හිතූ තරම් නොදැනුන Eat Pray Love

මම කියන චරිතය පදනම් වෙන්නේ කාරණා තුනක් මතයි.., රස කෑම, පොත්, සංචාර මේ තුන ගැන හිතේ මොන තරම් ආසාවක් තිබුනත් රසකෑම, පොත් සඳහා කාල වේලාව වෙන් කරන්නට ඉඩ තිවුනත්, සංචාර සඳහා නම් වෙන් කරන්නට කාලයක නොතිබුන තරම්. අත්හදාබැලීම්, සංකල්ප, ඒ මතින් වන ජීවිත හැඩ ගැස්වීම් වගේ දේවල් මගේ මනසට එකතු කරන්නේ හරිම පූර්වයක්. මගේ හොඳ හිත මිතුරන් දෙදෙනෙකු වන පැතුම් සහ බෝමන් එක්ක එකකට එකක් වෙනස් අවස්ථා දෙකකදී කතා කරමින් ඉඳීද්දී කියාපු දෙයක් තමා කෑම ගැන තියෙන ෆිල්ම්ස් බලනවා නම් උඹ අනිවාර්යයෙන් ම julie & julia සහ eat pray love කියන චිත්‍රපටි දෙක බලපන් කියන එක. මම julie & julia බැලුවා. මේ ලඟදී ආපහු පරන ෆිල්ම් ටික බලනකොට ආපහු මතක් උනා මම eat pray love බලලා නෑ නේද කියලා.., මේ කෙටි සටහන වෙන් වන්නේ ඒ මතක් වීම ආපහු අමතක නොවන්නට බ්ලොග් ගතවීම වෙනුවෙන්. :)

එලිසබෙත් ගිල්බර්ට් ගේ අලෙවි වාර්ථා තැබු මේ නිබන්දනය චිත්‍රපටයට නැගුණු විට එහි රඟපාන්නට යෙදුනේ ජුලීයා රොබර්ට්ස් [එලිසබෙත් ගිල්බර්ට්ගේ චරිතය "ලිස්"] ප්‍රධාන චරිතය ලෙසත්, ජේම්ස් ෆ්‍රැන්කෝ, වයෝලා ඩේවිස්, හ්වියෙර් බර්ඩෙම් සහ අති දක්ෂ අතිරේක රංග ශිල්පීන් කැලක් විසින්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ, සම තිර රචනය කලේ රයන් මර්ෆි විසිනුයි.
[ඔහු හා ජෙනිෆර් සෝල්ට් සමඟින් එක්ව ඇමෙරිකන් හොරර් ස්ටෝරි ටෙලි කතාවේ කථාංග ගණනාවක් රචනා කර ඇති බව එහි නම් පෙළ සැලකිල්ලෙන් බලා ඇතිනම් ඔබට වැටහේවි.]

සිය විවාහය තුල තමන් සිටින්නේ අසතුටින් බව පසක් කරගන්නා එලිසබෙත්, සිය වේදනා කාරී වූ දික්කසාදය සහ නැවත ඇති වන අස්ථීර සබඳතා පිළිබඳව වන කලකිරීම විසින් ඇයව සිය සිත සමනය කරගැනීම සඳහා සංචාරයේ යෙදීම කල යුතු බව කල්පනා කරනවා. වසරක කාලයක් ඇතුලත රෝමය, ඉන්දියාව සහ අවසානයේ බාලි දූපත් තුල ඈ විසින් අතීත දශක කිහිපය තුල තමන් හට අහිමි වූ තමන්ව සොයා ගන්නට දරන උත්සහය අප ඉදිරියේ තබන්නේ අති සුන්දර මතකයක්. එහෙත් චිත්‍රපටයක් ලෙස අපට අදියුරුවේ සහ අනෙකුත් අංශ වල පෙනෙන්නට ඇති වෙනස්කම් [අඩුපාඩු?] මේ සටහන තුල ලියා තබා හිත සමනය කරගන්නට මට අවැසියි.
Liz in India

නම සහ ප්‍රචාරණය තරමටම සහ පොතෙන් ලැබූ ජනතා ප්‍රසාදය චිත්‍රපටයට ලැබී නැති බවයි මගේ නම් අදහස. වෙනත් විදියකින් කියනවා නම් චිත්‍රපටය බලන්නට ගෙන ටික වෙලාවක් යනවිට මට සිතෙන්නට ගත්තේ මේක මම හිතුව තරමට ම නෑ නෙව කියලයි. ආදර්ශමත් සහ ජීවිතය ආලෝකමත් කරන තාලයේ චිත්‍රපටයක් කියා සිතුවත් සරළ විනෝදයක් සමඟ තුටු අවසානයකින් යුතු සාමාන්‍ය කතාන්තරයක් බවයි මගේ හැඟීම. කෙටියෙන් කියනවා නම් බලාපොරොත්තුවේ තරමට චිත්‍රපටය උස නෑ කියලයි මට හිතෙන්නේ.  
නාට්‍යමය ස්වාභාවයක් සහිතව එළි දකින් මේ කතාව තුල කාලය කියන සාධකය අප වෙත උලුප්පා දක්වන්නට බල කරන්නේ නෑ.., එහෙම කියන්නට හේතුව වුනේ මම මේක බලනකෝ මට මේක 1990 දශකයටත් ඒ වාගේම වර්තමානයටත් ආදේශ කරන්න පුලුවන්. ඊට අමතරව අතීත මතකයන් නිසා පීඩාවට පත්ව හිඳින කාන්තාවක තමන් ලද අවස්ථාවලින් සතුට නම් සංකල්පය ආහාර, අධ්‍යාත්මික කැප කිරීම් සහ ආදරය තුලින් දිනා ගන්නට උත්සහ කිරීම් වගේ දේවල්, අපට දකින්නට වර්තමාන අප[මම] ජීවත්වන සමාජය [සාමාන්‍ය ලාංකික සමාජය] තුල සුලභ නැති වුවත් මේ චිත්‍රපටය බලත්දී මෙහෙම දේවලුත් වෙනවා ඇති තමා කියලා හිත සනසා ගන්න වෙනවා.
මේ චිත්‍රපටය තැනීමේදී සත්‍ය ජීවමාන චරිතයක ආදර්ශ තුලින් පබැඳුනු කතාවක නිසා එහි හැඟීම් දැනවීම් සහ ප්‍රධාන චරිතයේ හැසිරීම් වලදී සත්‍ය චරිතයේ තොරතුරු පාදක කරගන්නට උත්සහ දැරීම පිළිබඳව එකඟයි එහෙත් වෙනත් චිත්‍රපට වලදී අපි ජුලීයා රොබර්ට්ස් තුලින් දුටු රඟපෑම් නොවේ මෙහි ඇත්තේ. උණුසුම් තුටුපහටු හැඟීම් දැනවිය යුතු අවස්ථාවල රොබර්ට්ස් සිටින නිහඬ ආකාරය සහ විවාහය අත හැරෙමේ අවපීඩිතය ඕනෑවට වඩා පෙන්නුම් කිරීම තුලින් චිත්‍රපටයට හානියක් වූ බව මට හිතෙනවා. විශේෂයෙන් ම ප්‍රධාන චරිතය එසේ හැසිරෙන අවස්ථාවකදී. 

නිදසුනක් ලෙස චිත්‍රපටයේ එක දර්ශනයක් තීබෙනවා ප්‍රශංසා කිරීමේ දිනයේ සංවිධානය කල දිවා අහාරයක දී එලිසබෙත් සියලු දෙනාට මේ සුන්දර අවස්ථාවේදී පැමීණ ඔවුන් හා එකතු වීම පිළිබඳව ප්‍රශංසා කරනවා, එනමුත් ඇය ඒ ප්‍රශංසාව කරන්නේ අවට සිටින සංවාදයේ යෙදී සිටින පෙම්වතුන් දෙස බලා චින්තාපරවයි.   

සිනමාකරණය තුලද නේපල්ස්, ඉන්දියා තුල රූ ගත කරන ලද දර්ශන ඉතා සුන්දරව තිබුනත් ඒ සුන්දර බව බාලි වල කොටස් වලදීත් පෙන්නුම් කලා නම් අගේය කියන හැඟීම මට දැනුනා. ඒ කියන්නේ අර නේපල්ස් සහ ඉන්දියාවේ ඇති වර්ණවත් උණුසුම් බව බාලිවලදී නොමැති වීම තදින් දැනුනා. සමහර විට ලිස් ගේ ආදරය ශිශිරතාරක නින්දේ ඇති බව පෙන්වන්නට උවමනා වූවාද දන්නෑනේව. ඒත් ඒක එක එක්කෙනාට වෙනස් ඇති. අපි වගේ දුහුණන්ට එහෙම දැනුනට. හැබැයි එකක් ඒවා වූඩීගේ to rome with love චිත්‍රපටයට වඩා නම් අනර්ඝයි. ;)

අවංකවම එක දෙයක් කිවිය යුතු වෙනවා, ඔබ චිත්‍රපටයේ අතිරේක පෙදෙස් ගැන වද වෙන්නේ නැති නම් eat prey love යනු ඔබට හොඳින්ම රස විඳින්නට හැකි චිත්‍රපටයක්, ඒකේ දෙකක් නෑ. ප්‍රධාන චරිත අර විදියට හැසිරුනාට ඔබට හොඳ සුන්දර සහ අපූරු චරිත කිහිපයක් ම මෙහි දැකගන්නට පුලුවන්.., ෆෙලිපේ [හ්වියෙර් බෝර්ඩෙම්] රිචර්ඩ්[රිචර්ඩ් ජෙන්කින්ස්] සහ කෙටුට් ලියාර් [හදී සුබියන්තෝ]ඒ අතරින් මගේ වඩාත්ම සිත්ගත් චරිතයි.  

