත්‍රපටය බලත්දී මෙහෙම දේවලුත් වෙනවා ඇති තමා කියලා හිත සනසා ගන්න වෙනවා.
මේ චිත්‍රපටය තැනීමේදී සත්‍ය ජීවමාන චරිතයක ආදර්ශ තුලින් පබැඳුනු කතාවක නිසා එහි හැඟීම් දැනවීම් සහ ප්‍රධාන චරිතයේ හැසිරීම් වලදී සත්‍ය චරිතයේ තොරතුරු පාදක කරගන්නට උත්සහ දැරීම පිළිබඳව එකඟයි එහෙත් වෙනත් චිත්‍රපට වලදී අපි ජුලීයා රොබර්ට්ස් තුලින් දුටු රඟපෑම් නොවේ මෙහි ඇත්තේ. උණුසුම් තුටුපහටු හැඟීම් දැනවිය යුතු අවස්ථාවල රොබර්ට්ස් සිටින නිහඬ ආකාරය සහ විවාහය අත හැරෙමේ අවපීඩිතය ඕනෑවට වඩා පෙන්නුම් කිරීම තුලින් චිත්‍රපටයට හානියක් වූ බව මට හිතෙනවා. විශේෂයෙන් ම ප්‍රධාන චරිතය එසේ හැසිරෙන අවස්ථාවකදී. 

නිදසුනක් ලෙස චිත්‍රපටයේ එක දර්ශනයක් තීබෙනවා ප්‍රශංසා කිරීමේ දිනයේ සංවිධානය කල දිවා අහාරයක දී එලිසබෙත් සියලු දෙනාට මේ සුන්දර අවස්ථාවේදී පැමීණ ඔවුන් හා එකතු වීම පිළිබඳව ප්‍රශංසා කරනවා, එනමුත් ඇය ඒ ප්‍රශංසාව කරන්නේ අවට සිටින සංවාදයේ යෙදී සිටින පෙම්වතුන් දෙස බලා චින්තාපරවයි.   

සිනමාකරණය තුලද නේපල්ස්, ඉන්දියා තුල රූ ගත කරන ලද දර්ශන ඉතා සුන්දරව තිබුනත් ඒ සුන්දර බව බාලි වල කොටස් වලදීත් පෙන්නුම් කලා නම් අගේය කියන හැඟීම මට දැනුනා. ඒ කියන්නේ අර නේපල්ස් සහ ඉන්දියාවේ ඇති වර්ණවත් උණුසුම් බව බාලිවලදී නොමැති වීම තදින් දැනුනා. සමහර විට ලිස් ගේ ආදරය ශිශිරතාරක නින්දේ ඇති බව පෙන්වන්නට උවමනා වූවාද දන්නෑනේව. ඒත් ඒක එක එක්කෙනාට වෙනස් ඇති. අපි වගේ දුහුණන්ට එහෙම දැනුනට. හැබැයි එකක් ඒවා වූඩීගේ to rome with love චිත්‍රපටයට වඩා නම් අනර්ඝයි. ;)

අවංකවම එක දෙයක් කිවිය යුතු වෙනවා, ඔබ චිත්‍රපටයේ අතිරේක පෙදෙස් ගැන වද වෙන්නේ නැති නම් eat prey love යනු ඔබට හොඳින්ම රස විඳින්නට හැකි චිත්‍රපටයක්, ඒකේ දෙකක් නෑ. ප්‍රධාන චරිත අර විදියට හැසිරුනාට ඔබට හොඳ සුන්දර සහ අපූරු චරිත කිහිපයක් ම මෙහි දැකගන්නට පුලුවන්.., ෆෙලිපේ [හ්වියෙර් බෝර්ඩෙම්] රිචර්ඩ්[රිචර්ඩ් ජෙන්කින්ස්] සහ කෙටුට් ලියාර් [හදී සුබියන්තෝ]ඒ අතරින් මගේ වඩාත්ම සිත්ගත් චරිතයි.  

