මිනිසුන් වෙනස් වෙයි. කාලය අනුව තාලය අනුව මිනිසුන්ගේ වෙනස් වීම් විවිධාකාර බව අප අත්දැකීමෙන් දනිමු. කාලය ඉංගිරිසියෙන් time ලෙස හඳුන්වන අතර තාලය තමන්ට "කැමති නම්" trend ලෙස වරනගා ගත හැකිය. කාලය අපව පසුකර සමහර විට අපවද රැගෙන යයි. තාලය අප හා එක පෙලට ගමන් කරයි, විටෙක වෙනස් වෙමින් විටෙක නොවෙනස් වෙමින් ගමන් කරන අතර සුන්දර හදවත් ඇති වුන් “කාලයට අනුව තාලය” අනුගමනය කර එය තමන්ගේ කර ගනී.
මෙරටට අතීතයේ සිටම විවිධාකාරයේ සංදර්ශකයින් තමන්ගේ සංදර්ශන පවත්වන්නට මෙසිරිලක තෝරා ගනියි. අපි පාසල් යන කාලයේ ආක්ෂේ කුමාර්, සල්මාන් ඛාන්, ජූහී චවුලා සමඟ මෙරටට පැමිණ සංදර්ශන පැවත්වී ය. එලෙසම ශාරුක් ඛාන්, ෂැගී, ස්ටීව් වොන්ඩර්, එ මතුනොව, ශ්රීමයා ගොෂල්, කුමාර් සානු, උදිත් නාරායන් මේ ආකාරයෙන් එකී නොකී විවිධ සංදර්ශකයෝ ගායකයෝ සිය ප්රතතිභාව පෙන්වා ගියෝය. මේ කාලයට පෙර අපට අයිඩල තනාගන්නට උදවු කලේ රූපවාහිනිය සහ ගුවන් විදුලියයි, රුපවාහිනිය නොමැති දවස් වල ගුවන් විදුලියේ රේඩියෝ නාට්ටි අසා තමන්ගේ හිතේ චරිත මවාගෙන රසය විඳගත් වැඩිහිටි පරම්පරාව තවමත් අප රටේ සිටිති. ඉන් පසුව ආවේ රුපවාහිනි යුගයයි, ස්වාධීන රුපවාහිනියේ “රේඛා”, “රන්කහවනු” ටෙලි සිත්තම් වලින් ආරම්භ වූ මේ අපුරු දෘශ්යව තාලය කලක් ගත වන විට අපව විදේශීය ටෙලි නාටක වෙතට රැගෙන ගියේය. ඔෂින්, හයිවේ මෑන්, නයිට් රයිඩර්, හලක්, මේ ආදී විවිධ වැඩ සටහන් වලින් වඩාත්ම ජනප්රිෙය වූ කතන්දර කිහිපයක් මගේ මතකයේ ඇත. ඒ එක්ස් ෆයිල්ස් සහ රොබින් හුඩ් මාලා කතන්දරයි [tele series]. අපි ඒවා අනුකරණය කරමින් සෙල්ලම් කළෙමු.
ඒ සෙල්ලම් මතකයන්ගේ හොඳම මතකය වන්නේ මමත් අයියාත් අපේ මාමාගේ පුතා වන රංග අයියාත් සමඟ රොබින් හුඩ් සෙල්ලම් කල කාලයයි, කතාවේ හැටියට වයසින් බාල වූ මාත් අයියාත් නිතරම ගිස්බන් ගේ නඩේ වන අතර එවකට වයස අවුරුදු 12ක් පමණ වූ රංග අයියා නිතරම සෙල්ලමේ රොබින් හුඩ් විය. ඉතින් අපට වන්නේ රොබින්හුඩ් ගේ කඩු පහරෙන් බේරෙන්නට ගස් ගල් අස්සෙන් දුවන්නටය. සෑම දෙයකම ඉවසීමේ සීමාවක් ඇත, දිනෙක කතාවෙන් පිට යාමට කතා කරගත් මාත් අයියාත් අපේ කෝටු කඩු උලුක් කරගෙන රොබින් හුඩ් ට දුවන්න දුන්නෙමු. එදා සවස අම්මා හවසට තේ බොන්න කතා කරන තෙක්ම මමත් අයියත් රොබින් හුඩ් අපෙන් බේරෙන්නට නැගගත් ගහෙන් බසින්නට ඉඩ දුන්නේ නැත. එතැන් පටන් රොබින් හුඩ් සාධාරණ විය, අපිටත් රොබින් හුඩ් වන්නට ඉඳහිට හෝ චාන්ස් ලැබුනේ ඒ සිදුවීමෙන් පසුවය.
