කලකට පෙර ඇසූ වතක්


එකමත් එක රටක අන්ධ යාචකයෙක් ජීවත් උනා. ඔහුට කන්න අඳින්න තියා යන්න එන්නටවත් පණ තිබුණේ නෑ.., ඔහුව රැක බලා ගත්තේ ඔහුගේම පුත්‍රයා.., ගුණවත් බවින් අනූන මේ පුතා සිය දෑස් නොපෙනෙන පියාව රක්ෂා කලා. ඉතින් මෙහෙම ඉන්න වෙලාව, මේ නුවරට පිටනුවරකින් ආපු වෙළෙන්දෙකු මේ යාචකයා අසලින්ම භාන්ඩ තබාගෙන විකුණන්නට පටන් ගත්තා..,

මේ බඩු හරිම ලාභයි.! එසේ කියමින් වෙළෙන්දා බඩු වික්කා..!
වෙළෙන්දාට තනි රැක්කේ මේ යාචකයා..!
වෙලෙන්දාගේ තනියට හිටපු කතාබස් කල යාචකයාට වෙළෙන්දා මෙහෙම කිව්වා..!
මම මගේ වෙළඳාම් කරලා ඉවරයි.., හොඳ ලාභයකුත් උපයාගත්තා..,
ආ දිනයේ සිට මා එක්කලා මිත්‍රකම් පැවැත්තුවාට බොහොම පිං..!
මේ පොඩි තෑග්ග මා මතක් වෙන්ට තියාගන්ට.

මෙහෙම කියලා වෙළෙන්දා අර යාචකයාට අමුතු ළාම්පුවක් දුන්නා..,
යන්නට ලෑස්ති වෙලා ඔහු මෙසේ යාචකායාට කිව්වා.
ඕක ඇතුලේ රහසක් ඇති..,මෘදුව පිරිමදින්න එය එළිලාවි, ඒ තුල ඇට්තේ එක වරයක්.
ඒ එක වරය මොලේ පාවිච්චි කරලා භාවිතා කරන්න,
එය ඔබව සදහටම ධනවතෙක් කරාවි

වෙළෙන්දා ගියාට පස්සේ වෙළෙන්දා දවසක මේ පහන් අරන් පිරිමදින්න ගත්තා..,
මෙහෙම පිරිමදිනකොට පහනෙන් භූතයෙකු මතුවුනා..,
මමයි මේ පහණට අදිපති භූතයා, මට තව ඇත්තේ එකම වරයයි.., ඒ නිසා ඒ එක වරය නුවනැත්තෙක් ලබාගෙන සැප සම්පත් ළඟා කර ගනීවි යන්නයි මගේ පැතුම..,හොඳට කල්පනා කරලා තමන්ගේ වරය ඉල්ලන්න..,

යාචකයාට මෙහෙම කල්පනා වුනා.
මට දරුවෙක් ඉන්නවා,
ඔහුට ජීවත් වෙන්න ධනය අවැසියි..,
ඔහු ජීවත් වෙන අයුර බලන්න මගේ සිහිනයක් තියෙනවා..,

මෙහෙම දිගින් දිගටම කල්පනා කල යාචකයා භූතයාගෙන් මෙහෙම ඉල්ලීමක් කලා

මට ආසයි මගේ පුතා රජවෙනවා බලන්න.

