පුද්ගලික බව ජාලගත කිරීම

      ඒ ලෙවල් වලට පන්ති යන්න නුගේගොඩ රොටරියේදී එක්කහු වෙච්චි සෙට් එක ඒලෙවල් කරලා අවුරුදු නවයකට වඩා ගෙවුනත් තවමත් අපි අතර සම්බන්ධ වෙලා තියෙන්නේ අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න. උසස්පෙළින් පස්සේ ගෙදර ඉඳන් කැම්පස් යාවි යැයි කියලා විස්වාසයක් නැති සමහරු ජොබ් හෙව්වා.., කැම්පස් පාස් වෙයි කියලා විශ්වාසයක් තිබ්බ සුධීරා, චමෝද, රචිත් වගේ අය වෙලාව වෙන්කලේ 2003, 2004 කාලේ වෙනකොට අන්තර්ජාල පහසුකම් අස්සේ තියෙන එක එක රසවින්දන කොටස් හොයන්න.., විශ්ව විද්‍යාලේ යාම ගන විශ්වාසය නොතිබ්බ මම වගේ අය, පිස්සුව රස්සාව කරගෙන වෙබ් අඩවි නිර්මාණ කරුවෙක් විදියට රැකියාව කරන අතරතුරේ අපේ පරණ රොටරි කණ්ඩායම අර ඉහතින් කිව්ව විදියට ඔන්ලයින් ඉන්න නිසා නිතර කතා බහ කරන්න ලැබුණා, සිංහලයාඩොට් කොම්, කපුටා ඩොට් කොම් වගේ වෙබ් අඩවි වල චැට් රූම් අස්සේ අපි නිතර හමු වුනා.., එහෙම කතා කරන එක දවසක අපේ අය අතරේ මුස්ලිම් කොල්ලෙක්ට හිටියේ අක්‍රම් විතරයි.., කැඩිච්චි සිංහල කතා කලාට බාලාංශයේ ඉඳන්ම සිංහල ඉස්කෝලෙක ගිය නිසාද කොහේදෝ අපි අපි අතරේ අකුරු අස්සෙන් කතා කරනකොට අපේ ගැටලු බව දැනුනේ නෑ.

අන්න, සුධීරා කාලෙකට පස්සේ කවියක් ලියලා..,
අක්‍රම් එහෙම කියලා කවිය කියවන්න සබැඳියක් දුන්නා.
සුධීරා අපි එක්කලා එකට පන්ති ගිය එක්කෙනෙන් උනාට අපි අතරින් මුලින් ම පවුල් පන්සල් වෙච්චි අයගෙන් එක්කෙනෙන් තමා එයා. මුලින්ම දන්න කාලේ අන්තර් ජාලේ සමාජ ජාල වෙබ් අඩවි වල තියෙන ෆොරම් වල කවි ලියන්න ගත්තු අය ගෙන් එක්කෙනෙක් උනු සුධීරා රස්සාවත් ලැබීමත්, අනෙකුත් වගකීම් කටපිට වැටීමත්, නිසා ටික ටික ලියන එක අඩු වුණා. හිත බඳගන්න රූප සම්පත්තියක් වගේම ලස්සන වචන මාලාවකින් කවි ගොතන සුධීරා ලියන කවියක් කියවන්න අපි මඟ බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා අපි ඔක්කොම අක්‍රම් හදීසියේ හොයාගත්තු සුධීරා ලිව්වැයි කියපු කවිය කියවන්න, චැට් තිරයට දාපු සබැඳිය අස්සේන් අපි සුධීරාගේ බ්ලොග් එකට ගියා..,
අහෝ පෙම් සබඳ
නුඹ සොයන
ස්වර්ග රාජ්‍යය
මා අස නොමැතිනම්
කිමද තෙවසරකට පෙර
මා හදේ සැතපුනේ
නුඹේ පෙම තුල
මා සෙවූ
නිදහස නොලැබුණත්
මා සිතූවේ
මා ලැබුම නුඹේ
පැතුමයි කියා
එසේ නොවන බව
මම දැනගතිමි..,
හිමි සබඳ මම
නුඹෙන් වෙන්ව යමි..!