Help : Google


Dolce Far Niente - කිසිවක නොයෙදීමේ මිහිරියාව

ඌණ සාධකව සිනමා කරණයේ ගැටලු තිබ්බත් සංස්කෘතීන් වල වෙනස පෙන්වාදෙන ආකාරය අති ආකාර්ශනීය බව කිව යුතුමයි. නිදසුනක් ලෙස රෝමය හා බාලි අතර සංස්කෘතිකමය වෙනස, ඊට අමතරව ඉතාලියානුවන් අතර පවතින දොල්චෙ ෆර් නියන්තේ නැතිනම් කිසිත් නොකිරීමේ මිහිරියාව නැතිනම් අලසසුවය පිළිබඳව පවසන අවස්ථාවන් කතාවට නව අරුතක් ගෙන දෙන බව මට සිතෙනවා.  සිතූ තරමට ප්‍රබෝධමත් නොවූවත්, විටෙක ඔබට එය ප්‍රීතිය දනවන්නක් විය හැකියි. ඒ සංවේදනාව දැනෙන්නට ඉඩ ඉතුරු වී ඇත්තේ තවමත් මා නොකියවූ ඒ එලිසබෙත්ගේ පොත තුලින් පමණයි., ඒ නිසා චිත්‍රපටය බලන්න..! හැකිනම් ඊට කලින් පොත කියවන්න..


සියලු රහස් හෙළි වූ කල සළුවෙන් පල කිම..?



යම් රටක රජය විසින් ජනතාව විසින් ලබාදුන් බලය ජනතාවට ම එරෙහිව අයුතු ලෙස භාවිතා කරන කල එය ඊට සම්බන්ධව සිටින්නන්ගේ පුද්ගලිකත්වයේ පාදමේ ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ඇලෙක්ස් ගිබ්නේ ගේ නිර්මාණයක් වන "We Steal Secrets: The Story of WikiLeaks" අප වෙතට ඉදිරිපත් කරන්නේ ඒ අනිසි බල භාවිතයට තුඩු දෙන මහ මොළකරුවාගේ බල තන්හාවේ පරිමිතියයි.  එහෙත් මේ චිත්‍රපටය ජූලියන් ඇසෑන්ජ් වෙත පක්ෂග්‍රාගී වී නොමැති තරමටම ඇසෑන්ජ් ව සමාන කර ඇත්තේ අදිසි දුෂ්ඨයෙකුගේ මානයටයි. එහෙත් වීරයෙකු නැති චිත්‍රපටයක් තුල වීරයෙකු විය යුත්තේ කවුරුන්දැයි අපට කල්පනා කරන්නට ඇලෙක්ස් ගේ මේ ආන්දෝලනයට තුඩු දෙන නිර්මාණය අප වෙතට බලකර සිටිනවා.

We Steal Secrets ආරම්භයට ප්‍රවේශය ගන්නේ නාසා ආයතනය වෙතට ගැලීලීයෝ යානාව අභ්‍යාවකාශගත කිරීම අතරතුර දී වූ හැකර් ප්‍රහාරයක් පිළිබඳව කියමිනුයි. උක්ත සිදුවීම සමහර විටෙක තරුණ ඇසේන්ජ්ගේ සම්බන්ධයක් ඇති/නොමැති වන්නට ඉඩ ඇතත්, එය උලුප්පා දක්වන්නේ හැකර් කණ්ඩායම, පෙනී සිටින්නේ ඕස්ට්‍රේලියානු රොක් ගායක කණ්ඩායමක ගීතයක් වන "You talk of times of peace for all, and then prepare for war." යන පා‍ඨය සිය උදෘතය කරගනිමිනුයි. ඉන්පසුව මේ වේගී ප්‍රස්ථාවනාවට පසුව චිත්‍රපටය තුල සිය ප්‍රධාන සැලකිල්ල දක්වන්නේ විකීලීක්ස් හී ආරම්භය සහ අවසානය මෙන්ම ඇසෑන්ජ් ගේ ආරම්භය සහ අවසානය  නිරූපනය කරමිනුයි.

 "We Steal Secrets" තුල ඇසෑන්ජ් ගේ (මාධ්‍ය තුලින් අප දැක නොසිටි ආකාරයේ) අදහසක් නරඹන්නා වෙතට ලබා දෙන්නට උත්සහ කරනවා කීවොත් වැරදි නැහැ. එහිදී ඇසෑන්ජ් විසින් අඳුරේ දිදුලන සත්‍යයට ආලෝක කදම්බ ජනිත කරවන උත්තරීතර මානව ප්‍රේමීයාගේ රූපය නිරූපණය කරන බවක් පෙන්වා දුන්නත්, එහිදී සත්‍ය වශයෙන් ම සිදුවී ඇත්තේ අවට සැඟවී ඇති අදහස් සහ කාරණා සිය වාසියට හරවාගෙන එයට මනුෂ්‍යයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස නිර්වචන ගත කෙරීම මඟින් අවට අවධානය සහ සිය ක්‍රියාවන් වලින් කෝප ගැන්වෙන පාර්ශව විසින් ක්‍රියාවට නංවන කවරාකාරයේ ක්‍රියාවකින් වුව සිය ආරක්ෂාවට අගතියක් වන්නේයැයි කීමයි. උක්ත හේතුව නිසාම ඇසෑන්ජ් විසින් මේ චිත්‍රපටය සිය නාම සහ විකීලීක්ස් පිළිබඳව ලොව පුරා ඇති චිත්‍රය විනාශ කරන්නක් බවට චෝදනා කරන්නට පවා ක්‍රියා කලා.

මෙයට අමතර චිත්‍රපටය තුල ඇති ඇසෑන්ජ් වෙත ඇති ලිංගික අඩන්තේට්ටම් චෝදනාවන් පවා අධිකරණය තුල කතා බහට ලක්වෙන අවස්ථාවකදී මේ චිත්‍රපටය එළි දැකීම තවත් ආකාරයක් ආන්දෝලනය දේශපාලන ලෝකය තුල ඇති කලා.., ඇසෑන්ජ්ගේ පාර්ශවයේ නීතීඥයින් පෙන්වා දෙන්නේ සිය සේවාදායකයාට ඒ මඟින් අසාධාරණයක් සිදු කර ඇති බවයි.., නමුත් මේ වනවිට චිත්‍රපටය නිකුත්වී අවසානයි.
රූපයේ බොඳ කර ඇත්තේ ඇසෑන්ජ් අතින්
අතවරයට ලක්වූ කාන්තාවන් දෙදෙනායි


කෙසේ වුවත් මේ චිත්‍රපටය තුල නම්කිරීම තුල වන අසාර්ථක වීම් කිහිපයක් අපට හඳුනා ගන්නට පුලුවන් ඉන් එකක් තමයි, "we steal secrets" නමින් වූ නාමකරණ පිරියම මගින් චිත්‍රපටයේ ඇතුලාන්තය පිළිබඳව නිශ්චිත අදහස ගන්නට ප්‍රේක්ෂකයාට නුපුලුවන් වීම. ඒ වාගේම ඒ මඟින් කතාව සාධක මත පදනම් නොවී සමාජයේ පවතින කතාන්දර මතින් ගලායන්නක් බව පෙනීම ඒ අතරින් විශේෂ වනවා. කෙතරම් හොඳ චිත්‍රපටයක් වුවත් එහි නමින් ප්‍රේක්ෂකයා තුල සාධනීය චිත්‍රයක් මැවෙන්නේ නැතිනම් එහි ජනයාගේ ප්‍රියතාවය ලැබීම බිඳුවකින් හෝ ඌන වන බව නියතයක්.

චිත්‍රපටය තුලින් දායානුකම්පිතව බලනා එකම එක චරිතය ඔබ චිත්‍රපටය නරඹත්දී හඳුනා ගන්නට ලැබේවි. ඒ ඇසෑන්ජ් ගේ චරිතය හා සාමාන්තරව ම වාගේ දිවෙන චෙල්සියා එලිසබෙත් මෑනිං [පෙර බ්‍රැඩ්ලි එඩ්වර්ඩ් මෑනිං] නමැත්තියගේ [නැමැත්තිය ලෙස හඳුන්වන්නට හේතුව මේ සබැඳියෙන් දැනගත හැකිවේ] චරිතය. චිත්‍රපටය තුල චෙල්සියාව මවන්නේ රජයේ නීති පද්ධතිය සහ සිය හෘදය සාක්ෂිය තුල වූ නීති පද්ධතිය අතරට වී මානසිකව පීඩාවට පත්වන, සහ නිරතුරුවම තමා අයිති වන්නේ කුමන කුලකයකටදැයි නිරන්තරයෙන් කල්පනාවට භාජනය කල කෙනෙකු ලෙසට බවයි මගේ අදහස. නමුත් ඇත්ත වශයෙන්ම
බ්‍රැඩ්ලි/චෙල්සියා මෑනිං ලිංග විපර්යාසයට බඳුන් වීමට පෙර හා පසු
තමා හමුදාවේ සිටිත්දී ඒ අතරම විකීලීක්ස් වෙත රහසිගත තොරතුරු නිකුත් කිරීම වැනි කාරනා උලුප්පා පෙන්වූවත් ඔහු රහස් හෙළිකරන්නෙකු සහ ද්‍රෝහියෙකු යන කැටගරි දෙක අතරම දෝලනය කර නරඹන්නාට ඒ පිළිබඳව තීරණය කරන්න ඉඩදීම චිත්‍රපටයේ විශේෂත්වයක්. නමුත් ඒ සමඟම අප දෙපාමුලට ඉදිරිපත් කරන ආණ්ඩුවක විනිවිද භාවය පිළිබඳව නැවත වරක් බලකරන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ සාපේක්ෂ සාධාරණය පිළිබඳ ඔබ සතුව ඇති නිගමනය පිළිබඳව නිදහසේ සිතන්නට ඉඩ ප්‍රස්ථා ඇතිකරමිනුයි.