Help : Google


Dolce Far Niente - කිසිවක නොයෙදීමේ මිහිරියාව

ඌණ සාධකව සිනමා කරණයේ ගැටලු තිබ්බත් සංස්කෘතීන් වල වෙනස පෙන්වාදෙන ආකාරය අති ආකාර්ශනීය බව කිව යුතුමයි. නිදසුනක් ලෙස රෝමය හා බාලි අතර සංස්කෘතිකමය වෙනස, ඊට අමතරව ඉතාලියානුවන් අතර පවතින දොල්චෙ ෆර් නියන්තේ නැතිනම් කිසිත් නොකිරීමේ මිහිරියාව නැතිනම් අලසසුවය පිළිබඳව පවසන අවස්ථාවන් කතාවට නව අරුතක් ගෙන දෙන බව මට සිතෙනවා.  සිතූ තරමට ප්‍රබෝධමත් නොවූවත්, විටෙක ඔබට එය ප්‍රීතිය දනවන්නක් විය හැකියි. ඒ සංවේදනාව දැනෙන්නට ඉඩ ඉතුරු වී ඇත්තේ තවමත් මා නොකියවූ ඒ එලිසබෙත්ගේ පොත තුලින් පමණයි., ඒ නිසා චිත්‍රපටය බලන්න..! හැකිනම් ඊට කලින් පොත කියවන්න..


සියලු රහස් හෙළි වූ කල සළුවෙන් පල කිම..?



යම් රටක රජය විසින් ජනතාව විසින් ලබාදුන් බලය ජනතාවට ම එරෙහිව අයුතු ලෙස භාවිතා කරන කල එය ඊට සම්බන්ධව සිටින්නන්ගේ පුද්ගලිකත්වයේ පාදමේ ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ඇලෙක්ස් ගිබ්නේ ගේ නිර්මාණයක් වන "We Steal Secrets: The Story of WikiLeaks" අප වෙතට ඉදිරිපත් කරන්නේ ඒ අනිසි බල භාවිතයට තුඩු දෙන මහ මොළකරුවාගේ බල තන්හාවේ පරිමිතියයි.  එහෙත් මේ චිත්‍රපටය ජූලියන් ඇසෑන්ජ් වෙත පක්ෂග්‍රාගී වී නොමැති තරමටම ඇසෑන්ජ් ව සමාන කර ඇත්තේ අදිසි දුෂ්ඨයෙකුගේ මානයටයි. එහෙත් වීරයෙකු නැති චිත්‍රපටයක් තුල වීරයෙකු විය යුත්තේ කවුරුන්දැයි අපට කල්පනා කරන්නට ඇලෙක්ස් ගේ මේ ආන්දෝලනයට තුඩු දෙන නිර්මාණය අප වෙතට බලකර සිටිනවා.

We Steal Secrets ආරම්භයට ප්‍රවේශය ගන්නේ නාසා ආයතනය වෙතට ගැලීලීයෝ යානාව අභ්‍යාවකාශගත කිරීම අතරතුර දී වූ හැකර් ප්‍රහාරයක් පිළිබඳව කියමිනුයි. උක්ත සිදුවීම සමහර විටෙක තරුණ ඇසේන්ජ්ගේ සම්බන්ධයක් ඇති/නොමැති වන්නට ඉඩ ඇතත්, එය උලුප්පා දක්වන්නේ හැකර් කණ්ඩායම, පෙනී සිටින්නේ ඕස්ට්‍රේලියානු රොක් ගායක කණ්ඩායමක ගීතයක් වන "You talk of times of peace for all, and then prepare for war." යන පා‍ඨය සිය උදෘතය කරගනිමිනුයි. ඉන්පසුව මේ වේගී ප්‍රස්ථාවනාවට පසුව චිත්‍රපටය තුල සිය ප්‍රධාන සැලකිල්ල දක්වන්නේ විකීලීක්ස් හී ආරම්භය සහ අවසානය මෙන්ම ඇසෑන්ජ් ගේ ආරම්භය සහ අවසානය  නිරූපනය කරමිනුයි.