මේක මහ අඳෝනාවක් නේ??
හැමදාම කවුරු හරි කවියක් කතාවක් දැම්මම ඒකේ වැරැද්දක් හොයන රචිත් සුපුරුදු ලෙස තමන්ගේ පළමුවෙඩි මුරය පත්තු කලා.., කොතරම් යාලුකම් තිබ්බත් හිතර පරස්පර ප්‍රකාෂයක් කරන විට ඊට එදිරි වෙන තමන්ගේ අදහස කියන්න නොපැකිල ඉදිරිපත් වෙන ඒ වෙලේ චැට් එකේ හිටපු ගොඩක් අය සුධීරාගේ කවියට රචිත් දීපු උත්තරේ දැකලා නිහඬ වුනේ ඔවුනේ ගේ හිත්වලත් රචිත්ගේ හිතේ ඇතිවෙච්චි හැඟීම ම ඇතිවුනු නිසා වෙන්න ඇති කියලායි මේ දිහා බලා හිටපු මට නම් හිතුනේ..,
මිනිහෙක් එක්ක ආදරේ බෙදාගනිද්දී වෙන ගැටලු අපි හැමෝ එක්කම බෙදාගන්නකොට අපේ ආදරේ අස්සේ තියෙන පෞද්ගලික බව නැතිවෙනවා නේද..?
දවසක් මාත් එක්ක විජිත යාපා එකේ පොතක් ගන්න ගිය වෙලාවක මගේ මිතුරෙක් ඇහුවා.., ඒ වෙලාවේ මම ඊට හිනාවකින් විතරක් උත්තර දුන්නේ, මගේ පළමු ප්‍රේමය බිඳ වැටිලා මම ඒ ගැන අන්තර් ජාලය අස්සේ මගේ ඉඩේ තනිව කතිකාවක් ගොඩ නගමිනි හිටි නිසාවෙන්. ඒත් ඔහු අහපු ප්‍රශ්ණේ මගේ හිත තුල කැකෑරෙමින් තිබ්බ ප්‍රෂ්ණයක්.., කොහොමටත් මම පසුව තේරුම් ගත්තා හිතේ දුකට එදිරිව තනි පුද්ගල කැරැල්ලක් ගසන්නට යාමෙන් වෙන්නේ මගේ හිත තුවාල වෙන එකමයි කියලා.., පසුව මේ දෙවල් ගැන මධ්‍යස්ථව හිතද්දී මට ආවේ ගැටලු දෙකයි ඒ,
·         ඇයි එහෙම ගැටලු අනිත් අය එක්ක බෙදාගතයුත්තේ..?
·         දෙදෙනෙක් අතර වෙන දේ පෞද්ගලික නම් ඇයි ඈ/ඔහු එකිනෙකාගේ ආශ්‍රයෙන් වෙන් වූ සැනින් ඊට [අ]ප්‍රසිද්ධියක් දෙන්නේ..?

ඇත්තටම ඔවුන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇත්තටම වෙන්නේ පවතින ලෝකේ සබඳතා තොරතුරු තාක්ෂණයත් එක්ක බැඳී තියෙනකොට අප වටා ප්‍රවාහයක් [crowd] සිටිනා බව දැනුනම අදහස් උදහස් දැනගන්නට අප තුල පවතින ඕනෑකම අපටත් හොරා අපේ හිත් ඔස්සේ සමාජ ජාල අඩවි හරහා එලියට එන බවක්..,
" මිනිස්සු කොහොමත් කැමති නෑ, තනියම ඉන්න.., ඒකයි මිනිස්සු අන්තර්ජාලය හරහා හමු වුන කිසිදා නොදැකි මිනිස්සුන් හට ඔවුන්ගේ දුක පවසා හිත් නිදහස් කරගන්නේ හරියට, මම ඔයාට මගේ දුකක් කියනවා වගේ..,"

වසර පහක සිට මා හා සතියකට වරක්වත් කතා කරන මගේ ජපාන මිතුරිය තොමෝයි මේ ගැන ඇයගේ අදහස විදියට කියන්නේ.   සමහරවිට සුධීරාට හිතේ මොනවා හරි ගැටලුවක් ඇති ඒ නිසා වෙන්න ඇති එයා මේ විදියට හිතේ දුක එළියට දාන්නේ.., ඒත් ඒකෙන් අනිත් අයගේ ආකර්ෂනය හොයන එකනම් තේරුමක් නැති වැඩක්..! අපි අන්තර්ජාලය තුල චරිතයක් වෙන්නට අපේ පෞද්ගලික බව ඕනෑවට වඩා භාවිත කලොත් ඉන් සිදුවන හානිය වන්නේ අපටමයි..,  මම මේ ගැන කල්පනා කරමින් තීරය දෙසට නෙත් යොමු කරා.., තවමත් කට්ටිය චැට් එකේ බරටම කතාව මම ඒ පැත්තට යන්න මගේ ඇඟිළි ඉක්මන් කෙරුවා.

කියවපු අහපු!