ඇලෙක්ස් ගිබ්නේ යනු ප්‍රතිභා පූර්ණ සිනමාකරුවෙක්, ඔහු සිය නිර්මාණය තුලදී වෙනත් වාර්ථාචිත්‍රපට වල පවතින වියලි ස්වභාවයට වඩා හෘදයාංගම බව වඩවන ආකාරයෙන් සිය පාදක චරිත හඳුන්වාදීම ඉතාම ප්‍රගතිශීලී ආකාරයෙන් පෙන්වාදෙන්නට පුලුවන්.., තොරතුරු වල සත්‍යභාවය පෙන්වන චිත්‍රප‍ටයක් වුවත් එකම එකම කාරණා වටා බොහෝ වාරයක් කැරකීම නිසාවෙන් ඔහුට පෙන්වාදෙන්නට තිබූ කරුණු කාරණා බොහොමය අතහැරී ගිය වගයි මගේ අදහස. සියලු පාදක කාරණා වලට එකම බර නොතබා. වෙන වෙනම හඳුන්වාදීම් කර චිත්‍රපටය ගලන්නට ඉඩ දුන්නේ නම් එය සිනමාත්මක අතින් සාර්ථකවනවාට කිසිඳු සැකයක් නැති බවට මෙන්න කැට.


Blue Jasmine හෙවත් ඇලන් නිසා පලුදු වූ හිත සුවපත් කර ගැනීම.

Poster

වූඩී ඇලන් නව චිත්‍රපටයක් සමඟින් නැවතත් අප අතරට පැමිණිලා.., වසර ගණනාවක යුරෝප නිවාඩුව නිමාකර නැවතත් එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැසිස්කෝවට ආවයි කියලා කියන්නට හේතුවුනේ නම් ඇලන් මෙයට පෙර අවස්ථාවල අධ්‍යක්ෂණය කල To Rome with Love, Midnight in Paris, You Will Meet a Tall Dark Stranger, සහ Vicky Cristina Barcelona යන සියලුම චිත්‍රපට සියල්ලටම පාහේ පාදකවී ඇත්තේ යුරෝපය වීම. ඊටත් අමතරව ඇලන්ගේ ප්‍රියතම රූගත කිරීමේ නගරය වූ නිව්යෝර්ක් නගරය සහ පෙර කියූ ආකාරයට සැන්ෆ්‍රැන්සිස්කෝව ද පාදක කරගෙන නිමැවී ඇති මේ චිත්‍රපටය නමින් Blue Jesmine.

හෂිත අයියා හදිසියේ දුන් යොමුවකින් බලන්නට සිත් වූ To Rome with Love නිසා ඇලන් පිළිබඳව වූ පලුදු වූ සිත, Blue Jesmine තුලින් සෑහෙන දුරකට සුවපත් කරගන්නට පුලුවන් කම ලැබෙනවා. මෙහෙම හේතු වන එක කාරණාවක් තමා ඇලන්ගේ චිත්‍රපට සැලකිල්ලෙන් බලනා කෙනෙකුට [මෙහෙම කිව්වට මමත් බලලා තියෙන්නේ චිත්‍රපටි කීපයයි ;)]ඔහු භාවිතා කරන සිනමා රීතින් සහ ඒවායේ කාලීනව වන දියුණුව කියන කාරණාව සහ චිත්‍රපටයේ ප්‍රධාන නිළි කේට් බ්ලැන්චෙට්ව හැසිරවීමෙන් ඇලන් ප්‍රකට කරන ප්‍රවීණත්වය කියන කාරණාවන්.

අවුරුදු ගණනාවකින් පසු[මටනම් LOTR වලින් පසු] කේට් දැනෙන්න රඟපෑව කියලා කියන්න පුලුවන් උනේ මේ Blue Jesmine චිත්‍රපටයේ තමා. මේකට හේතු වෙන්නේ ඇත්තේ ඇලන්ගේ තිරරචනා කිරීමේ සහ අධ්‍යක්ෂණය කිරීමේ හැකියාව වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. මොකද ඔහු සාමාන්‍යයෙන් වසරකට එක චිත්‍රපටය ගානේ පසුගිය දශක කිහිපයේම කල් ගෙව්වා කියන කාරණාව නිසා යම් නලුවෙකු හෝ නිළියකගෙන් සිය නිර්මාණයට අවශ්‍ය කුමනාකාරයක සවියක්ද කියන කාරණාව සොයාගනීම සඳහා වූ හැකියාව ඇලන් තුල නිසඟයෙන්ම පිහිටා ඇතැයි කියලා මම කල්පනා කරනවා. නිදසුනක් විදියට Blue Jesmine චිත්‍රපටයේ උනත් බ්ලැන්චෙට් රඟන චරිතයට ආවේනික වූ හඬක් අප නොදැනිම අපේ හිත් වලට දැනෙන්න ඉදීරිපත් කරන්න ඇලන් මේ චිත්‍රපටයෙන් දක්ෂ උනා කියලයි මට හිතෙන්නේ.

Ginger & Husband with Jasmine & Hal
කතාව ගලාගෙන යන්නේ ඉතාමත් ම අපූරු ආකාරයටයි, ජැසිමින් [කේට් බ්ලැන්චෙට්] කියන්නේ නිව්යෝර්ක් නගරයේ ජීවත් වන ධනවත් සමාජසේවිකාවක්. ඈ එසේ සිය සමාජ සත්කාර කරගෙන යන්නේ සිය කුවේර සැමියා වන හැල් [ඇලෙක් බෝල්ඩ්වින්]ගේ නොමසුරු සහයෝගය මැද්දෙයි. මෙසේ ගලායන ජීවිතය ට අඳුරක් එක්වන්නට වැඩි කලක් යන්නේ නැහැ. වංචා සහගත විදියට ආයෝජන සඳහා මුදල් යෙදවීම යන චෝදනාවට වැරදිකරු වී හැල්, ජැස්මින්ගේ සැමියා FBI අත්අඩංගුවට පත් වනවා. මේත් සමඟම මූල්‍ය අර්බුධවලට මුහුණ දෙන ජැස්මින් සැමියාගේන් වෙන්ව සිය සොයුරිය ජින්ජර් [සැලී හෝකින්] වෙතට එනවා. මේ කතාවේ සරළ හරස්කඩයි. නමුත් කතාව ආරම්භ වන්නේ ජැස්මින් ගේ වර්ථමානය එනම් කිසිවක් කරකියාගන්නට නොහැකිව සිය සොයුරියගේ උදවු ඉල්ලා නිව්යෝර්ක් සිට සැන්ෆ්‍රැන්සිස්කෝව බලා එන තැන සිටයි.
Jasmin [Cate Blanchett]

කතාව වර්ථමානයෙන් ආරම්භ වුවත් වරින් වර කතාව අතීතය සිදුවීම හා සම්බන්ධ වන ආකාරය හරිම ඉතා සිත්ගන්නා සුලුයි. සිය සැමියාගේ වංචාසහගත සහ කාන්තාලොලී ක්‍රියාකලාපය නිසා මානසික බිඳවැටීමකට ලක්වන ජැස්මින් ගේ තත්ත්වය ඛේදනීය ආකාරයෙන් ඇලන් නරඹන්නා ඉදිරියේ තබනවා, ග්‍රොසරියක රැකියාව කරනා ජින්ජර් එනම් ජැස්මින්ගේ සොයුරිය හාද වී සිටින්නේ චිලී [බොබී කැනවේල්]නමැති කාර්මිකයෙකු සමඟිනුයි. ජැස්මින් විසින් ජින්ජර්ගේ නිවසට පැමිණීමත් සමඟම ජැස්මින්ගේ කුවේර අතීතය සහ වර්ථමාන දුඛාන්තය අතර නිරන්තරයෙන් නරඹන්නා දෝලනය කරන ආකාරය ඉතා විශිෂ්ඨ බව නම් කිවයුතුමයි. උසස් සමාජයේ කෙනෙකු තුලින් වසර කිහිපයකට කලින් තමා වින්දනය කල කුවේර ජීවිතය නැවතත් ලබාගන්නට ජැස්ම්න් දරණා වැරය පිටතින් බලනා විට විටෙක සිනහා උපදවන සුලු වුවත් කාන්තාවක් එවන් අවස්ථාවකදී කොතරම් අසරණ වනවාද, දෙවිය කෙනෙකුගේ ජීවිතය හා මොනතරම් දරුණු ආකාරයට කෙළිලනවාද කියන කාරණාව චිත්‍රපටය බලන කාලාන්තරය පුරාම මගේ හිතට වද දෙන්නට වූ සිතුවිල්ලක්. 