 "We Steal Secrets" තුල ඇසෑන්ජ් ගේ (මාධ්‍ය තුලින් අප දැක නොසිටි ආකාරයේ) අදහසක් නරඹන්නා වෙතට ලබා දෙන්නට උත්සහ කරනවා කීවොත් වැරදි නැහැ. එහිදී ඇසෑන්ජ් විසින් අඳුරේ දිදුලන සත්‍යයට ආලෝක කදම්බ ජනිත කරවන උත්තරීතර මානව ප්‍රේමීයාගේ රූපය නිරූපණය කරන බවක් පෙන්වා දුන්නත්, එහිදී සත්‍ය වශයෙන් ම සිදුවී ඇත්තේ අවට සැඟවී ඇති අදහස් සහ කාරණා සිය වාසියට හරවාගෙන එයට මනුෂ්‍යයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස නිර්වචන ගත කෙරීම මඟින් අවට අවධානය සහ සිය ක්‍රියාවන් වලින් කෝප ගැන්වෙන පාර්ශව විසින් ක්‍රියාවට නංවන කවරාකාරයේ ක්‍රියාවකින් වුව සිය ආරක්ෂාවට අගතියක් වන්නේයැයි කීමයි. උක්ත හේතුව නිසාම ඇසෑන්ජ් විසින් මේ චිත්‍රපටය සිය නාම සහ විකීලීක්ස් පිළිබඳව ලොව පුරා ඇති චිත්‍රය විනාශ කරන්නක් බවට චෝදනා කරන්නට පවා ක්‍රියා කලා.

මෙයට අමතර චිත්‍රපටය තුල ඇති ඇසෑන්ජ් වෙත ඇති ලිංගික අඩන්තේට්ටම් චෝදනාවන් පවා අධිකරණය තුල කතා බහට ලක්වෙන අවස්ථාවකදී මේ චිත්‍රපටය එළි දැකීම තවත් ආකාරයක් ආන්දෝලනය දේශපාලන ලෝකය තුල ඇති කලා.., ඇසෑන්ජ්ගේ පාර්ශවයේ නීතීඥයින් පෙන්වා දෙන්නේ සිය සේවාදායකයාට ඒ මඟින් අසාධාරණයක් සිදු කර ඇති බවයි.., නමුත් මේ වනවිට චිත්‍රපටය නිකුත්වී අවසානයි.
රූපයේ බොඳ කර ඇත්තේ ඇසෑන්ජ් අතින්
අතවරයට ලක්වූ කාන්තාවන් දෙදෙනායි


කෙසේ වුවත් මේ චිත්‍රපටය තුල නම්කිරීම තුල වන අසාර්ථක වීම් කිහිපයක් අපට හඳුනා ගන්නට පුලුවන් ඉන් එකක් තමයි, "we steal secrets" නමින් වූ නාමකරණ පිරියම මගින් චිත්‍රපටයේ ඇතුලාන්තය පිළිබඳව නිශ්චිත අදහස ගන්නට ප්‍රේක්ෂකයාට නුපුලුවන් වීම. ඒ වාගේම ඒ මඟින් කතාව සාධක මත පදනම් නොවී සමාජයේ පවතින කතාන්දර මතින් ගලායන්නක් බව පෙනීම ඒ අතරින් විශේෂ වනවා. කෙතරම් හොඳ චිත්‍රපටයක් වුවත් එහි නමින් ප්‍රේක්ෂකයා තුල සාධනීය චිත්‍රයක් මැවෙන්නේ නැතිනම් එහි ජනයාගේ ප්‍රියතාවය ලැබීම බිඳුවකින් හෝ ඌන වන බව නියතයක්.