Image : http://is.gd/tLUiRD

දෙමාපියන්ගේ සිහින වල බර අදින නාට්ටාමි පරපුරේ දරුවෝ

පුතා ලොකු උනාම කවුරු වෙන්න කැමති..?
ඉස්සර ගෙදරට එන ගොඩක් අය එක එක ජාති වල සෙල්ලම් බඩු එක්ක මම සෙල්ලම් කරන දිහා බලලා මගෙන් අහනවා මට මතකයි.., සමහර වෙලාවට ගෙදරට එන අය මගෙන් අම්මා තාත්තා ඔයාට කොච්චර ආදරේද වගේ ගොං ප්‍රශ්ණ අහනවාත් මට අමතක නෑ.., අම්මගේ තාත්තාගේ ආදරේ ප්‍රමාණාත්මකව පෙන්නන්න පුලුවන්ද කියන මතය ඇතුලේ පොඩි කාලේ ඉඳම්ම මම හිටියා කියලා කියන්න අද වෙනකොට මට පුලුවන් උනත්, එදා එහෙම මොකෙක් හරි අහනකොට මට ඒකට දෙන්න උත්තරේ විදියට අදාල වචන මා සතුව තිබ්බේ නෑ කියලයි මට හිතෙන්නේ..., 
එහෙම අසරණ කරන ප්‍රශ්ණයක් කවුරු ඇහුවම මම කලේ අත්දෙක දෙපැත්තට කරලා මේන්න මේ තරම් කියලා කියනවා, ප්‍රශ්ණය අහපු මනුස්සයා මගෙන් ඒක උත්තරේ විදියට අරන් මා ගැන අපේ අම්මා එක්ක ,
හරී කියුට් පොඩි එකා නේ? ඔයා මෙයාට ගොඩාක් ආදරේද?
වගේ මගෙන් අහපු ප්‍රශ්ණේම අම්මගෙන් [මදර් වර්ශන්] අහන්නේ මොන මගුලක් හිතේ තියාගෙනද කියලා මට තාමත් ප්‍රශ්ණයක්.., ගෙදරට ආපු අමුත්තෙකු නිසාත්, ආගන්තුකයෙකුට හිත රිදෙන ලෙස කතා කිරීම නොයුතු නිසාත් කරබාගෙන සිනහවකින් පමණක් උත්තර දී ප්‍රශ්ණය මඟ ඇරපු වෙලාවල් මට තවමත් මතකයේ තියෙනවා, 
මේ ගැටලුවේම යාවත්කාලීන තත්ත්වය උදා වුනේ මම 1 වසරේ පන්තියට මොන්ටිසෝරි ඉඳන් ගිය මුල්ම සතියේ අපේ බාලාංශ පන්තියේ ටීචර් වෙලා හිටියේ ගුණවතී මිස්.., දැන්නම් ඒ උන්දෑ වෙන ආත්මභාවයක උප්පත්තිය ලබලත් ඇති. ඒ දවස් වලත් උන්දෑගේ වයස අවුරුදු හැට ගාණක්.., බාලාංශයට ගුරුවරු නැති නිසා ස්වේච්ඡාවෙන්ම සේවයකරන්න ආපු ආදර්ශවත් ගුරුමවක්. ඉතින් අපි වෙනදා වාගේම ඉඳගත්තම පන්තියෙන් පාඩම යන අතර වාරේදී මොකක් හරි සීන් එකකට
හා.., ළමයි කියන්න බලන්න ඔයාලා ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියලා
ඔන්න ඉතින් ළමයි එක එක උත්තර දෙනවා.., සමහරු දොස්තරලා, සමහරු ඉංජිනේරුවෝ, තවත් සමහරු පයිලට් ලා ඔන්න ඔහොම.., මගෙ ගාවට ටර්න් එක ආවම මගෙනුත් ඇය උත්තරයක් බලා පොරොත්තු උනා.., මම මගේ හිතට ආපු විදියට මම උත්තරේ දුන්නම..,
මොනව..???
ඔය ළමයාව මේ ඉස්කෝලෙට දාලා තියෙන්නේ ඔයාලගේ දෙමවිපියෝ ඔයාව ටේල‍ර් කෙනෙක් කරන්නද???
මේ විදියට නම් හැදෙන්න එපා කියලා මාව පන්තිය ඉස්සරහට ගෙනල්ල දණ ගස්සවලා තිබ්බ විනාඩි දහයක් විතර..,  ඒත් එහෙම වෙත්දීත් මම දැනගෙන හිටියේනෑ මේ මොකටද දණ ගහන්නේ කියලා.., ඒත් සිද්ධිය නම් මට මතකයේ තිබ්බා.., ඒ මගේ පාසල් ජීවිතයේ මුලින්ම ලැබුණු දඬුවම නිසා.
ඉතින් ඒ සිද්දිය මේ කතාවට සම්බන්ධ කරනකොට ළමයින් තමන්ගේ අනාගත වෘත්තීය තීරණය කරන්නේ අර සාම්ප්‍රදායික අම්මලා තාත්තලා දෙන රාමුවට හිර කරලා, ඒත් ඒක කොයි තරම් සාධාරණද? මට හිතුනේ එහෙම.., කවදාහරි දරුවෙකු ලබන්නට වාසනාවක් තිබේනම් කවදාවත් ඔහුගේ/ඇය ගේ අනාගතය නැමති කැන්වසය ඔබට කරගන්නට නොහැකි වූ නො ඒසේනම් ඔබේ සිහිනය නැමති රාමුවට ඔබේ දරුවගේ සිහිනය රාමු කරන්නට තැනීමෙන්  සමහර විට දරුවාගේ අනාගතයම ඔහුට/ඇයට අහිමි වී යා හැකියි.., 
මම මේ සටහන් මේ විදියට කියන්නට හිතුවේ මේ ආකාරයේ අවිධිමත් සිහින සැබෑ කරගන්නට ගොසින් තමන්ට තමන් අහිමි වූ ජීවිත කිහිපයක් අපේ පරම්පරාව තුලත් ඉන්නා නිසාවෙන්.., මම ලියන බ්ලොග් කියවන මගේ පරපුරේ එවුන්ට මට කෙලින් කියන්නට බැරිවූ දේ කවදා හෝ මේ සටහන කියවා උන් දාරණය කර ගතහොත් එය මගේ සැබෑ අභිමතාර්ථය ඉටු වීමක් වේවි.