Director Woody Allen with Alec Baldwin [Hal]
එක් අයෙකු වටා ගොඩ නැගුණත්, විවිධ ධාරා අතර දෝලනය වන ගතිගුණ සංයුතියකින් යුතු වන ජැස්මින්ගේ චරිතය, තමා වටා ගැවසෙන චරිතවලට හඬක් දෙන්නට තරම් බලවත්ව ගොඩ නැගෙනා තරම්. අනෙක් අතට මම මෙතෙක් නරඹා තිබෙන ඇලන්ගේ චිත්‍රපටි කිහිපය තුලදී අපට බඩ අල්ලගෙන පුටුවලින් වැටී සිනාසෙන්නට හේතු ඇති නොකරන නමුත් පසෙකට වී නිස්කාංසුවේ සිනහා වන්නටත්  එහෙමත් නැතිනම් අනුකම්පාව උපදවාගන්නටත් ඕනෑ තරම් හේතු උත්පාදනය කරනා බව කිව යුතුම දෙයක්. බ්ලැන්චෙට් විසින් රඟපාන ජැස්මින්ගේ චරිතය තුලත් මම ඉහත කියූ සංවේදනා ඔබ්බවා තීබෙන බව ඔබ Blue Jesmine නැරඹුවා නම් ඔබට දැනෙන බව මා එක හෙළාම කියනවා.  මෙන්න මේ හේතුවම මා සිතනා ආකාරයට චිත්‍රපටයේ සාර්ථකත්වට සහ චිත්‍රපටයේ සරළවත් ඇතුලාන්තය බලන්නාට ගැඹුරිනුත් වින්දන කරවීමට මහඟු හේතුවක් ලෙස පෙන්වා දෙන්නට පුලුවන්. 

ඇලන්ගේ විශේෂත්වය එයයි. අප ඇලන්ගේ සිනමා නිර්මාණ බලා සිනහාසෙන්නේ ඔහු ජීවිතය දෙස හෙළනා උපහාස සිනහාවක් ඇතුලින් බව අපට දැනෙන්න ගන්නකොට අප ඇලන්ගේ රසිකයින් වී අවසන්. 
වුඩී ඇලන් යනු ලෝක සිනමාවේ ශානරයක් [genre] ලෙසින් සිනමා විචාරකයින් සහ රසිකයින් හඳුන්වන්නේ අන්න ඒ නිසයි.


රෝමය වෙත ආදරයෙන් වැරදි සෙවීම


Woody Allen - Director
     තිර රචකයා සහ අදියුරු විසින් කතන්දර කීමේ කිසිඳු ආකාරයක නීතියක් අනුගමනය නොකර සෑදූ [තැනූ] චිත්‍රපට කොතරම් ප්‍රමාණයක් ඔබ නරඹා ඇතිද? එසේත් නැතිනම් වෙනත් චිත්‍රපට වලින් නිරායාසයෙන් උකහා ගත් නමුදු කිසිවෙක් අවධානයක් යොමු නොකල කොටස් සහිත වූ  චිත්‍රපටයක් නරඹා ඇතිද? ඔබේ පිළිතුර කුමක් වුවත් එහි අංකය වූඩි ඇලන් විසින් පසු කර ඇති බවට සැකයක් නැහැ. එහෙත් ලංකාවේ දකිනා ආකාරයට අමු අමුවේ කොපි කිරීමක් නොව ඉතා සෞම්‍ය ආකාරයෙන් එහි අදහස ගෙන සිය නිර්මාණයක එකතු කර ගන්නා ආකාරයක් නිසා නිතරම කාබන් කොපි නරඹන අපට එතරම් වෙනසක් දැනෙන්නේ ම නැති තරම්..,[කාබන් කොපි කතාව පිළිබඳව මම පසු පෝස්ටුවකින් පවසන්නම් :)] එහෙත් අප ඔබ වැනි චිත්‍රපටයක් නරඹා පසුව ඒ පිළිබඳ අන්තර්ජාලයේ පසු සෙවුමක් දමනා අයට නම් මේ වැනි වෙනසක් සඟවන්නට අපහසු වන අවස්ථා බොහොමයි. අදියුරුගේ නම ඇසූ පමණින් අපට මැවෙන්නේ විකට නළුවෙකු ප්‍රතිරූවක් වුවත් ඔහු ප්‍රවීණ චිත්‍රපට අදියුරුවෙකු ද වනවා. මා මේ කියන්නට යන චිත්‍රපටයේ නම "To Rome With Love". සමහර විට ඔබ මේ චිත්‍රපටය නරඹා ඇති, එය තිරගත වූයේ 2012 වසරේ නිසාවෙන්.

Movie poster
චිත්‍රපටය ආරම්භය ඩොමිනිකෝ ඩ්‍යුනෝ ගේ නෙල් බ්ලු දිපින්තො දෙ බ්ලූ (වොලාරේ) ගීතය එක්ක සනිටුහන් වූ නිසා මට මුලදිම පොඩි ගතියක් දැනුනත් පසුව යනවිට එය වියැකී ගියේ නිතැතින්. චිත්‍රපටයේ කතාව ගෙවී යන්නේ එකකට එකක් වෙනස් චරිත කිහිපයකගේ රෝම නුවරට පැමිණීමයි, එකකට එකක් වෙනස් කතන්දර හතරක් ඔබ වෙත තබමින් අදියුරු විසින් වරින් වර අපට එක එක චරිතවල යාවත් කාලීන වන තොරතුරු හුවාදක්වනවා.., මේ කථා හතරේම එක් පොදු ගුණාකාරයක් නම් රෝමය වන අතර අනෙක් ගුණය ආදරය ලෙස හඳුනාගන්නට පිළිවන්. හෙලී සහ මිකෙලෑන්ජලෝගේ කතාව, අන්තෝනියෝ සහ මිලීගේ කතාව, ලියෝපොල්දෝ පැසනෙල්ලෝගේ කතාව සහ ජෝන්ගේ කතාව ඒ හතරයි. මින් අන්තෝනියෝ සහ මිලීගේ කතාව  මෙයට දශක කිහිපයකට පෙර එනම් 1952දී තිරගත වූ The White Sheik  (Lo sceicco bianco) චිත්‍රපටයේ චරිත  වලට සමාපාතීත්වයක් දරනවා.[Wikipedia] මම මෙහි කතන්දර එකින් එක දිග හරින්නට යන්නේ නෑ, එවිට චිත්‍රපටයේ බලන්නට තරම් දෙයක් නොමැතිවන නිසාවෙන්.

ඉතාම සරළ ආකාරයෙන් කල්පනා කරන විට අපට ඉතා පහසුවෙන් මේ චිත්‍රපට්යේ හොඳ සහ නරක ගැන අවබෝධයක් ලබාගන්නට පුලුවන් වෙනවා.., ඒ පිළිබඳම මා කියන්නට සතුටු මෙන්න මේ ආකාරයටයි.
හොඳ : හාස්‍යජනක ජවනිකා වලින් පිරී තිබීම, අති සුන්දර ලෙස ප්‍රහසනය ඉදිරිපත් කිරීම, ජූඩි ඩේවිස් සහ ඇලෙක් බෝල්ඩ්වින් ගේ රඟපෑම්, වූඩි ඇලන් විසින් ඇලිසන් පිල්ගේ[හේලි,සංචාරක යුවතිය] පියා ලෙස රඟපෑම, වූඩි ඇලන් විසින් ඇලිසන්ගේ පියා ලෙස රඟපෑම මට දැනෙන්නේ සිය චිත්‍රපටය තුල තමන්ගේ සලකුණ තැබීමක් ලෙසයි, එහෙත් එය චිත්‍රපටය තුලදී අපට නොදැනෙන තරම්. 
අහ් අමතක නොකල යුතුම දේ පෙනිලෝප් කෲස්ගේ ගවුම :P.


නරක : ඉතාම අසංවිධානාත්මක ලෙස ජවණිකා පෙලගැස්වීම, එකම විහිළුව කිහිප වාරයක් පෙන්වීම යනාදියයි.

චරිත සහ සිදුවීම් තුල පෙරළි [Twist] කිරීම සහ ඒවා විසඳෙන ආකාරය පිළිබඳව වෙනසක් දැනෙන අයුරින් අවසානයක් උදාකිරීමට ඇලන් මහතා කොතෙක් උත්සහ කලත් මට දැනෙන්නේ එය ඔහු හිතනා තරම් සඵල වූයේ නැති බවයි. එහෙත් එය චිත්‍රපටයේ ගලායාමට බාධාවක් කර නොගන්නට තරම් ඔහු සැලකිළිමත් වී තිබීම සැලකිල්ලට ගත යුත්තක්.

සමහර විටෙක අප මනස චරිත සමඟ පොරබදත්දී ඒ චරිත හරහා කාලය ගෙවී යාම සිදුවන්නේ කෙලෙසකදැයි විටෙක අපතුල පැනයක් නැගෙනවා, චිත්‍රපටය ආරම්භයේදීම සියලු කතන්දර වල ආරම්භය සිදු වුවත් ඒ ඒ කතන්දර හරහා කාලය ගෙවී යාම ගැන කල්පනා කරන විට අප මනස උභතෝකොටිකයකින් පෙලන්නට ගන්නේ අපත් නොදැනීමයි. උදාහරණයක් ලෙස අන්තෝනියෝ සහ මිලීගේ කතාව දිනයක් තුල විකාශනය වන ආකාරයක් දැනුවත් ජෝන් ෆෝයේ ගේ කතාව තුල ඒ විකාශනය දින ගණනාවක් තුල වනවා. සිනමාකරුවෙකු සිය නිර්මාණයේ විකාශය පිළිබඳ අවධානයක් යොමුකය යුතු වුවත් අවාසනාවට වූඩි ඒ ගැන සැලකිල්ලක් දක්වා නැති තරම්, සමහර වීට දශක 6ක් තිස්සේ චිත්‍රපට නිපදවූවෙකුගේ [1965-2014] මානසිකත්වය කෙසේදැයි අප දන්නේ කොහොමද නේද?