මොනවත් ලියපු නැති නිසා කලෙකින් ආපහු මේ පැත්තේ ඇවිල්ලා මොනවා හරි කුරුටු ගාලා යන්න ඕන කියලා හිතෙනකොට මොකද්දෝ කම්මැලි කමක් එක්ක මිශ්‍ර වෙලා එන හැඟීමක් හිතේ ඇතිවෙනවා.., පහුගිය දවස් ටිකේ උදේ පාන්දර වැඩට ගිහින් ගෙදර ඇවිත් නාලා කරලා එක්කෝ පොතක් එහෙමත් නැති නම් චිත්‍රපටයක් හරි සින්දුවක් හරි අහලා බලලා කරලා වේලාසනින් නින්දට යන එක තමා පහුගිය සති ටිකේම මගේ රූටීන් එක වෙලා තිබ්බේ.
ලියවිලි වලට පොඩි නැවතිල්ලක් තිබ්බ වෙලාවේ මට හම්බ වෙච්චි පොත් ටිකයි, සින්දු ටිකයි නං මසුරං. මේ කියන්න යන්නේ ඒ ගැන..,
අහලා තියෙනවද සුනිල් මිහිඳුකුල මහත්මයා ගැන.., නම කිව්ව සැනින් මතක නැති නම් ලේක් හවුස් පත්තර වල දිනමිණ, සිළුමිණ, සරසවිය, රසඳුණ වගේ පත්තර වල විටින් විටේ විතැන් වෙමින් සිය ලියමන් කරපු කෙනෙක් ගැන.., එහෙමත් නැතිනම් මේ පත්තර වල පලවුණු පික්චර් පිස්සා තීරුලිපි පෙළ ගැන.., ආන්න ඒ තීරු ලිපි පෙළ ලියන්නේ සුනිල් මිහිඳුකුල. එතුමා ප්‍රසන්න විතානගේ එහෙමත් නැතිනම් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු වගේ අය එක්ක ග්ලෝබ් මුද්‍රණාලේ තුලින් එළි දැකපු සකුරා කියන විකල්ප සිනමා සඟරාවේ ආරම්භක සාමාජිකයෙක්. ඔහු දිගු කාලයක් ලියාගෙන ආපු පික්චර් පිස්සා තීරු ලිපි පෙළින් තෝරාගත් ලිපි එක්කහු කරලා පොතක් විදියට එළි දක්වලා.., අහම්බෙන් වගේ අවිස්සාවේල්ලේ ගුණසේන පොත් සාප්පුවට ගිය වෙලාවේ මේ පොත ඇහැ ගැහිලා අරගත්තා. එකදිගටම සුනේත්‍රාගේ මතක පොත එක දෙක, ගංගානාත්ගේ පැණිවළලු වගේ තීරුලිපි එක්කාසු පොත් කියවලා ලියවලා දැන් මේ වගේ පොත් කියවන්න මගේ පොත් කියවීමේ රුචිය වෙනස් වෙලාද කියලා හිතෙනවා. පෝලන්ත සිනමාව, ඇමෙරිකානු සිනමාව වගේම, රුසියානු, භාරත වගේම දේශීයසිනමාව ගැනත් අගනා ලිපි පෙළක් ම අඩංගුයි. කියවලා ම බලන්න. වෙනසක් දැනේවි.
පොත් ගැන කියවිල්ල ඇති.., අහලා තියෙනවද Deverists ගැන? Deverists කියන්නේ රියැලිටි ෂෝ එකක්.., ඒත් මේක වෙනස් රියලිටි ෂෝ එකක්.., මේක වට්ටෝරුගත වෙන්නේ ට්‍රැවල් සහ මියුසික් යටතේ.., ඉන්දියාව තුල තමන්ගේම ගීත සලකුණක් තියපු යම් ගීතයක් පළමු නෝට් එක ඇසීමෙන් ම මේ අසවල් ගායකයාය යන හැඳීනීමක් කරගත හැකි සංගීතඥයින් කීප පොළක් එක්කාසු වෙලා ඔවුන්ගේ සංගීතමය සහ භාවමය ආවේණිකතා ගීතයක් තුලදී එකතු කර එළිදැක්වීම තමයි මෙහෙදී ප්‍රධානවශයෙන් ම සිදුවන්නේ. එයට අමතර ම ඉතා විශාල උප සංස්කෘතීන් ගණනාවකින් වර්ණවත් වීමෙන් සැදී භාරතය තුල විවිධ දේශමායිම් හරහා ගමන් කරමින් ඊට අනුකූළව සංගීතය තුලින් ඔවුන්ගේ සලකුණ තැබීම තමා Deverists තුල සිදුවන්නේ..,

එයට අමතර ම ඉතා විශාල උප සංස්කෘතීන් ගණනාවකින් වර්ණවත් වීමෙන් සැදී භාරතය තුල විවිධ දේශමායිම් හරහා ගමන් කරමින් ඊට අනුකූළව සංගීතය තුලින් ඔවුන්ගේ සලකුණ තැබීම තමා Deverists තුල සිදුවන්නේ.., මේ වනකොට දෙවැනි සීසන් එක (යල?) ගෙවමින් ඉන්න මේ අපූරු වැඩසටහනේ සම්පූර්ණම කොටස් සියල්ලම නරඹන්නට මේ සබැඳිය තුලින් ගොසින් හැකියාව තියෙනවා.., සප්තස්වර අතර අරුමැසි හැකියාවන් සොයන මේ වැඩසටහන මෙහෙය වන්නේ Monica Dogra.