චිත්‍රපටය තුලින් දායානුකම්පිතව බලනා එකම එක චරිතය ඔබ චිත්‍රපටය නරඹත්දී හඳුනා ගන්නට ලැබේවි. ඒ ඇසෑන්ජ් ගේ චරිතය හා සාමාන්තරව ම වාගේ දිවෙන චෙල්සියා එලිසබෙත් මෑනිං [පෙර බ්‍රැඩ්ලි එඩ්වර්ඩ් මෑනිං] නමැත්තියගේ [නැමැත්තිය ලෙස හඳුන්වන්නට හේතුව මේ සබැඳියෙන් දැනගත හැකිවේ] චරිතය. චිත්‍රපටය තුල චෙල්සියාව මවන්නේ රජයේ නීති පද්ධතිය සහ සිය හෘදය සාක්ෂිය තුල වූ නීති පද්ධතිය අතරට වී මානසිකව පීඩාවට පත්වන, සහ නිරතුරුවම තමා අයිති වන්නේ කුමන කුලකයකටදැයි නිරන්තරයෙන් කල්පනාවට භාජනය කල කෙනෙකු ලෙසට බවයි මගේ අදහස. නමුත් ඇත්ත වශයෙන්ම
බ්‍රැඩ්ලි/චෙල්සියා මෑනිං ලිංග විපර්යාසයට බඳුන් වීමට පෙර හා පසු
තමා හමුදාවේ සිටිත්දී ඒ අතරම විකීලීක්ස් වෙත රහසිගත තොරතුරු නිකුත් කිරීම වැනි කාරනා උලුප්පා පෙන්වූවත් ඔහු රහස් හෙළිකරන්නෙකු සහ ද්‍රෝහියෙකු යන කැටගරි දෙක අතරම දෝලනය කර නරඹන්නාට ඒ පිළිබඳව තීරණය කරන්න ඉඩදීම චිත්‍රපටයේ විශේෂත්වයක්. නමුත් ඒ සමඟම අප දෙපාමුලට ඉදිරිපත් කරන ආණ්ඩුවක විනිවිද භාවය පිළිබඳව නැවත වරක් බලකරන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ සාපේක්ෂ සාධාරණය පිළිබඳ ඔබ සතුව ඇති නිගමනය පිළිබඳව නිදහසේ සිතන්නට ඉඩ ප්‍රස්ථා ඇතිකරමිනුයි.



ඇලෙක්ස් ගිබ්නේ යනු ප්‍රතිභා පූර්ණ සිනමාකරුවෙක්, ඔහු සිය නිර්මාණය තුලදී වෙනත් වාර්ථාචිත්‍රපට වල පවතින වියලි ස්වභාවයට වඩා හෘදයාංගම බව වඩවන ආකාරයෙන් සිය පාදක චරිත හඳුන්වාදීම ඉතාම ප්‍රගතිශීලී ආකාරයෙන් පෙන්වාදෙන්නට පුලුවන්.., තොරතුරු වල සත්‍යභාවය පෙන්වන චිත්‍රප‍ටයක් වුවත් එකම එකම කාරණා වටා බොහෝ වාරයක් කැරකීම නිසාවෙන් ඔහුට පෙන්වාදෙන්නට තිබූ කරුණු කාරණා බොහොමය අතහැරී ගිය වගයි මගේ අදහස. සියලු පාදක කාරණා වලට එකම බර නොතබා. වෙන වෙනම හඳුන්වාදීම් කර චිත්‍රපටය ගලන්නට ඉඩ දුන්නේ නම් එය සිනමාත්මක අතින් සාර්ථකවනවාට කිසිඳු සැකයක් නැති බවට මෙන්න කැට.


Blue Jasmine හෙවත් ඇලන් නිසා පලුදු වූ හිත සුවපත් කර ගැනීම.

Poster

වූඩී ඇලන් නව චිත්‍රපටයක් සමඟින් නැවතත් අප අතරට පැමිණිලා.., වසර ගණනාවක යුරෝප නිවාඩුව නිමාකර නැවතත් එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැසිස්කෝවට ආවයි කියලා කියන්නට හේතුවුනේ නම් ඇලන් මෙයට පෙර අවස්ථාවල අධ්‍යක්ෂණය කල To Rome with Love, Midnight in Paris, You Will Meet a Tall Dark Stranger, සහ Vicky Cristina Barcelona යන සියලුම චිත්‍රපට සියල්ලටම පාහේ පාදකවී ඇත්තේ යුරෝපය වීම. ඊටත් අමතරව ඇලන්ගේ ප්‍රියතම රූගත කිරීමේ නගරය වූ නිව්යෝර්ක් නගරය සහ පෙර කියූ ආකාරයට සැන්ෆ්‍රැන්සිස්කෝව ද පාදක කරගෙන නිමැවී ඇති මේ චිත්‍රපටය නමින් Blue Jesmine.