සංක්ෂිප්තයෙන් අසංක්ෂිප්තයට පාර කියන උපේක්ෂා ගේ කවි පළිඟු කැට

මේ වන විට වත් පොත් නො එසේනම් Facebook හී කවියන් කිවිඳියන් අති බහුතරය සිය අත්දැකීම් අළලා තම පිටුවල එසේත් නැතිනම් බ්ලොග් වල හෝ ඉන් පරිබාහිරව පත්තර වලත් තම නිර්මාණ එළිදක්වනවා.., මම මේ කියන්න යන්නේ ඒ එළිදක්වන පිටු වල ඇති කවි ගැන නෙවෙයි.., මේ කවි විඳින එකතුවෙන අය අතර සිටින සමහර අය ඉන් එහා යන්නට එසේත් නැතිනම් උඩුගංබලා පිහිණීමක් කරන්නට උත්සහ ගන්න අවස්ථා විරළයි. දහස් ගණනක් ඔන්ලයින් ලියැවෙන කවි රස වින්දට ඒ විඳින රසය පොත ලෙස දොරට වඩින විට ඒ දෙස ඇසක් නොහරින සමාජයක, කවි පොතකට මිල නියම කල විට මිලදී ගන්නට තමා තුල ඇති සාහිත්‍යකාමය මුදලේ බලයට යටව යන්නට නොකමැත්තෙන් හෝ ඉඩදෙන මිනිසුන් සිටිනා රටක එඩිතරව කවි පොතක් හෝ එළිදක්වන්නට හිත හදා ගැනීම, මගේ චිනතන පරාසයන්ට අනුව "මාර වැඩක්" වෙන්නේ අන්න ඒ නිසා..,
පහුගිය දවස් කිහිපයකට පෙර මගේ බ්ලොග් සහෘදයින් කිහිප දෙනෙකු පසුගියදා පැවති TweetupSL හී දී හමුවීමෙන් පසුව එහිදී අපේ හිතවත් "මගේ මරණය" අතේ හරි හතරැස් පොතක් පෙරළමින් කියවනවා දැක්කා.., කියවන්නට ආසා හිතුනත් උත්සවය අවසානයේදී මරේගෙන් පොත ඉල්ලා ගැනීමෙන් අනතුරුව බසයට වී එය පිටත්වෙන තුරු පිටු පෙරළන්නට වුණා.


මෙච්චර වෙලා වට වන්දනා ගැහුවේ උපේක්ෂා අක්කගේ අභිනව කවි පොත වෙච්චි පළිඟු කැට වලට ප්‍රවේශයක් ගන්නටයි. ඉතාමත් සොඳුරු නිසඳැස් 63ක එකතුවකින් සමන්විත කවි පොතක නිසඳැස කියන සංකල්පයට ම සෑහෙන විදියට පොත ඉතාම හුරුබුහුටි ආකාරයට සකසා තිබෙන නිසා කවි කියවන්නට ප්‍රථම පොත වටේට හරව හරවා බැලුවේ සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් නිර්මාණය කරන ලද පළිඟු කැට පොතේ කංචුකයේ නිර්මාණත්මක බවත් කවි වල ඇති වටිනා කමට ඉතා ඉහල ආකාරයේ සාධාරණයක් ඉටු කරන නිසාවෙන්මයි.
"උපේක්ෂා සංක්ෂිප්ත කාව්‍ය රචනයෙකිලා වැඩි ප්‍රිය තාවයක් දක්වන බැව් පෙනේ. අනුකාරක මනසකින් යුතුව මෙවන් කවි ලියන්නට ගිය ඇතැමෙකුගේ සංක්ෂිප්ත කවි සංක්ෂිප්තය තුලම රැඳිණ. උපේක්ෂා මෙයින් වෙනස් වන්නේ සංක්ෂිප්තය අසංක්ෂිප්තය වෙත රැඳව්වීමට ඇය සමත් වීම නිසා ය."