රෑ තිස්සේ පොත් කියවන පොත් ගුල්ලන්ට..,

පොත් වලට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා ඉන්නවද කියනවා නම්, කලුවර වැටුනට පස්සේ ඉඳගෙන පොත කියවන තැනින් නැගිටලා ලයිට් එකක් දාගන්නවා වෙනුවට අඳුරට සාපේක්ෂව ඇස් දෙක පොතට ළං කරගෙන කියවන්න උත්‍සහ කරපු අවස්ථා මම හිතන්නේ අතීතය අමතක නැති පොත් ලෝලී කියවන්නෙක් නම් අනිවාර්යයෙන් ඔබටත් උරුම ඇති.
එහෙමත් නැති නම් බෝඩිමක පදිංචි වෙලා වැඩට යන එන කෙනෙක් නම් මැරිලා මැරිලා කාමරේ වැටිලා නිදියන්න එන ඔබේ මිතුරාට දෙගොඩ හරි ජාමයක් වෙනකම් ගලන ඔබේ පොත් කියවිල්ල මල කරදරයක් වෙලා ඔබේ කිසිත් නොදන්න අම්මා අප්පා මතක් කල අවස්ථා ඇති.
තමන් කැමතිම පොතේ හොඳම කොටස කියවගෙන යනකොට එක පාරටම විදුලිය විසන්ධි වී දැහැන බිඳී පොත් කියවීම උගහට වූ කෙනෙක් වෙන්නට ඇති..,
එහෙව් ආලෝකය නැතිවීම යන සාධකය කාරණා කරගෙන ඔබේ කියැවීම නවත්වා දමා ඉන්නට දැන් අවැසි වෙන්නේ නෑ.., මේ උපකරණය ඔබ ළඟ තියෙනවා නම්..,


book light!
නිවසට සුපුරුදු විදියට අඩුවැඩිය ගේන්නට ෆුඩ්සිටියට ගොඩ වැදුනු වෙලාවේ තමා මට මේ අපූරු උපකරණය හමු වුනේ.., රුපියල් 690 මිලක් සහිතව වෙළඳ පොලට මෙය නිකුත් කරන්නේ එනජයිසර් ලංකා ආයතනයි.., එල් ඊ ඩී බල්බයකින් සහ එක දිගට භාවිතා කරන්නේ නම් පැය 30ක ආයු කාලයක් පවතින CR2032 ලිතියම් වියලිකෝෂ දෙකකින් සමන්විත මේ උපකරණය පොතේ ප්‍රමාණයට අනුව නම්‍යශීලීව සකසා ගත හැකි බඳකින් යුක්තයි..,
කොටුව දෙවැනි හරස් වීදියේ නිතර සැරිසරන්නෙක් හෝ අන්තර්ජාල වෙළඳ අඩවි භාවිතා නම් මීට වටා ඉතා අඩුමිලට මේ උපකරණයම මිලදීගත හැකිවේවි.

කියවන, කියවිය යුතු සහ නොකියවූ

ලියන්න දෙයක් නැති උනාම ලියවෙන්නේ මහ අමුතු දේවල්.., මේ දවස් වල ඔලුවේ තිබ්බ අදහස් ටික එක සුමේට එලියට දාපු හින්දාද කොහේදෝ මේ දවස් වල ලියවෙන්න එන අදහස් මඟක් ගිහිල්ලා ලොප් වෙලා භින්න වෙලා යන එක මහ කරුමක්කාර සීන් එකක්.., ඒ උනාට ඒ දේවල් ලියන්න වැය කල වේලාව මම කියවන්න අතෑරිච්චි පොත් කියවන්න වැය කලාම අර පාඩුව ක්‍රමක්‍රමයෙන් ශූන්‍ය වෙන්න ගත්තේ මටත් නොදැනීම.., මේ දවස් වල මම කියවන්නේ මගේ හිතාදර මිතුරියක් වන මලීගෙන් ඉල්ල ගත්තු පොතක්.., ඒක කතාවක් නොවුනත් කතුවරයාගේ කාලය සහ අත්දැකීම් වල හරස්කඩක් කියලයි මට නම් හිතෙන්නේ..,

පොත ලියලා තියෙන්නේ තිස්ස අබේසේකර, පොතේ නම අයාලේ ගිය සිතක සටහන්.., පොතේ මිලට සාපේක්ෂව එහි වටිනාකම ඉතාම ඉහලයි කියලයි මට නම් හිතෙන්නේ.., මේ ආකාරයේ ස්වයං අත්දැකීම කියවන්න මම පුරුදු උනේ සුනේත්‍රාගේ මතකපොත එක සහ දෙක කොටස් කියවන්න අරගෙන.., සුනේත්‍රා ඒ ලියපු මතක පොත තීරු ලිපි එකතුවක්.., අයාලේ ගිය සිතක සටහන් කියන්නේත් තීරු ලිපි එකතුවක්.., සරළ බසින් එදා ජීවත් වෙච්චි සමාජය ගැන සුපරීක්ෂා කාරීව ලියලා එක්තැන් කල අදහස් ගොන්නක්.
මේ වගේම තවත් පොතක් මම කියවන්න හිතාගෙන ඉන්න ලිස්ට් එකේ උඩින් ම තියෙනවා ඒ ගංගානාත් දිසානායකගේ පැණි වළලු. මම ඔය පොත ගන්නම සරසවියට ගොඩ වැදෙද්දී පොත ඉවර වෙලා ආපහු ප්‍රින්ට් එකක් එන්න ඕනේලු.., පොත් ප්‍රදර්ශනය බලන්න ගියේ නැති නිසා පොත ඇවිල්ලාද කියලා මම දන්නේ නෑ.., වෙලාවක ගිහින් බලන්න ඕනේ ඔලුව දාලා. කැමති නම් මේ සබැඳියෙන් කතුවරයාගේ ආයතනික බ්ලොග් අඩවියට ගිහින් පැණි වළලු තීරු ලිපි ටිකක් කියවන්න පුලුවන්.