ශාන්ත(?) ජෝන්
ඇලෙක් බෝල්ඩ්වින් පෙනී හිඳින්නේ ජෝන් ෆෝයි නමැති අමෙරිකාවේ ජීවත්වන රෝමයට නිවාඩුවක් සඳහා පැමිණි ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ චරිතයක් සඳහායි.., එහෙත් මට සිතෙනා ආකාරයට නම් ජෝන් පෙනී හිඳින්නේ ජෝන් ළමාකල රෝමයේ ජීවත් වූ ගොඩ නැගිල්ලේම වෙසෙන වාස්තු විද්‍යා සිසුවෙකු වන ජැක් ගේ සාධු පස පෙන්වා දීම සඳහාම කියලයි. ජැක් ජීවත් වන්නේ ඔහුගේ පෙම්වතිය සැලී සමඟින්, කලකදී සැලීගේ හොඳම මිතුරියක් වන මොනිකා සිය ප්‍රේමයට තිත තබා රෝමයට එන්නේ සැලී හා ටික කලක් ජීවත් වීමටයි.., මෙතැනදී මොනිකා ගැන එතරම් තැකීමක් නොකල ජැක් පසුවදී මොනිකා හා ප්‍රේමයෙන්(?) වෙලෙනවා.., එහිදී ජැක් විසින් තබන්නට යන ඊළඟ පියවරේ ගුණ දොස් විචාරන්නා වන්නේ ජෝන්. සෑම පියවරක් අවසානයේදීම මොනිකා, සැලී සහ ජැක් ගේ සිත්හී යටිපෙළ සහ එහි ප්‍රතිවිපාක පෙන්වා දෙන්නේ ජැක්ගේ උරහිසේ නිතර වැඩ හිඳිනා අදිසි සුර දූතයා ජෝන් ලෙස දැනෙනා ආකාරයෙන්.

අහේතුක ප්‍රසිද්ධිය
රොබර්ටෝ බෙල්ජිනී රඟන්නේ ලියෝපොල්දෝ පැසනෙල්ලෝ නමැති මධ්‍යම පාංතික පුද්ගලයාගේ චරිතයයි.., එහෙත් එක් අවස්ථාවකදී ඔහුව කිසිමාකාරයක හේතුවක් නොදක්වා ජනප්‍රිය සංස්කෘතිය විසින් ඔසවාගෙන යන ආකාරයක් පෙන්වනවා, පැපරාසි උසිගැන්වීම්, චිත්‍රපටි මුහුරත් වලට සහභාගී වීම්, එහෙත් අවාසනාවකට මේ කිසිවක් නරඹන්නාට තෙරුම් ගන්නට වූඩී ඉඩහසර ලබාදෙන්නේ නැති තරම්. එකවරම මාධ්‍යවේදීන් විසින් වටකරගන්නා පැසොනෙල්ලෝ මහතා ඉන් ගැලවී පලායන අවස්ථා හත අටක් ම මේ චිත්‍රපටය තුල අන්තර්ගතයි, බලන්නා මුවගට සිනහවක් නැංවුවත් කල්පනා කර බලන විට මෙවැනි සිද්ධියක් වරකට වඩා ඔබ්බන්නේ ඇයි කියා ලැබෙන උත්තරය රික්තකයක් වන්නේ නිතැතින්. 


චිත්‍රපටය බලා අවසාන වූ පසුව මට හිතුනේ අපි දෙස වූඩි ඇලන් බලා සිනහා වූවාට වඩා අප දෙස බලා වූඩි ඇලන් සිනාසුනා ද කියලයි :D :D

[ චිත්‍රපටය න‍රඹන්නේ නැතිව මේ සටහන කියෙව්වට මෙලෝ අල බෝලයක් තේරෙන්නේ නෑ, ඒ නිසා චිත්‍රපටය හැකිනම් බලන්න :) ]


උණුසුම් ආදරය නිල් පැහැති ද?

ධාවන කාලය පුරාවට ම ආදරය තැවරූ චිත්‍රපටයක් තුල ප්‍රේමාතුර වූවන් හට ඇස ගැටෙන සියල්ලම, ආදරයෙන් මත්ව ඇති ආකාරය ගැන කියන විට ආදරයට මුහුණු රැසක් ඇති බව අප ඇතුළු හදට රහසේ දැනෙන චිත්‍රපටයක්.. චිත්‍රපටයේ නම "Blue is the Warmest Color".


කතාව කෙටියෙන් කියන්නේ නම් මේ ආකාරයෙන්..
ඇඩෙල් යනු උසස් අධ්‍යාපනය ලබනා පාසලේ මිතුරියන් සිය පෙම්වතුන් පිළිබඳ ඕපාදූප කියනා ඒවා අසාසිටින ඒ වාගේම මිතුරියන් විසින් ඈ මනාප වූ පිරිමි මිතුරෙකු නුදුරේදීම හමුවන්න්ට බලාපොරොත්තුවන යුවතියකි. එක් දිනයක එක් වීථියක ගමන් කරනා අතරතුරදී ඈ පසුකර ගමන් කරනා නිල් හිසකේ වර්ණ ගැන්වූ තවත් යුවතියක ඇස ගැටෙනවා, ඇඩෙල් ඈ වෙත ආශක්ත වන්නේ නිරායාසයෙන්මයි. එහෙත් ඈ මනාප වූ තරුණයා අත හැරීම අඩෙල් හට දුශ්කර ක්‍රියාවක්, ප්‍රේමය සහ මෛථූන කටයුතු දක්වා ඔබ්බට ගිය සම්බන්ධයක් සිය පෙම්වතා හා තිබුණත් ඇඩෙල්ගේ සිත තුලින් හිසකේ නිල් පැහැති තරුණියගේ මතකය පහව යන්නේ නෑ. දිනක් සිය මිතුරෙකු හා ඇඩෙල් පුරුෂ සමරිසි සමාජ ශාලාවකට යනවා, ඉන්පසුව දෙදෙනා යන්නේ කාන්තා සමරිසි සමාජශාලාවක් වෙතටයි. පළමු වරට කාන්තාවකගේ බලපෑමකට ලක්වන ඈ මේ සමාජ ශාලාව තුල පෙර දිනකදී දුටු නිල් හිසකේ ඇති තරුණියද සිටිනවා දකිනවා. ඇඩෙල් වෙත කාන්තාවක කරන බලපෑම් දුටු ඇය ඊට මැදිහත්වී ඇඩෙල් ව බේරාගන්නේ ඇඩෙල් යනු සිය ඥාති සොයුරියක බව පවසමින්. ඉන් පසුව ඇඩෙල් මේ අපූරු නික් හිසකේ ඇති තරුණියගේ නම එමා බවත් ඈ උසස් අධ්‍යාපනය සඳහා චිත්‍රකලාව හදාරන්නියක බවත් දැනගන්නවා. දෙදෙනා එසැනින් මිතුරන්  වීමත්, එකිනෙකා හා ගත කරන කාලය තුලිනුත් ඇඩෙල් විසින් සිය හදවත තුල එමා වෙත පවතින කැමැත්ත සැබෑ ලෙසම ප්‍රේමයක් ලෙස හඳුණා ගැනීමත් සමඟ ඇඩෙල් ගේ සමකාලීන මිතුරියන් විසින් ඈව කොන්කර මිතුරු සමාගමයෙන් ඉවත් කරන්නේ ඈ සමරිසි චරිතයක් ලෙසට හංවඩු ගසමිනු යි. මේ හේතුව නිසාත් එමා සමඟ යළි යළිත් බද්ධවන ඇඩෙල්, එක් දිනයක් සිය හදතුල එමා පිළිබඳ ව පවතින ප්‍රේමය ගැන පාපෝච්චාරණය කරනවා. මේ සිදුවීම ප්‍රේමයක සිට මෛථූන සබඳතාවක් තරමට ම දුර යනවා. නව පෙම්වතුන් දෙදෙනාව එමාගේ පවුලින් උණුසුම් ලෙස පිළිගත්තත්, ඇඩෙල් විසින් එමාව හඳුනවා දෙන්නේ තවත් එක මිතුරියක හැටියට පමණයි.