කවියේ පෙරවදන ලියන මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මයා උපේක්ෂාගේ නිසඳැස් වලට ඇති පෙම ඉවැරදිව අඳුණාගෙන ඉතා අගනා විචාරය ඇයගේ ලියවීම පිළිබඳව පවසනවා, ඇය විසින් ලියන්නට යෙදුනු මේ පොතේ ඇති බොහෝ කවි ගැන කරන ලද ඉතා සංක්ෂිප්තමය කියවීමක් බව රචකයාගේ අදහසයි, සීමාගත වදන් කිහිපයකින් සුසැදි නිසඳැස් ආරේ මේ කවි තුල සහසකුත් වදන් වලින් කිව නොහැකිදේ ගැබ්ව ඇති යැයි කිවහොත් උපේක්ෂාගේ කවි රසිකයෙකු නම් ඊට එදිරිව කිසිවක් නොකියන බව සක්සුදක් සේ පැහැදිලියි. ආදරය, විරහව, කුසගින්න, ජීවිතය, මරණය, නිදහස වැනි මහා ප්‍රවාහයේ මෙන්ම කවියකට අකුරු වෙතැයි නොසිතන ආරේ මාතෘකා පවා උපේක්ෂාගේ පෑන් තුඩට හසුව අකුරු වී ඇති ආකාරය ඉතා ප්‍රශස්තයි.

කවි වලින් මගේ හිත මුලින්ම ඇදුනේ ඔහේ පිටු පෙරළද්දී අහම්බෙන් ඇස ගැටුණු 39 වෙනි කවිය හෙවත් "මහන්සිය" නැමැති සඳැසයි.

ඉණ වටේ රැඳි
ඩහ බිංදු ටික
බිම වැටුනේ
නව මසක් ගිය පසු

වචන කිහිපයක් තුලින් උපේක්ෂා කියවන්නාට උගන්වන සමාජ විද්‍යාව වචන කරන්නට ගියානම් කොතරම් කල ගතවේවිද? ඒත් ඒ සියලු හිස්තැන් පුරවමින් ඒ හැඟුම් එලෙසින්ම ලැබදෙන්නට උපේක්ෂාට එක මොහොතක අකුරු කරන වදන් කිහිපයක් හොඳටම ප්‍රමාණවත්. සමන් මහාචාර්ය රණසිංහ මහතා පැවසූ ඒ සංක්ෂිප්තය තුලින් අසංක්ෂිප්තයට පාර කපන නිර්මාණශීලී බවේ අරුමය ඔබ මේ පොත අතට ගන්නට ලැබුණ සැනින් ඒ පිටු අතුරින් ඔබට අත් විඳින්නට හැකිවේවි.
නිර්මාණශීලී බව යනු එයයි.

#TweetupSL

ද වන විට ලංකාව ඇතුලේ සමාජීයජාල වල ක්‍රියාකාරීත්වය පෙරට වඩා හැම අතෙකින්ම ඉදිරියට ඇවිත් තිබෙනවා., ඊට අමතරව ලංකාව තුල පෙර නොවූ විරූ ආකාරයෙන් සමාජීයජාල ආශ්‍රිතව රැකියා අවස්ථා වගේම විවිධාකාර ව්‍යාපාරිකමය ගුණයෙන් යුතු කටයුතු පවා සිදුකරන බව අප සියලුදෙනා මේ වන විටත් දන්නා දෙයක්.., ලංකාව තුල සෑම ජනතා මට්ටමක් අතරම මේ වන විට facebook සමාජීයජාලය පැතිරී ඇතත් අකුරු 140 කට අපේ අදහස් ලඝු කර පවසන්නට හැකි twitter ජාලය ජාලගතව කටයුතු බොහෝ දෙනා අතැඹුලක් සේ දන්නා අඩවියක් උනත්.., ෆේස්බුක් තරමට ම පැතිරී බවයි රචකයාගේ අදහස. ඒත් ෆේස්බුක් තරම් කරදර නැති නමුත් සිය ලබැඳියන් හා ෆේස්බුක් තරමට හෝ ඊටත් වඩා සම්බන්ධවිය හැකි twitter ජාලභාවිත කරන්නන්ට අතර තව තවත් ප්‍රචලිත කිරීම සඳහා සහ මේ වන විට ට්වීටරයේ සිටිනා අයගේ හිතවත්කම් තව තවත් වැඩි කිරීම අරමුණු කරගෙන හමුවක් පැවැත්වෙනවා. ඒ TweetupSL.
ලාංකික ට්විටර් පරිශීලකයින් අතර ජනප්‍රියතම චරිත දෙකක් වන @udaraumd සහ @moshanthi ගේ අදහසකට අනුව  මෙයට වසර දෙකකට පෙර 2010 අගෝස්තු 26 දින CocoVeranda හිදී ට්විටර් පරිශීලකයින් 100 කට අධික පිරිසක් සහභාගිත්වයෙන් පැවැත්වුණා.අවාසනාවකට මේ පළමු හමුවට මට යන්නට හැකියාවක් නැති වුණා.