ඊට අමතරව අපේ හිතාදර "මගේ මරණය" පොත් ප්‍රදර්ශනය බලන්න යනවා කීව වෙලාවේ පුලුවන්නම් කොපියක් ගනින් කියලා කියන්න හිතාගෙන හිටපු පොතක් තිබ්බා.., ඒ තමා මම කාලයක් ආසාවෙන් කියවපු බලංගොඩ සරත් මධූ ඇඳි ඉතින් ඊට පස්සේ චිත්‍ර කතාව.., ඒක මේ පාර පොත් ප්‍රදර්ශනේ දී පොතක් විදියට එළිදක්වලා තිබුණා.

මේ පොත් ඔක්කොම ඔලුවේ තියාගෙන හෙට අනිද්දාට වත් වට්ටම් නැතත් අවිස්සාවේල්ලේ ගුණසේන එකට ගොඩ වැදිලා තියෙන පොත් ටිකවත් උස්සන් එන්න ඕනේ.., ඒක මම කොළඹ ගාටනවට වඩා ලාබයි.

හිතට වද දෙන නිමිත්තක්

මීට කිහිප දවසකට ඉහතදී මම ගෙදරට බඩු වගයක් ගන්න ෆුඩ්සිටියට ගියා. ගන්න උවමනා කල බඩු ටික අරන් එලියට එනකොට වාහනය වටේටම වෙනත් වාහන නවත්වා ඇති නිසා මම ටික වෙලාවක් වාහනය තුලට වී සිටියා.., මෙහෙම ඉන්න වෙලාවේ එක වයසක සීයා කෙනෙක් අනිත් නවතා තිබූ වාහන වල වීදුරු තුලින් අත දමමින් සිඟමන් ඉල්ලමින් ආවා.., සමහර අය වීදුරුව උස් කර නොඇහුන සේ හීටියත, බඩ ගින්නේ ඉන්න වයසක මනුස්සෙයෙකු නේද කියා සිතා අතේ තුබූ රුපියල් දහය කාසිය ඔහු වෙතට දෙන්නට මම හිත හදාගත්තා.
මගේ වාහනය වෙත ආ මේ මනුස්සයා සුපුරුදු ලෙසම මා වෙතත් ඔහුගේ රැළි වූ අත්ල පෑවා.., මම කාසිය තුබූ සැනින් අත එළියට ගත් මේ මනුස්සයා දෙයියන්ගේම පිහිටයි මහත්තයාට කියා හසරැල්ලකින් යුතු මුහුණින් කීවා..,එහෙත් මා වෙනත් මනුස්සයෙකුගෙන් නොම එන සුවඳක් වහනය වූ නිසා මම තවත් ඔහු වෙත විමසිලිමත් වුනා.,
මේ මිනිහා නං බීලද කොහෙද?
යටිහිත මට කියන්නට වුනා..,
බුදු බණේ තමා කෙනෙකු යම් දෙයක් දුන්නේ නම් ඒ පිළිබඳව තව තවත් සිතීම ඒ දීමේ චේතනාවෙන් ලැබෙන ආනිංසංසයට හානි කරන වග දැක්වෙනවා. එහෙත් දුන් මුදල ගැන දුකක් නැතත්, සිය අවර ජීවන රටාව නිසා වලපල්ලට යන මේ දෙලොවටම නැති ජීවිතය නැතිවෙන්නට මම බිඳුවකින් හෝ දායක උනා නේද යන සිතුවිල්ල මා තුල තියෙනවා.., එය තවමත් මා සිත පෙලනවා..!
ඔහු මේ වන විටත් අතට ලැබෙන හිඟමනෙන් එදාවේලට සරිලන රහමෙරක් තොලගා සිටිනවා වෙන්න පුලුවන්..!
ඒත්
ජීවිතය කියන්නේ හරිම වෙනස් තැනක්.., ඔබ නොදැනුවත්ව ම ඔබ කෙනෙකුගේ ජීවිතය අවරගත් වෙන්නට නිමිත්තක් වෙන්නට හැකියි.., 
විශ්වාස කරන්න මම ඒ අත්දැකීම වින්දා..!

කලකට පෙර ඇසූ වතක්


එකමත් එක රටක අන්ධ යාචකයෙක් ජීවත් උනා. ඔහුට කන්න අඳින්න තියා යන්න එන්නටවත් පණ තිබුණේ නෑ.., ඔහුව රැක බලා ගත්තේ ඔහුගේම පුත්‍රයා.., ගුණවත් බවින් අනූන මේ පුතා සිය දෑස් නොපෙනෙන පියාව රක්ෂා කලා. ඉතින් මෙහෙම ඉන්න වෙලාව, මේ නුවරට පිටනුවරකින් ආපු වෙළෙන්දෙකු මේ යාචකයා අසලින්ම භාන්ඩ තබාගෙන විකුණන්නට පටන් ගත්තා..,

මේ බඩු හරිම ලාභයි.! එසේ කියමින් වෙළෙන්දා බඩු වික්කා..!
වෙළෙන්දාට තනි රැක්කේ මේ යාචකයා..!
වෙලෙන්දාගේ තනියට හිටපු කතාබස් කල යාචකයාට වෙළෙන්දා මෙහෙම කිව්වා..!
මම මගේ වෙළඳාම් කරලා ඉවරයි.., හොඳ ලාභයකුත් උපයාගත්තා..,
ආ දිනයේ සිට මා එක්කලා මිත්‍රකම් පැවැත්තුවාට බොහොම පිං..!
මේ පොඩි තෑග්ග මා මතක් වෙන්ට තියාගන්ට.