වසර කිහිපයක් ගත වුවත් මේ අපූරු යුවතියන් දෙපල සතුටින් ජීවිතය ගෙවනවා. ඇඩෙල් සිය උසස් අධ්‍යාපනය අවසාන කර මූලික පාසලක ගුරුවරියක ලෙස සේවය කරනවා. එහි දී තමා සමඟ සේවය කරන එක් තරුණ ගුරුවරයෙකු ඈ පිළිබඳව විශේෂ තාවක් දක්වන බව දැනගන්නවා. දිනෙක මේ ගුරුවරයා සමඟ එක්ව ආහාර ගැනීමකට ගිය බව දැන ගන්නා එමා විසින් ඇඩෙල්ව ඔවුන් දෙදෙනා ජීවත්වන නිවස්නයෙන් එළවන්න්ට තරම් දරුණුවනවා. කාලයකට පසුව ඇඩෙල්ට එමාව හමුවන්නේ අවන්හලකදියි, ඇඩෙල් තවමත් එමා සමඟ ආදරයෙන් බැඳී සිටියත්, එමා මේ වන විටත් තවත් සම්බන්ධයක් ගොඩ නඟාගෙන අවසානයි. එමා විසින් ඇඩෙල් වෙත තමා තවදුරටත් ඈ හට ආලය නොකරන බව කියා සිටියත් ඇඩෙල් ට ලෙහෙසියෙන් එමාව අමතක කරන්නට හැකියාවක් නෑ, එහෙත් තවත් දුරටත් එමාව තමන්ට අයිති නැති බව තේරුම් ගන්නා ඇඩෙල් ඈ පිළිබඳ මතකයත් සමඟ සිය ජීවිතය වෙතට ගමන් ගන්නේ එමා නැති හුදෙකලාව සමඟයි.
නිකුත් වූ දිනය : 2013 ඔක්තෝම්බර් 19

ආදරය විවිධ ස්වරූප ගැන කියැවෙන මේ සිනමා සිත්තම, ඉහත කියූ සියල්ලෙන්ම සජ්ජිත වන අතර, වරින් වර අප හදවත තුල අප විසින් තනා ගන්නා විවිධාකාරයේ මානයන්, අප විසින් ම බිඳවට්ටවා ගන්නට සලසමින් අප දෑස් අසල රඟ දෙන චිත්‍රපටයක්; එම නිසාවෙන් මේ චිත්‍රපටය බලන්නට ප්‍රථම ඔබ සිහියට නගා ගතයුතු එක් ප්‍රධානතම කාරණාවක් නම්, මෙය ප්‍රංශ චිත්‍රපටයක් බවයි. කිසිවක් සිදු නොවන, ඔහේ ගලායන, වාහන අනතුරු නැති, මහා පිපිරීම් නැති, නින්ජා සටන් නැති සුන්දර ලියන් හා බැඳි නොසිතන බලාපොරොත්තු නොවන ආකාරයේ අවසානයන් වලින් තොර චිත්‍රපට බවයි. එහෙත් ඒ කිසිවක් නැතත් මෙය ආදරයෙන් නෙක ආකාර කාමරාගයන් ගෙන් පූර්ව ලෙස සජ්ජිතයි.

දෙවනුව ඔබ සිහි දරාගතයුත්ත නම් නොසලකා හැරිය නොහැකි තරම් බහුලව ගලා යන එක සමාන දර්ශන වලින් යුතු මසැසට හිරිහැරයක් සහිත වූ ප්‍රධාන නිළියන් දෙදෙනා, අධ්‍යක්ෂක සහ ග්‍රාෆික නවකතා රචකයා අතර ඇති අපූර්ව ඝට්ටනයයි. එහෙත් චිත්‍රපටයේ පැවැත්ම සහ ඒ තුල ඇති සිදුවීම වල පවතින නැසීම් සහ පිබිදීම් වල පවතින අනන්‍යතාවන් දකින්නට අපව බලහත්කාර කරවන සාධකයත් උක්ත සිදුවීම ම තමයි. ස්පර්ශිත ප්‍රේමයන්, හමුවීම්, එක්ව ආහාර ගැනීම් සහ යහන්ගතවීම් වලින් පිරුණු මේ සිත්තමේ ඒ හැර අපට වෙන බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද?

මේ සටහන කියවාගෙන යත්දී ඔබට "මේ ෆිල්ම් එක හොඳද ඕයි" කියා සිතෙන්නට පුලුවන්.., එහෙත් එය නෙවෙයි ඔබ සත්‍ය වශයෙන් ම ඇසිය යුත්තේ..,  ඔබ විමසිය යුත්තේ "සත්‍යවශයෙන් ම ඔබව මේ චිත්‍රපටය විසින් පිනවන ලද්දේද?" යන ප්‍රශ්නයයි. අවාසනාවට මේ චිත්‍රපටය සම්බන්ධයෙන් උක්ත ප්‍රශ්නයට පිළිතුරක් තවමත් මා සතුව නැහැ.

සත්‍ය වශයෙන් ම මේ චිත්‍රපටය මා ප්‍රමුදිත කල බව සත්‍යක්, නමුත් සිත තුල පවතින චිත්ත පරිකල්පනයන් පුපුරා යන්නට තරම් බලවන්ත වූ, වෙනත් චිත්‍රපට අවසන "අර පට්ටම මෙව්වා සහිත අතිවිශේෂ ෆීල් එකක්" සහිතවු හැඟීමක් මා තුල මේ චිත්‍රපටය අවසන දැනෙන්නට තරම් ප්‍රබල වූයේ නැහැ. සමහර විට මා සමරිසි අධ්‍යාත්මය, සහ ඔවුන්ගේ අති විවෘතභාවය පිළිබඳ වන බියකින් හෙබි ඇතුලු හදටම හැරුණු චරිතයක් වීම දැයි විටෙක සිතෙනා තරම්.
අප අවට ලෝකය තුල මේ ආකාරයේ අයාලේ ලියැවි ප්‍රේම රචනා කොතෙක් තිබුණත් සාම්ප්‍රදායික වික්ටෝරියානු මානසිකත්වයෙන් හෙබි සමාජයක ජීවත් වීම පාපය වින්දනය කරනා නිසාවෙන්, කාන්තාවන් දෙදෙනෙකු අතර ඇතිවන "සුන්දර" ප්‍රේම කාව්‍යයක සුව දැනෙන්නේ නැතිවීමත් එහෙම වෙන්නට එක හේතුවක් වන්නට ඇති බව මට විටෙක සිතෙන්නට ගන්නවා. එනමුත් මෙහි ඇති අපූර්ව ගුණය නම්, චිත්‍රපටයේ කථානායිකාවන් දෙදෙනා වන ඇඩෙල් සහ නිල් හිසක සහිත වූ එමා අතර ඇතිවන සබඳතාව තුල "සමහර" පෙම්කතාවල ඇති නොගැලපෙන පෙම්වතා සහ පෙම්වතියගේ ආල කතා වලට වඩා සහස් ගුණයක් ජීවයෙන් පිරුණු, නරඹන්නාගේ සියලු සංවේදනා විසින් කතාව තුලටම කාවද්දාගන්නට තරම් සමත් වන අදියුරුව සහ කැමරාකරණය තුලින් අපව ඒ තුල [කතාව මත] රඳවාගන්නා ආකාරයයි.

චිත්‍රපටය තුල බහුල වන සංඛේතයක් වන ආහාර ගැනීම් වලින් පෙන්වන්නට උත්සාහ කරන්නේ ඇඩෙල් තුල වල ලිංගික හාමත්භාවය, එසේත් නොමැති නම් කාමයේ ගින්න දැයි විටෙක සිතෙනවා; එමෙන්ම ඈ[ඇඩෙල්] විසින් තරුණයින්ගේ සිට තරුණ කතුන් දක්වා ආශක්තවීම තුල ඈ විසින් ඈ හට අහිමි වූ; එහෙත් නෙක ආකාරයෙන් සොයමින් යන ඒ අදිසි තෘප්ත භාවය පුරවා ගන්නට ඇඩෙල් තුල පවතින ගින්න දැයි අප තුල ගැහැටක් රහසින් මතුකරවයි.

ඊට අමතර ව චිත්‍රපටය තුල බහුල වූ කාමුක දර්ශන වෙත නරඹන්නා තුල ඇතිවන අභිරුචිය ගැන සඳහන් කරනවා නම්, එය සාමාන්‍ය ඇමෙරිකානු කාමුක දර්ශනයකින් ක්‍රියාවලියකින් දුරස්ථයි. මෛථූන ක්‍රියාවලියක අපුල පෙන්වනවාට වඩා ආදරය පිළිබඳ තියුණු මතකයන් අප හද සම්මුඛ කරවන්නට අදියුරු චිත්‍රපටය මෙහෙයවන ආකාරය ඉතා ඉහළයි. රේඛීය ආකාරයකට දැනෙන දර්ශනයකට [සාම්ප්‍රදායක කාමදර්ශනයකට] වඩා ඒ තුල මැවී ඇත්තා වූ මෘදු ජෑස් සංගීතාවක මත ඇඳී ආල රැඟුමක් ලෙසින් අර්ථ ගන්වන්නට හැකිනම් එය මා මේ කෙටි සටහන ලියත්දී උක්ත චිත්‍රපටයට කල සාධාරණයක් ලෙස ගිණිය හැකියි.