පළමු හමුවේම වූ අති සාර්ථක බව නිසාම  2011 දීත් tweetupSL2 ඉසව්ව සංවිධානය කරන්නට සංවිධායකයන් පසුබට වූයේ නෑ., එහිදී ප්‍රධාන අනුග්‍රහකයා ලෙස Dialog ආයතනය විශාල කාර්යභාරයක් ඉටු කරන්නට ඉදිරිපත් වීම සුවිශේෂ කාරණාවක්. සහභාගීත්වය සලකුණු කරන හැමටම සමරු ටීශර්ට් එක බැගින් ලබාදීම සහ විවිධ තරඟ පවත්වා ජනග්‍රහණය කරන ට්විටර් පරිශීලකයින්හට ත‍්‍යාග පිරිනැමීම මෙහිදී වඩාත් සංවිධානාත්මකව කරන්නට සංවිධායකයින් උත්සුක වූවා.
මේ වරත් තුන්වැනි වරට TweetupSL හමුව මරදාන Warehouse Project පරිශ්‍රයේදී විශාල ට්විටර් පරිශීලකයන්ගේ එකතුවෙන් පසුගිය සැප්තැම්බර් 1 වන දින සවස 3 සිට 6 තෙක් පෙර නොවූ විරූ අනුග්‍රාගකයන් ප්‍රමාණයක් සහ ට්විටර් පරිශීලකයින් ප්‍රමාණයක් එකතුවෙන් පැවැත්වුණා. 

මේ කෙටි සටහන ඒ ඉසව්ව සංවිධානය කරන්නන් හට මීළඟ ට්විටර් පරිශීලක හමුව සාර්ථක කරලන්නට කුඩා හෝ ශක්තියක් වේ නම් එය රචකයාගේ පරමාර්ථය මුදුන්පත් කරලීමක් වනු ඇත.



ස්තූතියි @InduNan , @udaraumd

පොත් එක්ක ජීවිතේ හා තවත් කතා

සැප්තැම්බර් කියන්නේ පොත් වලට ආදරය කරන අයගේ ස්වර්ණමය මාසය, සවර්ණ පුස්තක සම්මාන අස්සෙන් එළියට එන පොත් ගන්න අපේ කස්ටිය ඉන්නේ සැදී පැහැදිලා.., කොහොමටත් පොත් වලට ආදරය කරන මිනිස්සුන්ට BMICH  එකේ තියෙන මේ පොත් මංගල්‍යය කියන්නේ ලිස්ට් හදාගෙන තමන් උපයන පඩියෙන් සුළු මුදලක් ඒ වෙනුවෙන් මොන අවශ්‍යතා තිබ්බත් වෙන් කරන ජාතියේ උත්සවයක්, පොත් ගන්න අස්සේ වෙනම ස්වීය පුද්ගලික හමුවීම් පවා මේ පොත් සල්පිල අස්සෙන් දාගන්න උත්සහ කරන්නේ මේ සලිපිල කියන්නේ තමන්ගේ හිත හිමි අයට ඒ ගැන කතා කරන්න පොත් හොඳ මාධ්‍යයක් සපයන නිසා.  මෙහෙම කියන මම පොත් කියවන්න පටන් ගත්හ හැටි මගේ අනිත් බ්ලොග් එකේ ලියලා තියෙන නිසා මම ආපහු කියන්න යන්නේ නෑ.., කැමති අයට ඒක මෙතැනින් බලන්නත් පුලුවන්.
කාලය වෙනස් වීමත් එක්ක මිනිස්සුන්ගේ අවැසිතා වෙනස් වීම සාමාන්‍ය දෙයක්, ඒ අස්සේ තමන්ගේ මූලික පරමාර්ත මුදුන්පත් කරගන්නවා වගේම ඊට අවැසි ක්‍රය ශක්තිය උපදවා ගන්නට ඌණ අවැසිතාවලට වෙන් කල මුදල් ඒ ඒ තැන්පතු වලින් ලබාගන්නත් සිදුවෙනවා.., ඉතින් මේ ක්‍රම වේදය තුලදී මා පවා ඉන් ගැලවීගත වූයේ නෑ.., මෙහි ප්‍රතිපලය වන්නේ ජීවිතයේ අර ඉහත කී පරමාර්ත මුදුන්පත් කරවා ගැනීම සඳගා අපි පොත් මිලදී ගැනීමට එකතු කල මුදල වියදම් වීමයි.., මේ අයුතු ක්‍රම වේදය සාධාරණය කරන්නට මගේ මුදල වියදම් කලේ මම ම නිසා, ඒ මතකයත් පෙරදැරි කරගෙන මෙහෙම හිතන්නට වුණා..,
මම ගැටහැත්තේ [රචකයාගේ ගම වන අතර එය කොළඹින් කි.මි. 72 කට පමණ දුරින් පිහිටා ඇත.] සිට කොළඹ දක්වා එන්නට සහ වෙනත් වියදම් වලට දරන්නට වෙන වියදම් එක්කලා බැලුවාම යම් ප්‍රතිශතයක් අඩුවෙන් මිල නියම කර ඇති කොළඹ ජාත්‍යන්තර පොහ් සල්පිලට ඇවිත් පොත් මිලදී ගැනීම මට අනුව පාඩු සහගත ක්‍රියාවක්.
ඔන්න ඔහොම කියලා මම මගේ හිත සනසා ගත්තා..,
ඒත්, ඕනෑම පොතක් එකම තැනකින් මිලදීගන්නට තියෙන හැකියාව නිසා අර මුදලේ ඌණ සංයුතිය ගැන කල්පනා කරලා ගෙදර ඉන්න එකනම් මහ අපරාදයක් කියලා හිතේ අනික් පැත්ත කියන්න ගත්තා..,