මෙහෙම කියලා වෙළෙන්දා අර යාචකයාට අමුතු ළාම්පුවක් දුන්නා..,
යන්නට ලෑස්ති වෙලා ඔහු මෙසේ යාචකායාට කිව්වා.
ඕක ඇතුලේ රහසක් ඇති..,මෘදුව පිරිමදින්න එය එළිලාවි, ඒ තුල ඇට්තේ එක වරයක්.
ඒ එක වරය මොලේ පාවිච්චි කරලා භාවිතා කරන්න,
එය ඔබව සදහටම ධනවතෙක් කරාවි

වෙළෙන්දා ගියාට පස්සේ වෙළෙන්දා දවසක මේ පහන් අරන් පිරිමදින්න ගත්තා..,
මෙහෙම පිරිමදිනකොට පහනෙන් භූතයෙකු මතුවුනා..,
මමයි මේ පහණට අදිපති භූතයා, මට තව ඇත්තේ එකම වරයයි.., ඒ නිසා ඒ එක වරය නුවනැත්තෙක් ලබාගෙන සැප සම්පත් ළඟා කර ගනීවි යන්නයි මගේ පැතුම..,හොඳට කල්පනා කරලා තමන්ගේ වරය ඉල්ලන්න..,

යාචකයාට මෙහෙම කල්පනා වුනා.
මට දරුවෙක් ඉන්නවා,
ඔහුට ජීවත් වෙන්න ධනය අවැසියි..,
ඔහු ජීවත් වෙන අයුර බලන්න මගේ සිහිනයක් තියෙනවා..,

මෙහෙම දිගින් දිගටම කල්පනා කල යාචකයා භූතයාගෙන් මෙහෙම ඉල්ලීමක් කලා

මට ආසයි මගේ පුතා රජවෙනවා බලන්න.