චිත්‍රපටය තුල ගලායන කාමරසය හැරුණු විට, චිත්‍රපටයේ ජීවත් වීම සඳහා කාලය යන නිමිත්ත ඉතා වැදගත් තැනක් උසුලනවා. ආරම්භයේ සිට දර්ශන මාරුවිම තුල පවතින ප්‍රධාන සම්බන්ධය වූ ඇඩෙල් සහ එමාගේ ප්‍රේමය(?) තුල පවා කාලය ඉතා මූලික නිමිත්තක්.., එය අපට වදනකින් වත් නොහඟුනත් බාහිර සාධක වල වෙනස්වීම ඒ පිළිබඳව අපට නිහඬව කියනවා. ඇඩෙල් විසින් සිය යොවුන් කාලයේ සිට ගෙවීයන කාලය දක්වාම කාලය නම් සාධක භාවිතා වන බව පෙන්වන්නේ කොණ්ඩාමෝස්තර වල වෙනස් වීම තුලින් පමණයි. එහෙත් එමා චිත්‍රපටය මුලදී නීලවර්ණිත කේශකලාපික අකීකරුවෙකු ආකාරයෙන් සිටියත් චිත්‍රපටය අවසානයේදී ඈ පෙනී සිටින්නේ තරුණ ජොන් බොන් ජෝවිගේ කෙශකලාපයේ අනුරුවක ලෙසටයි.
කිසිවක් නොවන තැන කිසිවක් ම, වන ආකාරයේ ප්‍රේමණීය ගමනක් මවනා අපූර්ව චිත්‍රපටියක් බලා අවසාන කලා යැයි සිතා සිත සැහැල්ලු කරගන්නට හැකි චිත්‍රපටයකි “Blue Is the Warmest Color” බහුල වූ ලිංගික එක්වීමේ දර්ශන වලින් පමණන් නොසෑහී එමා සහ ඇඩෙල් ගේ ප්‍රේමයේ ඇතුල් වත කියවන්නට අපට හැකි නම්, චිත්‍රපටයේ අදියුරුගේ කාරණාව බුදුවන බව නොකියාම බැරි කාරණාවක්.


Blue Is the Warmest Colour චිත්‍රපටය පිළිබඳව එහි නිමැවුම්කරු Abdellatif Kechiche සමග කළ කතාබහ.

The Stoning of Soraya M.


චිත්‍රපටයේ පෝස්ටරය

ද ස්ටෝනින් ඔෆ් සොරායා එම්. යනු ප්‍රංශ-ඉරානියානු මාධ්‍යවේදියෙක් වූ ෆ්‍රේඩෝනි සෙහෙබ්ම් විසින් 1990දී සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියන්නට යෙදුනු "La Femme Lapidée" නම් පොත අනුසාරයෙන් තැනුනු චිත්‍රපටයක්. චිත්‍රපටය ආරම්භ වන්නේ තරුණ මාධ්‍යවේදියෙකු වන ෆ්‍රේඩෝනි සෙහෙබ්ම් සතු මෝටර් රථය ක්‍රියාවිරහිත වී, එය නැවත පණ ගන්වා ගන්නට හෂීම් නැමැති ග්‍රාමීය කාර්මිකයාගෙන් උදවු ලබාගන්නා දර්ශනයකින්, මෝටර් රථයේ දෝශය නිරාකරණය කරනා තුරු අසල සිටින ෆ්‍රෙඩෝනි හට සොරායාගේ නැන්දනිය වන සහ්‍රා ව හමුවනවා. කථාව අප ඉදිරියේ දිග හැරෙන්නට පටන් ගන්නේ සහ්‍රාගේ මුවින් සොරායාගේ දීර්ඝ කාලීන දුක්බර අතීතය නැවත මතක් කිරීමක ආකාරයටයි.

"අලී" [සොරායාගේ සැමියා] සොරායා හට ද්‍රෝහෝයි කම් කරනා බව දැනගත්දා සිට සහ්‍රා විසින් සිය ලේළිය ව රකින්නට සහ මානසිකව ශක්තිමත් වන්නට පිහිට වනවා, එසේ අලී විසින් සෝරායා හට ද්‍රෝහෝයි කම් කරන්නේ දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියක සරණපාවා ගැනීමට ඇති උවමනාව පුරවා ගන්නට ඇති අවැසි බව නිසා යි. අලී හට සොරායාව දික්කසාද කරන්නට උවමනා වුවත් එසේ කරන්නට දුශ්කර වන්නේ, සොරායා විසින් සිය දරුවන්ගේ සුභසාධනය අලීගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ඊට හානි පැමිණෙන නිසා මේ දික්කසාදය දීමට අකමැති වීම නිසායි. ඒ අතර දී සොරායාගේ මිතුරියක වන මෙහ්‍රිගේ මියයාම නිසා ඇයගේ සැමියා හෂීම් සහ එකම පුතු මොෂේන් අසරණ වනවා.

එකම පිළිසරණ [සොරායා සිය නැන්දනිය සහ්‍රා සමඟ]
සොරායාගේ ගමේ පුරුෂාධිකරණය සහ සොරායාගේ සැමියා වන අලී විසින් හශීම් වෙත උදවු පදවු කිරීමට අවසරය දෙනවා, අදාල ගිවිසුමේ ආකාරයට හෂීම් විසින් සොරායාගේ සේවාව සඳහා කුලියක් සොරායාගේ නැන්දනිය වන සහ්‍රා හට ගෙවිය යුතු බවට දෙන පොරොන්තුවක් මතක්. එසේ සොරායාගේ සේවය හෂීම් වෙත දුන්නත් අලී විසින් ඒ අවසරය දෙන්නේ තවත් රහස් අරමුණක් ඉටුකරගන්නට බව අසරණ සොරායා දන්නේ නෑ, ඒ හෂීම් සහ සොරායා අතර අනිසි සබඳතාවක් ඇති බවට චෝදනාවක් කිරීමේ අරමුණයි. උක්ත චෝදනාවට සාක්ෂිවන කිසිදු ආකාරයක මූලයක් අලී අත නැති වුව, සොරායාගේ ග්‍රාමයේ අධ්‍යාත්මික නායකයා වන මුල්ලා හසන් විසින් අලී හට සොරායාගෙන් නිදහස් වී දික්කසාදය ගන්නට අලී හට උදවු කරනවා.

මූලිකවම චිත්‍රපටය පාදක වන්නේ කුමන්ත්‍රණ සහ අපරාධ නිසා නිර්දෝශී සොරායා සහ ඇගේ නැන්දනිය සහ්‍රා විසින් ශාරියා නෛතික පරිසරයකදී [පිරිමියාගේ නිර්දෝශීබව ඔප්පු කරන්නට ඔහුගේ පාර්ශවයට නිදහසට කාරණා හෝ සාක්ෂි අවැසි නැත, ඔහු පිරිමියෙකු වීම ම ප්‍රමාණවත් ය. එහෙත් කාන්තාවක සම්බන්ධයෙන් වන්නේ එහි විලෝමයයි] ඇගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්නට දරණ නෙක තැත් ගැන විස්තර කෙරුමටයි. අලී සහ ගමේ මුල්ලා වරයා වන හසන් විසින් හෂීම් වෙත තර්ජන සහ බලහත්කාරකම් කරන්නේ අධිකරණය ඉදිරියේ සොරායාගේ වරද ඔප්පු කර ඈ හට ගල්ගසා මැරීමේ දඬුවම ක්‍රියාත්මක කරවීමටයි. 

පවුකාරයින් විසින් ගල් ගැසීම
අවසාන දර්ශන කිහිපය තුල අනුකම්පාව මුසුවූ මහා මූසල හැඟීමකින් හිත පිරෙනවා වගේ ම, බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සහ මැදපෙරදිග කාන්තා නිදහස අතර පවතින අති විශාල වූ "හිඩැස" ගැන නැවත නැවතත් ඉතා ගැඹුරින් සිතන්නට මේ චිත්‍රපටය පොළඹවන බව අපට දැනෙන්නට ගන්නවා.

සාමාන්‍ය චිත්‍රපටයක දැකිය නොහැකි තරම් තාත්ත්වික රඟපෑම් විලාසය ඉස්මතුවන ස්ටෝනින් සොරායා චිත්‍රපටයේ තුල, වෙන චිත්‍රපට වල මෙන් අපට චරිතය අභිහවා නළුවා හෝ නිළිය අභිහවා යන අවස්ථා දැකිය නොහැකි තරම්. මෙයට වසර කිහිපයකට පෙර ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත  නිළියක වන ශෝරේ අෂ්ලෝ විසින් සොරායාගේ නැන්දනිය සහ්‍රාගේ චරිතයට පණ පොවනාතර අමෙරිකානු ජාතික යුවතියක වන මොෂාන් මානෝ විසින් සොරායා ලෙසත් අලී ලෙස නවීඩ් නඝාබන් විසිනුත් චරිත නිරූපණය කරනවා.