සල්පිල වන්දනා කරන්න යන්න බැරි උනොත් අඩුගානේ නුගේගොඩ, විදර්ශන, කියවන නුවණ, මරදාන දයාවංශ ජයකොඩි, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, ගොඩගේ වගේම පිටකොටුව ගුණසේන එකටත් ඔලුව දාන්න බලාපොරොත්තුව ඉන්නවා..,

තවදෙයක් කියන්න අමතක උනා.., ගොඩගේ එකට යනවා නම් උඩම තට්ටුවේ දකුණු ශාලාවේ මේස උඩ දාලා තියෙනවා.., පිට කවර නැති අතීතයේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ දැනට වෙළඳපොල නැති පොත්.., පොඩ්ඩක් ගිහින් බලන්න..!

මේ තියෙන්නේ මම ගොඩගේ එකෙන් ගත්තු පොත් ටිකක්..,
මේ ටිකට ගියේ රුපියල් 150ක් විතර..!
  • සුළංකුරුල්ලෝ [කවි] - ධර්මසිරි ගමගේ
  • ගොඩෝ උන්නැගේ එනකං - සුගතපාල ද සිල්වා
  • අරමට අඳුර එයි - ලක්ෂ්මී බෝඹුවල
  • දිග ගමනක කෙටි සටහන් - ඇන්. ටී. කරුණාතිලක
  • ප්‍රේම ගීතය - ජී. එස්. බී. සේනානායක
  • අවසාන ජවනිකාව - ප්‍රේමචන්ද්‍ර මාගම්මන
  • නදී පියගැට පෙළ - මාධව වෛද‍්‍යරත්න
  • ග්‍රීෂ්ම පුෂ්පය - ජයසුමන ධර්මබන්ධු
  • කෝපි අන්දරය - රැ. තෙන්නකොන්
  • ප්‍රථිමාව සහ තවත් කථා - බොබී. බී. බොතේජු
  • සිංගප්පූරු දරුවා - සුචරිත ගම්ලත්
  • අප දෙන්නා සහ තවත් කීප දෙන්ක් - මොණිකා රුවන්පතිරණ
  • ඩබ්ලියු. ඒ. සිල්වාගේ අප්‍රකට කෙටි නිර්මාණ සහ සන්නිවේදන සටහන් - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
  • ඒකච්ඡත්‍ර - විමලදාස සමරසිංහ

රුපියල් 150 කට පාඩු නෑ නේද?

අනුමෝදනා..!

Funny Boy රුවල් නැවක
නිමිති සොයන කල
සංසාරණ්‍යයේ දඩයක්කාරයා
AXE අතැතිව 
නිරුවත් වානරයා හා
යුද වදින විට
ChinaMan අස
ලක්සලේ බුදු සඳ
දිලේ මෙහැම එකතු කර 
මගේ 
සිත් අහස තුල..!

පහායි!! පහායි!!

දවසක් මහව පැත්තේ මහවිදුහලකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එනවැයි කියලා පනිවුඩයක් ලැබුණා.., කලාපේ තියෙන දක්ෂම විදුහල් වලින් එකක් වෙන මේ විදුහල නම් දරා තිබුණේ කලාපේ තියෙන හොඳම ගණිතමය හැකියාවන් ගෙන් පිරිපුන් දරුවන් සිටින පාසල විදියට. ඉතින් සුපුරුදු විදියට පාසලට ඇවිල්ලා ලොග් පොතේ තමන් ආ බව දැක්වෙන විදියට සටහනක් තියපු, අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සුපුරුදු විදියට මේ දරුවන් ගණිතයට මේ තරම් දක්ෂද කියලා බලන්න කියාලා බාලාංශ පංතිවලට ගියා.