Image : http://is.gd/tLUiRD

දෙමාපියන්ගේ සිහින වල බර අදින නාට්ටාමි පරපුරේ දරුවෝ

පුතා ලොකු උනාම කවුරු වෙන්න කැමති..?
ඉස්සර ගෙදරට එන ගොඩක් අය එක එක ජාති වල සෙල්ලම් බඩු එක්ක මම සෙල්ලම් කරන දිහා බලලා මගෙන් අහනවා මට මතකයි.., සමහර වෙලාවට ගෙදරට එන අය මගෙන් අම්මා තාත්තා ඔයාට කොච්චර ආදරේද වගේ ගොං ප්‍රශ්ණ අහනවාත් මට අමතක නෑ.., අම්මගේ තාත්තාගේ ආදරේ ප්‍රමාණාත්මකව පෙන්නන්න පුලුවන්ද කියන මතය ඇතුලේ පොඩි කාලේ ඉඳම්ම මම හිටියා කියලා කියන්න අද වෙනකොට මට පුලුවන් උනත්, එදා එහෙම මොකෙක් හරි අහනකොට මට ඒකට දෙන්න උත්තරේ විදියට අදාල වචන මා සතුව තිබ්බේ නෑ කියලයි මට හිතෙන්නේ..., 
එහෙම අසරණ කරන ප්‍රශ්ණයක් කවුරු ඇහුවම මම කලේ අත්දෙක දෙපැත්තට කරලා මේන්න මේ තරම් කියලා කියනවා, ප්‍රශ්ණය අහපු මනුස්සයා මගෙන් ඒක උත්තරේ විදියට අරන් මා ගැන අපේ අම්මා එක්ක ,
හරී කියුට් පොඩි එකා නේ? ඔයා මෙයාට ගොඩාක් ආදරේද?
වගේ මගෙන් අහපු ප්‍රශ්ණේම අම්මගෙන් [මදර් වර්ශන්] අහන්නේ මොන මගුලක් හිතේ තියාගෙනද කියලා මට තාමත් ප්‍රශ්ණයක්.., ගෙදරට ආපු අමුත්තෙකු නිසාත්, ආගන්තුකයෙකුට හිත රිදෙන ලෙස කතා කිරීම නොයුතු නිසාත් කරබාගෙන සිනහවකින් පමණක් උත්තර දී ප්‍රශ්ණය මඟ ඇරපු වෙලාවල් මට තවමත් මතකයේ තියෙනවා, 
මේ ගැටලුවේම යාවත්කාලීන තත්ත්වය උදා වුනේ මම 1 වසරේ පන්තියට මොන්ටිසෝරි ඉඳන් ගිය මුල්ම සතියේ අපේ බාලාංශ පන්තියේ ටීචර් වෙලා හිටියේ ගුණවතී මිස්.., දැන්නම් ඒ උන්දෑ වෙන ආත්මභාවයක උප්පත්තිය ලබලත් ඇති. ඒ දවස් වලත් උන්දෑගේ වයස අවුරුදු හැට ගාණක්.., බාලාංශයට ගුරුවරු නැති නිසා ස්වේච්ඡාවෙන්ම සේවයකරන්න ආපු ආදර්ශවත් ගුරුමවක්. ඉතින් අපි වෙනදා වාගේම ඉඳගත්තම පන්තියෙන් පාඩම යන අතර වාරේදී මොකක් හරි සීන් එකකට
හා.., ළමයි කියන්න බලන්න ඔයාලා ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියලා
ඔන්න ඉතින් ළමයි එක එක උත්තර දෙනවා.., සමහරු දොස්තරලා, සමහරු ඉංජිනේරුවෝ, තවත් සමහරු පයිලට් ලා ඔන්න ඔහොම.., මගෙ ගාවට ටර්න් එක ආවම මගෙනුත් ඇය උත්තරයක් බලා පොරොත්තු උනා.., මම මගේ හිතට ආපු විදියට මම උත්තරේ දුන්නම..,
මොනව..???
ඔය ළමයාව මේ ඉස්කෝලෙට දාලා තියෙන්නේ ඔයාලගේ දෙමවිපියෝ ඔයාව ටේල‍ර් කෙනෙක් කරන්නද???
මේ විදියට නම් හැදෙන්න එපා කියලා මාව පන්තිය ඉස්සරහට ගෙනල්ල දණ ගස්සවලා තිබ්බ විනාඩි දහයක් විතර..,  ඒත් එහෙම වෙත්දීත් මම දැනගෙන හිටියේනෑ මේ මොකටද දණ ගහන්නේ කියලා.., ඒත් සිද්ධිය නම් මට මතකයේ තිබ්බා.., ඒ මගේ පාසල් ජීවිතයේ මුලින්ම ලැබුණු දඬුවම නිසා.
ඉතින් ඒ සිද්දිය මේ කතාවට සම්බන්ධ කරනකොට ළමයින් තමන්ගේ අනාගත වෘත්තීය තීරණය කරන්නේ අර සාම්ප්‍රදායික අම්මලා තාත්තලා දෙන රාමුවට හිර කරලා, ඒත් ඒක කොයි තරම් සාධාරණද? මට හිතුනේ එහෙම.., කවදාහරි දරුවෙකු ලබන්නට වාසනාවක් තිබේනම් කවදාවත් ඔහුගේ/ඇය ගේ අනාගතය නැමති කැන්වසය ඔබට කරගන්නට නොහැකි වූ නො ඒසේනම් ඔබේ සිහිනය නැමති රාමුවට ඔබේ දරුවගේ සිහිනය රාමු කරන්නට තැනීමෙන්  සමහර විට දරුවාගේ අනාගතයම ඔහුට/ඇයට අහිමි වී යා හැකියි.., 
මම මේ සටහන් මේ විදියට කියන්නට හිතුවේ මේ ආකාරයේ අවිධිමත් සිහින සැබෑ කරගන්නට ගොසින් තමන්ට තමන් අහිමි වූ ජීවිත කිහිපයක් අපේ පරම්පරාව තුලත් ඉන්නා නිසාවෙන්.., මම ලියන බ්ලොග් කියවන මගේ පරපුරේ එවුන්ට මට කෙලින් කියන්නට බැරිවූ දේ කවදා හෝ මේ සටහන කියවා උන් දාරණය කර ගතහොත් එය මගේ සැබෑ අභිමතාර්ථය ඉටු වීමක් වේවි.

සංක්ෂිප්තයෙන් අසංක්ෂිප්තයට පාර කියන උපේක්ෂා ගේ කවි පළිඟු කැට

මේ වන විට වත් පොත් නො එසේනම් Facebook හී කවියන් කිවිඳියන් අති බහුතරය සිය අත්දැකීම් අළලා තම පිටුවල එසේත් නැතිනම් බ්ලොග් වල හෝ ඉන් පරිබාහිරව පත්තර වලත් තම නිර්මාණ එළිදක්වනවා.., මම මේ කියන්න යන්නේ ඒ එළිදක්වන පිටු වල ඇති කවි ගැන නෙවෙයි.., මේ කවි විඳින එකතුවෙන අය අතර සිටින සමහර අය ඉන් එහා යන්නට එසේත් නැතිනම් උඩුගංබලා පිහිණීමක් කරන්නට උත්සහ ගන්න අවස්ථා විරළයි. දහස් ගණනක් ඔන්ලයින් ලියැවෙන කවි රස වින්දට ඒ විඳින රසය පොත ලෙස දොරට වඩින විට ඒ දෙස ඇසක් නොහරින සමාජයක, කවි පොතකට මිල නියම කල විට මිලදී ගන්නට තමා තුල ඇති සාහිත්‍යකාමය මුදලේ බලයට යටව යන්නට නොකමැත්තෙන් හෝ ඉඩදෙන මිනිසුන් සිටිනා රටක එඩිතරව කවි පොතක් හෝ එළිදක්වන්නට හිත හදා ගැනීම, මගේ චිනතන පරාසයන්ට අනුව "මාර වැඩක්" වෙන්නේ අන්න ඒ නිසා..,
පහුගිය දවස් කිහිපයකට පෙර මගේ බ්ලොග් සහෘදයින් කිහිප දෙනෙකු පසුගියදා පැවති TweetupSL හී දී හමුවීමෙන් පසුව එහිදී අපේ හිතවත් "මගේ මරණය" අතේ හරි හතරැස් පොතක් පෙරළමින් කියවනවා දැක්කා.., කියවන්නට ආසා හිතුනත් උත්සවය අවසානයේදී මරේගෙන් පොත ඉල්ලා ගැනීමෙන් අනතුරුව බසයට වී එය පිටත්වෙන තුරු පිටු පෙරළන්නට වුණා.