ඒ වාගේම නයිට් රයිඩර් නාටකයේ මයිකල් නයිට් තම සහයිකාවට හාදුවක් දෙන විට අප ඇත්තටම සිතුවේ ඔහු ඇත්තටම කෙල්ලගේ කට කන බවය. ඒවා ඉතා සුන්දර ආකාරයේ හාදු බව තේරුම්ගත්තේ අප 7 වසරත් පැන්නාට පසුවය.
කාලය වෙනස් විය, නව පිබිදෙන ගායක පරපුරක් ඇතිවිය. ඒ සමඟම අපේ තාලයන්ද වෙනස් විය. රූකාන්තගෙන් පසුව ග්රේනෂන් ජයමහ, නාමල් උඩුගම, සරත් උඩුගම, ටිරෝන් මද්දුමගේ, විජේරත්න වැලිතුඩුව ගායකයෝ සිය ගී කරලියට තිලින කළහ. මේ අතරින් වඩාත්ම ජනප්රිසය වූ යේ නාමල් උඩුගමයි, එකල කෙල්ලන්ට නාමල් ව උමතුවක් තරම් විය. නාමල් “තනිවී” නමින් ගීත එකතුවක් කරන විට ඉන් උමතුවට පත් වී නාමල් උඩුගමගේ පින්තුරයක් ඇඳ උඩ තබා “මගේ බුදු නාමල් අයියේ” කියා ඇඳට පැන කකුලක් කඩාගත් කෙල්ලෙක් අපේ ගමේ විසුයේය. පසු කලෙක මේ යුවතිය කඩ පිලට යන විට “බුදු නාමල් අයියේ” කියා කොහෙන් හෝ ඇසුනහොත් ඇයට සිටින තැන අමතකවී තිත්ත කුණුහරුපෙන් බැනීමට පටන් ගනී. දැන් ඇය විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටින මවකි.
ඒ අනුව දශකයයි, රියලිටි ෂෝ ගැන අසාවත් නැති කලෙක රුපවාහිනියේ පළමු රියලිටි අත්දැකීම ලෙස “තුරුණු ශක්ති” වේදිකාව දක්ෂතා ඇති තරුණ තරුණියන්ට තනා දුන්නේය. ඉන් පළමු තැන ලබාගත්තේ සශිකා නිසංසලා නමැති අවිස්සාවේල්ලේ ජීවත් වූ යුවතියයි. දැන් ඈ රටේ ජනප්රියය ගායිකාවියකි.
|
රුපය "පටිරෝල්" ෆේස්බුක් පිටුවෙනි. |
මේ ආකාරයෙන් නව රැලි ඇතිවිය, ඒවා කෙමෙන් කෙමෙන් වියැකී යන්නේ කාලයත් සමඟය. 2015 දී ලංකාවට ඈ අන්තර්ජාතික ගායකයින් දෙදෙනා නම් ෂෝන් පෝල් සහ එන්රිකේ ඉග්ලෙසියස් ය. ෂෝන් කිංස්ටන් ලංකාවට ආවේ 2015 ද නැතිනම් 14 ද කියා මතක නැති නිසා එබැව මෙහි සටහන් තබන්නේ සැකයෙනි. අපි ඉස්කෝලේ යන දින වල මෙරටට ආ සල්මාන් ඛාන් [ඉහතින් සඳහන් කර ඇත] ඒ වේදිකාවේ නිවේදිකාව වූ එකල ජනප්රියය නිවේදිකාවක් වූ ඉඳුනිල් දිසානායක ගේ අත සිපගත් විට ඈ අත නොසෝදා බොහෝකල් සිටි බව අප අතර සිටි කට හැකර කොල්ලෙකු එකල පැතිරු කට කතාවකි, ඒ වාගේම මෙකලත් සංගීත හිතකාමී යුවතිය එන්රිකේ සිප ගත් බවත් ඔහු වේදිකාවේ සිටිනා විට කෙල්ලෙකු හැඳ සිටි තනපටය ගලවා වේදිකාවට විසිකළ බවත් මේවා ඉතා වැරදි බවත් සමාජ ජාල වල බමුණෝ බණ කියත්.
ඉතිහාසයේ වූ සිදුවීම් නැවත නැවතත් වෙන වෙන ආකාර වලින් සිදුවේ මේවාට අප කලබල වියයුතු නැත. දුපත් මානසිකත්වයෙන් ඔබ්බට යන්නට වෙර දරන අපි මේ දෙස මීට වඩා වෙනස් ආකාරයෙන් බැලිය යුතුය. කාලය ගෙවී යයි. ඊට සමාන්තරව අපද වයසට යාම වලක්වන්නට නොහැකිය. කලක් යනවිට මේවා අප පැරණි මතකයන් මෙන් නොස්ටැල්ජික මතකයන්ට එක්කාසු වනු ඇත. මතකයන්ට සිනහා වන්නට අප මතකය හසුරවාගත් යුතුය, නැතිනම් මතකය විසින් අපව මරා දමනු ඇත.