"හා ළමයි හැමෝටම ආයුබෝවන්, මම මේ ඇවිල්ලා ඉන්නේ කොළඹින් ඔය ළමයින් ගේ ගණන් දැනීම පරික්ෂා කරන්න.., ඒ නිසා ඔය ළමයි හැමෝම මම අහන ප්‍රශ්ණ වලට හොඳට උත්තර දෙන්න ඕනෑ"

ඊට පස්සේ  විදුහල්පතිතුමා පන්තිය අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට බාර දිලා පන්තියෙන් එළියට ගියා..,

හා මට ඔය ළමයි කියන්න බලන්න, ඔය ළමයි ඔය ළමයින්ගේ තාත්තා එක්ක හවසක ටවුන් එකට යනවා ඒ ගියාම ඔය ළමයින්ට තාත්තා ටවුමෙන් ටොපී දහයක් අරන් දෙනවා.., ඔයාලා ගෙදරට එන ගමන් ටොපී 3ක් කනවා දෙකක් මඟදී නැතිවෙනවා..,
දැන් මට කියන්න ඔය ළමයින්ගේ අතේ තව ටොපී කීයක් ඉතුරුද කියලා..??

අධ්‍යක්ෂතුමාට පන්තියට දීපු ගණිත පැනය විසඳන්න එක දරුවෙක්වත් ඉදිරිපත් වුනේ නෑ.., විනාඩි පහක් විතර ගියාට පස්සේ පන්තියේ දොර ගාවට ගිය අධ්‍යක්ෂතුමා තරහෙන් මේ ගැන පාසලේ විදුහල්පතිතුමාට මේ ගැන සැල කර සිටියා..,

අයිසේ බලනවාකෝ ඕයි මේ පන්තියේ ළමයි කිසිම දක්ෂතාවක් මැත්ස් වලට නෑනේ.., මට මේක ගැන ඉහළට රිපෝර්ට් කරන්න වෙනවා..! 

හා එහෙමද සෑර්, හරි යමු බලන්න මයෙත් එක්ක..,
මෙහෙම කියාපු මුල්ගුරුතුමා අර අධ්‍යක්ෂතුමා එක්ක ආපහු පන්තියට ගියා.

" ඈ බොලව් තොපිලට මේ උන්නැගේ කියාපු කෙමන තේරෙන්නේ නැතිය..??
යකුනේ, තොපිලා තොපේ මහ එවුන් එක්කලා දවහක් ගොම්මනේ සෙයිලමට රූටනවා, ඒ රූටපු දොහේ තොපේ මහ එකා, තොපිට ලෑතර දහයක් ඇන්න දෙනවා.., ඒ සීරුවේ තොපිල පැලට රූටන අල්ලපනල්ලේ තොපිලා ලෑතර තුනක් කොටා බානවා, ඒ අස්සේ තොපිලැයේ අතින් ලෑතර දෙකක් මහමූකලානේදී තොරතෝංචිවෙනවා, එයින් මෙයින් ගියාම තොපිලැයේ අතේ ලෑතර කීයක් ඉතිරියැ කියාපියව්..!! "

මුල් ගුරුතුමා මෙහේම කියාපු ගමන් පන්තියේ හිටපු ළමයි ටික පහායි පහායි කිය කියා උඩ පනින්න ගත්තලු..!
  

කලියුග බුදුවරු


ලංකාව වූකලී බුද්ධ සමාජයකින් සජ්ජිත රටෙකි. ඒ අතරම ධර්මය තුලින් සිය ජීවිකාව සරිකරගන්නා වූ අයද සමාජයට දායාද කරවූ රටෙකි. නොයෙක මිත්‍යා විශවාසයන් පෙරදැරි කරගෙන සමාජය තුල මාකට් කරගත හැකි ආකාරයේ මතයක් නිර්මාණය කරගෙන ඊට යම් ආගමක මතයක්ද සම්බන්ධ කිරීමෙන් උක්ත මතයේ විශ්වාසී බව තව තවත් ඔප් නංවා ගත හැකි බව දන්නා අය අතර මේ මෛත්‍රී බුදුන් යැයි කියාගන්නා අයද සිටිති. උදය ගම්මන්පිලගේ සංඛ්‍යා ලේඛණ වලට අනුව නම් මේ වන විට පිස්සන්කොටුවේ ගාල් කර ඇති මෛත්‍රී බුදුවරු ගණන 18කි.., ඒ මීට පෙර කලියුගයේ අකලට පහල වූ අයය. ගම්මන්පිලගේ මතයට අනුව මෙහි 19 වැන්නා ලෙස ගාල් කල යුත්තේ හිමි වරුන් ඡන්දය ඉල්ලනවාට විරුද්ධව පනතක් සම්මත කරගන්නට වෙහෙස වන විජයදාස රාජපක්ෂ ය. එහෙත් රචකයාගේ මතය මීට එදිරිව ගලන්නකි.., ඔහුගේ මතය 19 වැන්නා වියයුත්තේ විජයදාසයන් නොව සිරිවර්ධන අංකල්හු බවයි