මෙච්චර වෙලා වට වන්දනා ගැහුවේ උපේක්ෂා අක්කගේ අභිනව කවි පොත වෙච්චි පළිඟු කැට වලට ප්‍රවේශයක් ගන්නටයි. ඉතාමත් සොඳුරු නිසඳැස් 63ක එකතුවකින් සමන්විත කවි පොතක නිසඳැස කියන සංකල්පයට ම සෑහෙන විදියට පොත ඉතාම හුරුබුහුටි ආකාරයට සකසා තිබෙන නිසා කවි කියවන්නට ප්‍රථම පොත වටේට හරව හරවා බැලුවේ සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් නිර්මාණය කරන ලද පළිඟු කැට පොතේ කංචුකයේ නිර්මාණත්මක බවත් කවි වල ඇති වටිනා කමට ඉතා ඉහල ආකාරයේ සාධාරණයක් ඉටු කරන නිසාවෙන්මයි.
"උපේක්ෂා සංක්ෂිප්ත කාව්‍ය රචනයෙකිලා වැඩි ප්‍රිය තාවයක් දක්වන බැව් පෙනේ. අනුකාරක මනසකින් යුතුව මෙවන් කවි ලියන්නට ගිය ඇතැමෙකුගේ සංක්ෂිප්ත කවි සංක්ෂිප්තය තුලම රැඳිණ. උපේක්ෂා මෙයින් වෙනස් වන්නේ සංක්ෂිප්තය අසංක්ෂිප්තය වෙත රැඳව්වීමට ඇය සමත් වීම නිසා ය."

කවියේ පෙරවදන ලියන මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මයා උපේක්ෂාගේ නිසඳැස් වලට ඇති පෙම ඉවැරදිව අඳුණාගෙන ඉතා අගනා විචාරය ඇයගේ ලියවීම පිළිබඳව පවසනවා, ඇය විසින් ලියන්නට යෙදුනු මේ පොතේ ඇති බොහෝ කවි ගැන කරන ලද ඉතා සංක්ෂිප්තමය කියවීමක් බව රචකයාගේ අදහසයි, සීමාගත වදන් කිහිපයකින් සුසැදි නිසඳැස් ආරේ මේ කවි තුල සහසකුත් වදන් වලින් කිව නොහැකිදේ ගැබ්ව ඇති යැයි කිවහොත් උපේක්ෂාගේ කවි රසිකයෙකු නම් ඊට එදිරිව කිසිවක් නොකියන බව සක්සුදක් සේ පැහැදිලියි. ආදරය, විරහව, කුසගින්න, ජීවිතය, මරණය, නිදහස වැනි මහා ප්‍රවාහයේ මෙන්ම කවියකට අකුරු වෙතැයි නොසිතන ආරේ මාතෘකා පවා උපේක්ෂාගේ පෑන් තුඩට හසුව අකුරු වී ඇති ආකාරය ඉතා ප්‍රශස්තයි.

කවි වලින් මගේ හිත මුලින්ම ඇදුනේ ඔහේ පිටු පෙරළද්දී අහම්බෙන් ඇස ගැටුණු 39 වෙනි කවිය හෙවත් "මහන්සිය" නැමැති සඳැසයි.

ඉණ වටේ රැඳි
ඩහ බිංදු ටික
බිම වැටුනේ
නව මසක් ගිය පසු

වචන කිහිපයක් තුලින් උපේක්ෂා කියවන්නාට උගන්වන සමාජ විද්‍යාව වචන කරන්නට ගියානම් කොතරම් කල ගතවේවිද? ඒත් ඒ සියලු හිස්තැන් පුරවමින් ඒ හැඟුම් එලෙසින්ම ලැබදෙන්නට උපේක්ෂාට එක මොහොතක අකුරු කරන වදන් කිහිපයක් හොඳටම ප්‍රමාණවත්. සමන් මහාචාර්ය රණසිංහ මහතා පැවසූ ඒ සංක්ෂිප්තය තුලින් අසංක්ෂිප්තයට පාර කපන නිර්මාණශීලී බවේ අරුමය ඔබ මේ පොත අතට ගන්නට ලැබුණ සැනින් ඒ පිටු අතුරින් ඔබට අත් විඳින්නට හැකිවේවි.
නිර්මාණශීලී බව යනු එයයි.