හෂිත අයියා හදිසියේ දුන් යොමුවකින් බලන්නට සිත් වූ To Rome with Love නිසා ඇලන් පිළිබඳව වූ පලුදු වූ සිත, Blue Jesmine තුලින් සෑහෙන දුරකට සුවපත් කරගන්නට පුලුවන් කම ලැබෙනවා. මෙහෙම හේතු වන එක කාරණාවක් තමා ඇලන්ගේ චිත්‍රපට සැලකිල්ලෙන් බලනා කෙනෙකුට [මෙහෙම කිව්වට මමත් බලලා තියෙන්නේ චිත්‍රපටි කීපයයි ;)]ඔහු භාවිතා කරන සිනමා රීතින් සහ ඒවායේ කාලීනව වන දියුණුව කියන කාරණාව සහ චිත්‍රපටයේ ප්‍රධාන නිළි කේට් බ්ලැන්චෙට්ව හැසිරවීමෙන් ඇලන් ප්‍රකට කරන ප්‍රවීණත්වය කියන කාරණාවන්.

අවුරුදු ගණනාවකින් පසු[මටනම් LOTR වලින් පසු] කේට් දැනෙන්න රඟපෑව කියලා කියන්න පුලුවන් උනේ මේ Blue Jesmine චිත්‍රපටයේ තමා. මේකට හේතු වෙන්නේ ඇත්තේ ඇලන්ගේ තිරරචනා කිරීමේ සහ අධ්‍යක්ෂණය කිරීමේ හැකියාව වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. මොකද ඔහු සාමාන්‍යයෙන් වසරකට එක චිත්‍රපටය ගානේ පසුගිය දශක කිහිපයේම කල් ගෙව්වා කියන කාරණාව නිසා යම් නලුවෙකු හෝ නිළියකගෙන් සිය නිර්මාණයට අවශ්‍ය කුමනාකාරයක සවියක්ද කියන කාරණාව සොයාගනීම සඳහා වූ හැකියාව ඇලන් තුල නිසඟයෙන්ම පිහිටා ඇතැයි කියලා මම කල්පනා කරනවා. නිදසුනක් විදියට Blue Jesmine චිත්‍රපටයේ උනත් බ්ලැන්චෙට් රඟන චරිතයට ආවේනික වූ හඬක් අප නොදැනිම අපේ හිත් වලට දැනෙන්න ඉදීරිපත් කරන්න ඇලන් මේ චිත්‍රපටයෙන් දක්ෂ උනා කියලයි මට හිතෙන්නේ.

Ginger & Husband with Jasmine & Hal
කතාව ගලාගෙන යන්නේ ඉතාමත් ම අපූරු ආකාරයටයි, ජැසිමින් [කේට් බ්ලැන්චෙට්] කියන්නේ නිව්යෝර්ක් නගරයේ ජීවත් වන ධනවත් සමාජසේවිකාවක්. ඈ එසේ සිය සමාජ සත්කාර කරගෙන යන්නේ සිය කුවේර සැමියා වන හැල් [ඇලෙක් බෝල්ඩ්වින්]ගේ නොමසුරු සහයෝගය මැද්දෙයි. මෙසේ ගලායන ජීවිතය ට අඳුරක් එක්වන්නට වැඩි කලක් යන්නේ නැහැ. වංචා සහගත විදියට ආයෝජන සඳහා මුදල් යෙදවීම යන චෝදනාවට වැරදිකරු වී හැල්, ජැස්මින්ගේ සැමියා FBI අත්අඩංගුවට පත් වනවා. මේත් සමඟම මූල්‍ය අර්බුධවලට මුහුණ දෙන ජැස්මින් සැමියාගේන් වෙන්ව සිය සොයුරිය ජින්ජර් [සැලී හෝකින්] වෙතට එනවා. මේ කතාවේ සරළ හරස්කඩයි. නමුත් කතාව ආරම්භ වන්නේ ජැස්මින් ගේ වර්ථමානය එනම් කිසිවක් කරකියාගන්නට නොහැකිව සිය සොයුරියගේ උදවු ඉල්ලා නිව්යෝර්ක් සිට සැන්ෆ්‍රැන්සිස්කෝව බලා එන තැන සිටයි.
Jasmin [Cate Blanchett]