සිරිවර්ධන.., තවත් පැහැදිලි කරනවා නම් මෛත්‍රී බුදුන් ලෙස මේ වන විට සත් මහල් ප්‍රාසාදයක [තනමින් පවතින] සිය කාර්යය කරමින් මිනිසුන් වෙත තමාගේ නිර්මාණ ලෙස බුදුබණ ඉදිරිපත් කරන සිරිවර්ධන කේ. ලොකුගේ නම් වන මේ මනුස්සයා පිළිබඳව කෙටියෙන් ලියන මේ බ්ලොගයේ සටහනක් නොතැබුවෝතින්, ඒ බ්ලොගයේ විවිධත්ව ගණපූරණයේ අඩුවක් වනු නිසැකය.

රචකයාට පෙනෙනා ආකාරයට මාකටියර් කෙනෙකු ලෙස සිරිවර්ධන අංකල්හුගේ ඇප්‍රෝචය සුපිරි බවින් අනූනය.., උහු සිය පය තබන්නේ කල් යල් බලා ය, නිදර්ශනයක් ලෙස සමාජය තුලට දැනෙන ලෙස සිරිවර්ධනගේ භූමිකාව එක්වන්නේ ලංකාවට සුනාමිය පැමිණ වෙරළබඩ ජනතාවගේ සියල්ලම සුන්නද්ධූලි කර දැමූ පසුවය.., අනාථවූ ජනතාව සිය හිත සනහා ගන්නට මඟක් සොයනා මොහොතක සිරිවර්ධන පැමිණ අවස්ථාවෙනි නිසි ලෙස ප්‍රයෝජන ගනිමින් සිය ඊනියා ධර්මය ජනතාව අතරට ගෙනයාමට අඩිතාලම දැමීය. අඩියෙන් අඩිය පැමිණි ගමනේ මර්මස්ථානය ලෙස උස්මූර්තියට පත් එක් අවස්ථාවන් නම් ආචාර්ය[?] තිස්ස සේනානායක සහ ඔහුගේ බිරින්දෑව "සිරිවර්ධනං සරණං ගච්චාමී" කියවාලන්නට සියලු කටයුතු සැලැස්වූ පසුවය. ඔබට සිරිවර්ධන ලෙස සිංහල යුනොකෝඩ් වලින් යතුරු කර ගූගල් හරහා සෙවුමක් දමා සොයා බැලිය හැකිනම් ඔහු ගැන සියල්ලම නොවුනත් බොහෝ තොරතුරු සොයාගත හැකිය. 

මෙයට දශක කීපයකට [50හේ දශකය අග හෝ 60 දශකය මුල අතර]පෙර කන්දේ විහාරයේ මේ වැනිම මෛත්‍රී බුදුන් කෙනෙකු සිට ඇත.., එහෙත් ඔහු ගැන ගම් වාසීන් සහ විහාර හිමිනම ගෙන් පමණක් විමසා තොරතුරු සොයාගත හැකිවූ නමුත් එවකට පාසල් යන දැරියකව සිටි අපේ අම්මාගේ මතකයට අනුව නම් පොහොය දිනෙක විහාර බෝධි වෘක්ෂය මතට නැඟි එක්තරා පුද්ගලයෙක් තමා මෛත්‍රී බුදුන් වහන්සේ බවත් තමා මේ ආකාරයෙන් ඇසතු ගසකට නැඟී සිටියේ ජනතාවට ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරදීමට බවත් තමාගේ ක්‍රියාවලින් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි වනු ඇති බව පවසා දෙනෝදාහක් මධ්‍යයේ උහු බෝගසින් බිමට පැන දිවි තොරකර ගෙන ඇත.., මේ තත්ත්වය වාසනාවකට මෙන් සිරිවර්ධන අංකල්හුට උදා නොවුනේ උහු වටා සිටින එහෙයියන් සහ අන්තර් ජාතික කොනෙක්සන් සහිත උවැසියන් සිටිනා නිසා විය හැකිය. දිවි තොර කරගැනීමෙන් තමන්ට කිසිවක් නොවනා බවත් මේ ආකාරයෙන් ධර්මය අවබෝධ කරවීමෙන් යටිමඩිය තර කර ගත හැකි සහ තමා නැති කල එහෙයියන් මෙය ඌණව හෝ ඉදිරියට ගෙනියනු ඇති බවට ඇති අනාගත දැක්ම නිසා බව රචකයාගේ විශ්වාසයයි.

මෙවැනි බුදුවරු තව තවත් සසිරි පිරි මෙ සිරිලක පහල වනු ඇත. එතෙක් අප කලයුත්තේ කලියුගයේ වෙන ගොංකං වලට සාධුකාර දෙමින් තව තවත් බකං නිලාගෙන සිටීමය.