Closed Circuit

තිරගත වූ දිනය: 2013 අගෝස්තු 28

නීතිය යනු රටක ස්වෛරීභාවය, සාමය රකින හර පද්ධතියට කියන තවත් නමක් නම්, නීතියේ හිඩැස් අතරින් රිංගන්නට හදන අය ගැන කියන්නේ මොනවාද? තවත් ආකාරයකින් කියනවා නම් ඔබගේ වටාපිටාවේ සිටින කිසිවෙකු ඔබට හිතෛශී නොවන නමුත් ඔබ කරන කියනාදේ ඔවුන් එසැනින් දැනුවත් වේනම්, ඔබගේ අනුදැනුමින් තොරව ඔබ ගන්නා සියලු ක්‍රියාකාරකම් වල දිශානිතිය වෙනස් කරන අදිසි බලවේග ක්‍රියාත්මක වේනම්, එවැනි බලවේග ඔබ හිතෛශීන් හා රහසේ සබඳතා පවත්වාගෙන ඔබේ සියලු ක්‍රියාකාරකම් ඔබේ දැනුමින් තොරව පරික්ෂාවේ නම්, ඔබ ජීවිතය කුමනාකාරයක පරිවර්ථනයකට පත් වේද?
වසර කීපයකට පෙර ලන්ඩනයේ බොරෝ වෙළඳපොල [Borough Market] තුල පුපුරාගිය බෝම්බයක පිළිබඳ සිදුවීමක් කේන්ද්‍ර කරගෙන නිපදවෙන සිනමා නිර්මාණයක් වූ the closed circuit චිත්‍රපටය නැරඹුවෝතින් ඉහත කියන්නට යෙදුනු ආකාරයේ නොසන්සුන් භාවයක් ඔබ තුලත් ඇතිවනවා නිසැකයි. තෙවන පාර්ෂවයකට චෝදනා කිරීම සඳහා ප්‍රධාන පාර්ෂවය විසින් කරන්නට යෙදෙන ක්‍රියාකාර කමක් නිසා, අවශේෂ ජීවිත ගණනක් විනාශ වන ආකාරය, නීතියට අභියෝගයක් වන සියලුම සාධක නීතිය මඟින් ම විනාශ කරන ආකාරය තුල අප සමාජය තුල හුදෙකලා වී ඇති බව අපට ඒත්තු ගන්වන ආකාරයේ චිත්‍රපටයක්. බැරිස්ටර් වරයෙකු ලෙස මාර්ටින් රෝස් නමැති චරිතය විකාශය කරන එරික් බානා ගේ රඟපෑම් වල පවතින [මට අනුව] සුපුරුදු නිහඬ සහ හැඟීම් වල පවතින [ඇල්මැරුණු?] සංවාදාත්මක ස්වරූපය මේ චිත්‍රපටයේදී අපට දැකගන්නට පුලුවන්. ඊට අමතරව මාර්ටින්ගේ අතීත පෙම්වතිය සහ වර්ථමානයේ මාර්ටින්ට එදිරි පාර්ෂවයේ නීතීඥවරිය වැඩ භාරගන්නා ක්ලෝඩියා සිමොන්ස්-හොවී ලෙස රෙබෙකා හෝල් ද සිය චරිතයට දායකත්වය සහ සාධාරණත්වය සපයන්නේ 100% ප්‍රතිශතයකින් බව කිවයුතුම කාරණාවක්..,
ප්‍රේම සබඳතාවක් දෙදෙරාගිය පසු ආදාල චරිත දෙක නෛතික ව එකට කටයුතු කරන්නට සැරසෙන විට නීතිය තුලින් ඊට එන අදිසි විරෝධතා සහ විශ්වාසය කඩවීම් පිළිබඳව දෙදෙනෙකු තුල එවැනි පරිසරයකදී නිරුත්සාහකව නැගෙන බිය සාංකාව ඔබට මේ චිත්‍රපටය තුලින් අපූරුවට අත් විඳින්නට පුලුවන්..



Post CHOGM Stress | පශ්චාත් චෝගම් ආතතිය

 
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුලුව අවසාන වී ඇත. රටට බොහෝ [අත්දැකීම් වැනි] දෑ ලැබී ඇති අතර ඒ ලැබීම් වෙනුවෙන් රජය කෝටි ගණනක් මුදල් ඒ වෙනුවෙන් වියදම් කර ඇති. චාර්ලිස් කුමරා ඇතුලු බ්‍රිතාන්‍යයෙන් මෙන්ම ඕස්ට්‍රේලියාවත් චෝගම් වෙනුවෙන් මෙරටට පැමිණියද බහුතරය අප්‍රිකානු රටවල් වලින් ය පැමිණ ඇත්තේ. ඒ අතරින් ඉන්දියාව, කැනඩාව ආදී රටවල් මෙරටට පැමිණීම වර්ජනය කල ඒ වෙනුවෙන් කිසිවෙකු චෝගම් සමයේ දී එළිපහළියට බැස ප්‍රකාශ නිකුත් කරන්නට තියා උන් පැත්තට හැරී හූවක් වත් කියන්නට එඩියෙන් යුතු නොවී ය. එහෙත් චෝගම් සමයේදීම youtube හී වීඩියෝ රසඳුණක් බවට පත් වූ ක්‍රිස් නෝනිස් මහතාගේ CNN වීඩියෝව දැක ලියුම්කරුද ජාති මාමකත්වයෙන් චූන් වූ බව මතක් කරන්නටත් ආතල් කටයුතු වේ.
චෝගම් වලට සතියකට පෙර සිට ම සියලු ජාති මාමක, ලෙමන්පෆ් වීර, ආණ්ඩු පක්ෂපාතී, අධිරාජ්‍ය විරෝධී ශබ්දවාහිණී නිහඬ කර තැබීමට දුන් උපදෙස කෙතරම් බලවත් ද යත්, චෝගම් ඇරී දිනයක් ගතවීත් උක්ත කුලකයට අයිති කිසිවෙකුගේ උගුරු දඬු වල වොලියුම් ඉහල දමා, ස්වීච් ඔන් කර [ලියුම්කරු මේ සටහන ලියනා අවස්ථාව වන විටත්] නොතිබිණි.

 
ඒ නිහඬ බව අවන්ත දුටිවේ මේ අකාරයෙනි.

නාඩගමේ මතකය චිත්ත සන්තානයන්ගෙන් පහව යන්නට මත්තෙන් කෙහෙළිය ඇමතිතුමා චෝගම් වලට ගෙන්නූ වාහන පිළිබඳව අපූරු කතාවක් කියා තිබේ. මා හට එය කියවන්නට ලැබුනේ ලංකාදීප වෙබ් අඩවියේ තිබීයි.
"අමාත්‍යංශ සියල්ලකම පාහේ දැනට පාවිච්චි කරන වාහන බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයෙන් පවතින ඒවා. උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකුට වාහන නැහැ. ඒ සඳහා ඉල්ලූම් කර තිබුණා. නමුත් එම අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අත්හිටුවා තිබෙනවා. දැනටමත් ඒ තීරණය කි‍්‍රයාත්මක වෙනවා. සියලූ අමාත්‍යංශවලට අවශ්‍ය වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවා ඒ වෙනුවට මෙම සමුළුවට ගෙන්වන ලද වාහන ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණයකර තිබෙනවා."
[උපුටාගැනීම : ලංකාදීප වෙබ් අඩවිය]
වාහන ගෙන්වීමෙන් රටට වන වියදම් අධික තත්ත්වය කෙසේ නම් දරාගනීදැයි මුල සිටම හර්ෂ ද සිල්වා වැනි විපක්ෂයේ එජාප මන්ත්‍රී වරුන් පෙන්වාදී තිබිණි. එජාපය හා බොබසේ එකට එක් වී චෝගම් සමයේදී තෙල් ටිකට නාගත් බව වෙනම කතාවකි. ඒ නමුත් අටානූවක් ගොන්කතා මැද එකදු හෝ වටින කතාවක් මතක් කිරීම වටිනාකටයුතු ය. ඊට යන අධික වියදම වෙනුවට මංත්‍රී වරුන් භාවිතා කරන අලූත්ම අලුත් සුඛෝපභෝගී වාහන භාවිතා කරන්නැයි කීවද ඒ තර්ගය කනකට ගත්තේ ආණ්ඩුව නොවේ. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල බුලට්පෲෆ් බෙන්ස් රථ 54ක්ද, අතිරේකව ජපානයේ නිපැයූ මෝටර් රථ 175ක්ද, වෑන් රථ 60ක්ද, බස් රථ 30ක් ද ඒ අතර වේ. මේවාට වියදම් වන මුදල් මෙතැන සඳහන් කරන්නට ලියුම් කරු මහන්සි නොවන්නේ ඉන් ඔබේ පශ්චාත් චෝගම් ආතතිය මෙන්ම, පූර්ව චෝගම් විශාදය ද ඉහළ යන බව දන්නා නිසා ය. 
 
කෙනෙකුට චෝගම් වලට වියදම් කල මුදල සාධාරණයැයි තර්ක කරන්නට හැකියාව ඇත.. ඊට ලියුම් කරු කිසිවක් කියන්නට බැඳී නැතත්, ලියුම් කරුට අනුව [ඔහු ජීවත් වන්නේ ලංකාවේ නිසා ජීවන බර තදට දැනේ] මේවා මීට වඩා සොයා බලා අවර කොන්වල වියැකී ලේඛන ගත නොවූ වියදම් ද ගණනය කලහෝත් දැනට එළිලා ඇති චෝගම් අයවැය අංක, අවලංගු කාසි මෙන් වන බව, ඉර හෙට පායනවා මෙන් ශුවර් ය.

2014 අයවැය කථාව නොවැම්බර් මස 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බව රජයේ පුවත් අඩවිය දැනුම් දී ඇත. ඒ අනුව දැනට පවතින වියහියදම් ද අධිකවන කාලයක් පසුකරන මේ දූපත තුල ජීවත් වන අපි ලබන වසරේ අයවැය තුලින් අප හට සහනයක් සැලසේ යැයි විශ්වාස කටයුතු ව පවසන්නේ කෙසේ ද? බොහෝ මගුල් ගන්නේ මගුල අවසන එකතුවන ලියුම්කවර තෑගි තුලින් වියදම පියවාගන්නට වුවත් මේ චෝගම් මගුල අවසානයේ ඉතුරු වන්නේ රුපියල් පනහ සීය දැමූ ලියුම් කවර කිහිපයකුත් අධිකව කැඩී බිඳීගිය පිඟන් කෝප්ප ටිකකුත් නොවන බවට අප පවසන්නේ කෙසේ ද? පශ්චාත් චෝගම් ආතතිය අපේ දන මන තුල තීව්‍ර වන්නේ ඕවා ගැන කල්පනා කරන විටය. අවුලක් නැත, සති දෙකක් යන විට මේවා අමතක වනු ඇත..

තතු මූලයන් :
www.lankadeepa.lk