කතාව වර්ථමානයෙන් ආරම්භ වුවත් වරින් වර කතාව අතීතය සිදුවීම හා සම්බන්ධ වන ආකාරය හරිම ඉතා සිත්ගන්නා සුලුයි. සිය සැමියාගේ වංචාසහගත සහ කාන්තාලොලී ක්‍රියාකලාපය නිසා මානසික බිඳවැටීමකට ලක්වන ජැස්මින් ගේ තත්ත්වය ඛේදනීය ආකාරයෙන් ඇලන් නරඹන්නා ඉදිරියේ තබනවා, ග්‍රොසරියක රැකියාව කරනා ජින්ජර් එනම් ජැස්මින්ගේ සොයුරිය හාද වී සිටින්නේ චිලී [බොබී කැනවේල්]නමැති කාර්මිකයෙකු සමඟිනුයි. ජැස්මින් විසින් ජින්ජර්ගේ නිවසට පැමිණීමත් සමඟම ජැස්මින්ගේ කුවේර අතීතය සහ වර්ථමාන දුඛාන්තය අතර නිරන්තරයෙන් නරඹන්නා දෝලනය කරන ආකාරය ඉතා විශිෂ්ඨ බව නම් කිවයුතුමයි. උසස් සමාජයේ කෙනෙකු තුලින් වසර කිහිපයකට කලින් තමා වින්දනය කල කුවේර ජීවිතය නැවතත් ලබාගන්නට ජැස්ම්න් දරණා වැරය පිටතින් බලනා විට විටෙක සිනහා උපදවන සුලු වුවත් කාන්තාවක් එවන් අවස්ථාවකදී කොතරම් අසරණ වනවාද, දෙවිය කෙනෙකුගේ ජීවිතය හා මොනතරම් දරුණු ආකාරයට කෙළිලනවාද කියන කාරණාව චිත්‍රපටය බලන කාලාන්තරය පුරාම මගේ හිතට වද දෙන්නට වූ සිතුවිල්ලක්. 

Director Woody Allen with Alec Baldwin [Hal]
එක් අයෙකු වටා ගොඩ නැගුණත්, විවිධ ධාරා අතර දෝලනය වන ගතිගුණ සංයුතියකින් යුතු වන ජැස්මින්ගේ චරිතය, තමා වටා ගැවසෙන චරිතවලට හඬක් දෙන්නට තරම් බලවත්ව ගොඩ නැගෙනා තරම්. අනෙක් අතට මම මෙතෙක් නරඹා තිබෙන ඇලන්ගේ චිත්‍රපටි කිහිපය තුලදී අපට බඩ අල්ලගෙන පුටුවලින් වැටී සිනාසෙන්නට හේතු ඇති නොකරන නමුත් පසෙකට වී නිස්කාංසුවේ සිනහා වන්නටත්  එහෙමත් නැතිනම් අනුකම්පාව උපදවාගන්නටත් ඕනෑ තරම් හේතු උත්පාදනය කරනා බව කිව යුතුම දෙයක්. බ්ලැන්චෙට් විසින් රඟපාන ජැස්මින්ගේ චරිතය තුලත් මම ඉහත කියූ සංවේදනා ඔබ්බවා තීබෙන බව ඔබ Blue Jesmine නැරඹුවා නම් ඔබට දැනෙන බව මා එක හෙළාම කියනවා.  මෙන්න මේ හේතුවම මා සිතනා ආකාරයට චිත්‍රපටයේ සාර්ථකත්වට සහ චිත්‍රපටයේ සරළවත් ඇතුලාන්තය බලන්නාට ගැඹුරිනුත් වින්දන කරවීමට මහඟු හේතුවක් ලෙස පෙන්වා දෙන්නට පුලුවන්. 

ඇලන්ගේ විශේෂත්වය එයයි. අප ඇලන්ගේ සිනමා නිර්මාණ බලා සිනහාසෙන්නේ ඔහු ජීවිතය දෙස හෙළනා උපහාස සිනහාවක් ඇතුලින් බව අපට දැනෙන්න ගන්නකොට අප ඇලන්ගේ රසිකයින් වී අවසන්. 
වුඩී ඇලන් යනු ලෝක සිනමාවේ ශානරයක් [genre] ලෙසින් සිනමා විචාරකයින් සහ රසිකයින් හඳුන්වන්නේ අන්න ඒ නිසයි.